පසුගිය දා මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මේ දිනවල විභාග වන නඩුකරයට අදාළ තවත් එක් නඩු විභාගයක් පසුගිය 27වන දා මීගමුව අධිකරණයේ දී, ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා ඉදිරියේදී විභාගයට ගත්තේ ය.
එහිදී මීගමුව බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු වූ සත් දරු පියෙකු වන මීගමුව පෙරියමුල්ලේ, පදිංචිව සිටි වෘත්තියෙන් අරක්කැමියෙකු වූ 40 හැවිරිදි, මොහොමඩ් නිශාම් මොහොමඩ් ෆස්ලම් නැමැති අය මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු එම සිදුවීමේදී මිය ගොස් තිබුණු අතර ඔහු වෙනුවෙන් මෙම නඩු විභාගයේදී " ජන අරගලයේ පුරවැසියෝ " නැමැති සංවිධානය වෙනුවෙන් මෙම නඩුකරයට සම්බන්ධ වීම සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විශේෂ මෝසමක් මගින් අවසර ඉල්ලා සිටියේ ය.
ඒ අනුව ඒ සඳහා, අධිකරණයේ අවසර හිමි වීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මෙම සිදුවීමෙන් මිය ගිය මොහොමඩ් නිශාම් මොහොමඩ් ෆස්ලම් නැමැති අය පිළිබඳව සහ එම සිදුවීමෙන් බන්ධනාගාරය තුළ මරණයට පත් වූ සියලු රැඳවියන් වෙනුවෙන් සහ මෙම සමස්ත සිදුවීම පිළිබඳව, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේ ය.
එහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළේ මෙම සිදුවීමෙන් තිස් දෙදෙනකු මීගමුව බන්ධනාගාරය තුළ දී මිය ගිය බවත්, එය ඉතා බරපතළ අපරාධයක් බවයි.
තුවක්කු 10 ක් සමග බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනෙක්
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයේ දී මෙසේ පැවසී ය.
"ස්වාමීනි...,
මේ සිද්ධියෙන් 32 නෙක් මැරුණා, බන්ධනාගාරය ඇතුළෙ. මෙය ඉතා බරපතළ අපරාධයක්. ජුලි 05 වෙනිදා සිදුවුණ මේ සිදුවීම රැඳවියන් අතර වුණ සාමාන්‍ය සිදුවිමක්. එයින් තුන් නෙක් මැරුණා. ඒ තත්ත්වය පාලනය කරලා තිබුණේ. එදින අවි ආයුධ පවා බන්ධනාගාරයෙන් ඉවත් කළා. නමුත් එදා රැඳවියන් කූඩුවලට නොදා, නිදැල්ලේ තියලා තිබ්බා. එදින බන්ධනාගාරයේ ආරක්ෂාවට නිලධාරීන් කිහිප දෙනෙක් හිටියා, තුවක්කු අතැතිව. පහුවදා උදේ 6.00 වෙනකම් කිසිම අවුලක් තිබ්බේ නැහැ. නමුත් කිසිම ප්‍රශ්නයක් නැති තැනකට බන්ධනාගාර මූලස්ථානයෙන්, බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනෙක් තුවක්කු 10 ක් එක්ක ගෙනත් දැම්මා, සිවිල් ඇඳුමෙන්. ඒ අය ඉතා අමානුෂික ලෙස රැඳවියන්ට වද හිංසා කරන්න ගත්තා. ඒක දාරා ගන්න බැරි වුණ රැඳවියන්, ඒ නිලධාරීන්ට පහර දුන්නා. එතනදි නිලධාරීන් 10 දෙනෙක් මැරුණා, රැඳවියොත් 19 දෙනෙක් මැරුණා. ගොඩක් අය තුවාල ලැබුවා. බන්ධනාගාරය ඇතුළට පිටින් වෙඩි තිබ්බේ. ඇතුළෙ හිටිය නිලධාරීන් තමයි. වැඩි හරියක් රැඳවියන් මැරුණේ වෙඩිවලින්. අද කියනවා තුවක්කු 300 ක් විතර රස පරික්ෂනයට යැව්වා කියලා. ඒ ගෙනාපු අවිවලින් තමයි වැඩි හරියක් මැරුණේ. ඒ අවි අරගෙන බැලුවා නම් බලන්න පුළුවන් මොකෙන්ද වෙඩි තිබ්බේ කියලා. කට උත්තර එක්දහස් ගානක් ගත්තලු. තව ඉවරයක් නැහැ. මේ නඩුව මෙහෙම ගෙනියන්න බැහැ. රජයේ බන්ධනාගාරයක් තුළ මැරුණ මිනිස්සු ගැන වගකීමක් රජයට තියෙනවා. ආණ්ඩුව මරුණ නිලධාරීන්ට විශාල මුදලක් වන්දි ගෙවනවා. රැඳවියන්ට මුකුත් නැහැ. මම අද පෙනී සිටින්නේ ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් සහ මිය ගිය රැඳවියකු වන මොහොමඩ් නිසාම් වෙනුවෙන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවියන් වෙනුවෙන් හඬක් නගන්නේ නැහැ
ඔහුට දරුවන් 07 දෙනෙක් ඉන්නවා. දැන් ඒ පවුල ඉතා අසරණයි. චූටි ම දරුවාට තවම මාස 02 යි. 54 වැනි වගන්තිය යටතේ රස පරික්ෂක වාර්තා එනකම් හිටිය කෙනෙක් මේ මැරුණෙ. අපි කියන්නේ මේකට අර නිලධාරීන් 89 දෙනා වගකියන්න ඕනා. ඒ අය අත්අඩංගුවට අරන් සැකකරුවන් කරන්න කියලා. මේකට වෙඩි තියන්න අණ දිපු කොනාගේ ඉඳලා, අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ. මෙතන සමුල ඝාතනයයක් වෙලා තියෙනවා. ඒ නිසා රැඳවියන්ට සාධාරණයක් විය යුතුයි . සී.අයි.ඩී. එක (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ) ඒ අය වෙනුවෙන් හඬක් නගන්නේ නැහැ. ඒ අය දැනටමත් වරදකරුවෝ කරලා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සාධාරණ පරික්ෂණයක් කරන්න කියලා. රැඳවියන් සාක්ෂි දෙන්න පවා බයයි. මොකද සාක්ෂි දීලා ආපසු යන්න වෙන්නේ එතනට නිසා. ඒ නිසා ඒ අයට භය නැතිව සාක්ෂි දීමට පරිසරයක් හදන්න ඕනේ."
දැනට පුද්ගලයන් එක්දහස් ගණනකගෙන් කට උත්තර ලබා ගෙන තිබෙනවා
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙලෙස සඳහන් කළේ ය.
පසුගිය ජූලි 14 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ගිනි අවි, උණ්ඩ ඇතුළු සියලු ම දේ රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට මේ වනවිට කටයුතු කර ඇති බවයි. එලෙසම මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් එක්දහස් ගණනකගෙන් කට උත්තර ලබා ගෙන ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( සී.අයි.ඩී ) මෙම සිදුවීම සම්බන්ධව සර්ව සාධාරණ විමර්ශනයක් සිදු කරන බවද එම නිලධාරින් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
අනතුරුව සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් නියැඳි වශයෙන් සාක්ෂි ලබා ගන්නා අතර මේ වන විට පුද්ගලයන් 28 දෙනෙකු සිය අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇති බවත් , අධිකරණය කාටත් එකසේ යුක්තිය ඉටු කරන බවත්, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මෙහි දී සඳහන් කළා ය.
සටහන : තුෂාර රොහාන් ප්‍රනාන්දු - Meepura News’
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
