Image

ගායක ගායිකාවනි.., පිල් විදහා නටන මොනරා ගේ තත්ත්වයට පත් නොවන්න

ගායක ගායිකාවනි.., පිල් විදහා නටන මොනරා ගේ තත්ත්වයට පත් නොවන්න

මේ දවස්වල වැඩියෙන් ම වයිරල් වෙන්නෙ ගීතයක අයිතිය සහ සංගීතවේදියා ගෙ අයිතිය පිළිබඳව ජගත් වික්‍රමසිංහ ගෙ සහ කීර්ති පැස්කුවල් ගෙ සංවාද දෙක.

 

 

ඒ අතර ම වෙනත් බාහිර අයත් මේ සංවාදයට මැදිහත් වෙලා තියෙනවා. ඒ අතර ජගත් ප්‍රසන්න කූරගම ද යම් අදහසක් දක්වා තිබුණා; අපි එය මෙම වෙබ් අඩවියේ පළ කළා.   ජගත් VS කීර්ති ගැටුමේ ඇතුළු පැත්ත

එහෙම විවිධ අය අදහස් දක්වන එක හොඳයි. නමුත් ජගත් ප්‍රසන්න ගෙ අදහස් දැක්වීම තුළ ගීතවලට කර්තෘභාග ගෙවීමේ කතන්දරේ දී ගීත පටිගත කරන අවස්ථාවල රචකයාට සහ සංගීතඥයාට ගායකයා ගෙවීමක් කර ඇති බව ඔහු ගේ ලිපියේ සඳහන් වී තිබුණා. මේක සම්පූර්ණ අසත්‍යයක්. ඉස්සර ගීත පටිගත කළේ එක්කො ගුවන් විදුලිය. එතකොට ගායකයාට ගුවන් විදුලියෙන් පොඩි ගාණක් ගෙව්වා. පස්සේ පටිගත කිරීම් කළේ තරංගා,  සිංලංකා, නිල්වලා වගේ කැසට් සමාගම්. එතකොට රචකයාට සහ සංගීතඥයාට පොඩි ගාණක් වගේම ගායකයාට ලොකු ගාණක් සමාගම්ලින් ගෙව්වා; සමහර ගායක ගායිකාවන්ට මාස් පතා නිශ්චිත මුදලක් ගෙව්වා. එතකොට පැහැදිලි වෙනවා ඇති කවදාවත් ගායකයා ගීත රචකයාටවත් සංගීතඥයාටවත් ගෙවල නැති බව.

වර්තමානයේ ගීත නිෂ්පාදනය කරන්නේ බොහෝවිට නව පරපුරේ රචකයෝ. එයාලා සංගීතඥයාට සහ ගායකයාට ගෙවල තමයි තමන් ගෙ ගීතය පටිගත කරවන්නේ; ගායනා කරවන්නේ. සමහර ගායකයෝ ගීතයක් පටිගත කරන්න ලක්ෂ පහක් වගේ අය කරනවා. ඒක ගෙවන්නේ අර අලුත් රචකයෝ; රචකාවෝ මම මේකට ආසන්නත ම මගේ අත්දැකීමකුත් ලියාගෙන ම යන්නම්.

පසුගිය දවසක මගේ මිත්‍රයෙක් මට කතා කරල මෙහෙම දෙයක් කිව්වා. සිද්ධිය මෙහෙමයි.

එක්තරා ලේඛිකාවකට එයා ලියපු පොතක් ජනගත කරන දවසෙ ඒ පොතේ තියෙන නිසදැසක් ගීතයක් විදියට පරිවර්තනය කරලා ලංකාවෙ ප්‍රසිද්ධ ගායිකාව ලවා ගායනය කරගන්න වුවමනා වෙනවා. ඒ ගීතය ගායනා කරනවට ගායිකාව අර ලේඛිකාවගෙන් ලක්ෂ තුනක් ඉල්ලනවා. ලේඛිකාව කැමති වෙනවා. නමුත් අර ගායිකාව ඒ පද රචනයේ දෙපදයක තිබෙන ඇතැම් වචන කිහිපයක් වෙනස් කරල ඉල්ලනවා. නමුත් මේ ලේඛිකාවට ගායිකාව ඉල්ලන වෙනස කරන්න හැකියාවක් නැහැ.

මගේ මිත්‍රයා මගෙන් ඉල්ලීම් කරන්නෙ අර ගායිකාව ඉවත් කරන්න කියපු වචන සහ පද වෙනුවට වඩාත් ගැඹුරු අරුත් සහිත වචන කිහිපයක් සහ දෙපදක් වෙනස් කරල දෙන්න කියල.

මම ඒ උදව්ව කළා; වෙනස් කරපු පද රචනය ලේඛිකාවට සහ ගායිකාවට යැව්ව ම ගායිකාව ඉතා සතුටින් වෙනස බාරගන්නවා; නමුත් ලේඛිකාව අකමැති වෙනවා. දැන් එතන ගැටලුවක්; ලේඛිකාවට අර ගායිකාව ලවා ම ගීතය ගායනා කරගන්නත් වුවමන යි; හැබැයි මම කළ වෙනසට කැමතිත් නැහැ; නමුත් ගායිකාව ඒ වෙනසට කැමතියි.

දවස් දෙකකට පස්සෙ අර මගේ මිත්‍රයා මට කතා කරල කියනවා ''අයියෙ අසවල් ගායිකාව අකමැතියි කිව්ව පද පේළිය ම ගායනා කරල ලක්ෂ තුනක් අරගත්තා'' කියල. මොකද හේතුව ඒ වෙද්දි තෝරාගත් ගායිකාව අර ලේඛිකාව ගෙ පද රචනය ගායනා කරන්න අකමැති නම් වෙනත් ගායිකාවක් තෝරාගන්න සූදානම් වෙලා.

මෙහි යටි පෙළ මොකක් ද කියල මම කියන්න වුමනා නෑ. සරලව ම කියනවා නම් මේ ගායිකාව තමන් අකමැති පද පෙළක් මුදල් ඉදිරියේ අකමැත්තෙන් වුනත් ගායනා කරා. ඕක තමයි ඇත්ත තත්ත්වය.

දැන් අපි ආයෙ මූලික කාරණයට යමු.

මෙහෙම පද රචක රචකාවන් ගෙ මුදල් අරගෙන ගීතගායනා කරන ගායක ගායිකාවො ම තමයි පස්සේ ප්‍රසංගවලට ගිහිල්ලා හම්බ කරන්නෙත්. එතකොට හැමදාම තැළෙන්නේ ගීත පද රචකයෝ සහ සංගීතඥයෝ. මේ නිසා තමයි කර්තෘ භාග ක්‍රමය වෙන රටවල වගේ ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය. ඒක ගෙවන්නෙත් ගායකයො නෙවෙයි. ප්‍රසංග සංවිධායකයා. මෙතැන දි පැහැදිලි වෙනව ඇති ගායකයෝ කියන්නේ වරප්‍රසාද ගන්න පිරිසක් විතරයි. ගායකයෙක් එක ගීයකට ලක්ෂ දෙකක් විතර ගන්නකොට රචකයකුට හෝ සංගීතඥයෙකුට කර්තෘ භාග වශයෙන් ගෙවන්න යෝජනා කරන්නේ රුපියල් දාහත් පන්දාහත් අතර මුදලක්. සොච්චම් කර්තෘභාගයක් ගෙවනවට විරුද්ධව කුහක විදියට ඔවුන් ප්‍රකාශ ඉදිරිපත් කරන එක කොච්චර වැරදිද කියලා ඔබ තුලනාත්මකව හිතන්න.

singer under spotlight stockcake

ගායක ගායිකාවො නවක රචක රචකාවන්ගෙන් මුදල් අය කරල ගීත ගායනා කරනවා විතරක් නෙවෙයි; ඇතැම් ජනප්‍රිය, ප්‍රසිද්ධ ගායක ගායිකාවෙ මේ නවක රචක රචකාවන් ගෙන් ගීතයේ අයිතිය පවා ලියාගත් අවස්ථා තියෙනවා. ඒක වෙන ම කතාවක්. වුවමනා නම් ඒ ගැන වුනත් පසුවට ලියන්න පුළුවන්.

දැනට අවසන් වශයෙන් ලියන්න තියෙන්නෙ: අනේ ගායක ගායිකාවනේ... ගීපද රචකයාට, රචකාවට, සංගීත නිර්මාණකරුවාට ලැබෙන මේ සොච්චම් මුදලට එරෙහිවත් කටයුතු කරන්න සුදානම් වෙන්න එපා. එතකොට ඔයාල හරියට අර පිල් විදහා නටන මොනරා ගේ තත්ත්වයට පත්වෙනවා.

සටහන - ජයසිරි අලවත්ත

සබැඳි ලිපි -    කලාකරුවන් හැඟීම්වලින් ඇවිළිය යුතු ද...?

ගීතයක ප්‍රකාශන හිමිකම (copyright) පිළිබඳ ගැටලුව; ගායක ගායිකා සංගමයේ සභාපති ජගත් වික්‍රමසිංහට රවී සිරිවර්ධන ගෙන් දැඩි ප්‍රතිචාරයක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න