දේශපාලනඥයින් ගේ අඹුසැමියන් ගේ පෞද්ගලිකත්වය දෙස නැවත හැරී බැලීමක් නූතන දේශපාලන කතිකාවත තුළ ආරම්භ කළ යුතුව ඇත්තේ ප්‍රසිද්ධිය, මහජන සේවය සහ පෞද්ගලික ජීවිතය අතර ඇති සීමා මායිම් නොතකා ඉලක්කකොට ප්‍රහාරයට ලක්වෙමින් පවතින බැවිනි.
දේශපාලන අරමුණු හෝ පෞද්ගලික හේතු මත පුද්ගල චරිත ඝාතනය කිරීමට යම් ප්‍රසිද්ධ අයකුගේ හෝ දේශපාලනඥයකුගේ පෞද්ගලික ජීවිතය බොහෝවිට මෙන් ම හිතාමතාම මෙවලමක් කරගැනීමේ පහත් කණගාටුදායක ප්‍රවණතාවක් දක්නට ලැබේ.
යම් පුද්ගලයෙකු මහජන ඡන්දයෙන් තනතුරකට පත්වූ විට මූලික ප්‍රශ්නයක් මතුවේ : එම ජනවරම ස්වයංක්‍රීයව ම ඔහු ගේ පවුලට ම අදාළ වේද, නැතහොත් ප්‍රසිද්ධියෙන් මිදී සිටීමට ඔහුගේ/ඇයගේ සහකරුවාට හෝ සහකාරියට ඇති මූලික අයිතිය සුරක්ෂිත වේද? මෙය විසදා නොගතහොත් රට ජාතිය වෙනුවෙන් දායකත්වයක් ලබාදීමට වැදගත් පුද්ගලයින් නොපැමිනෙනු ඇත.
ප්‍රසිද්ධ ජීවිතය තුළ පෞද්ගලිකත්වයට ඇති අයිතිය
මහජන තනතුරක් දැරීම යනු පුද්ගලයකු විසින් භාරගනු ලබන වගකීමක් මිස, මුළු පවුල ම බැඳ තබන එකමුතු ගිවිසුමක් නොවේ. දේශපාලනඥයකු ගේ සහකරු හෝ සහකාරිය සමාජයට විවෘත වේ ද නොවේ ද යන්න සම්පූර්ණයෙන් ම ඔවුන්ගේ පෞද්ගලික නිදහස මත පදනම් වූවකි. අයෙක් මහජන සේවයට/කලා ලොවට පිවිසි පමණින්ම සහකරුවා හෝ සහාකාරිය ද ඔවුන්ගේ පෞද්ගලිකත්වය, ජීවන රටාව සහ ස්වාධීනත්වය කැප කළ යුතු බවට සමාජය අපේක්ෂා කිරීම කිසිසේත් සාධාරණ හෝ ප්‍රායෝගික නොවේ.
දේශපාලනඥයකු ගේ පවුලේ අය ප්‍රසිද්ධියට පත්කිරීමට බලකිරීමෙන් මහජනතාවට ලැබෙන සැබෑ වාසිය කුමක් ද? කැපී පෙනෙන ලෙස ප්‍රසිද්ධියේ සිටීම යනු පිරිසිදු දේශපාලනය නොවන අතර, නායකයකු ගේ සහකරු ප්‍රසිද්ධ වේදිකාවල පෙනී සිටීම යහපත් පාලනයකට සහතිකයක් වන්නේ ද නැතිබව අප අත්දැකිමෙන් ම දන්නෙමු.
පෞද්ගලික සීමා මායිම් සුරැකීමේ අතීත උරුමය
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී ස්වේච්ඡාවෙන් ම ප්‍රසිද්ධියෙන් මිදී තම පෞද්ගලික ජීවිතය රාජ්‍ය කටයුතුවලින් වෙන්කර තබාගත් දේශපාලනඥයින් ගේ බිරින්දෑවරුන් පිළිබඳ පැහැදිලි උදාහරණ ඇත.
එලිනා ජයවර්ධන මහත්මිය ප්‍රසිද්ධ උත්සව හෝ දේශපාලන සංදර්ශනවලට තෝරා බේරා ගෙන කලාතුරකින් සහභාගී වුවත්, D.B. විජේතුංග මහත්මිය ප්‍රසිද්ධ උත්සව හෝ දේශපාලන අවස්ථාවලින් තොර නිහඬ, ගෞරවනීය මෙන්ම අතිශයින් ම පෞද්ගලිකත්වයක් තෝරාගත්හ.
ජයන්ති සිරිසේන මහත්මිය සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මිය ප්‍රධාන වශයෙන් පෙනී සිටියේ අත්‍යවශ්‍ය නිල උත්සවවල දී පමණක් වන අතර, දෛනික දේශපාලන තලයෙන් බැහැරව සිටීම සමජය අගය කළ බව ද නොරහසකි.
යම් පාලකයකු ගේ සහකාරිය දිනපතා ප්‍රවෘත්ති විකාශය තුළ නොසිටීම නුපුරුදු දෙයක් නොවන බවත්, එයින් රටට කිසිදු හානියක් සිදුනොවන බවත් මෙම නිදසුන් මගින් මනාව තහවුරු වේ.
පසෙක සිටින චරිත ප්‍රසිද්ධියට ඇද දැමීමේ අරමුණ කුමක් ද...?
එවැනි ඉතිහාසයක් හුරු අපි, අනුර කුමාර දිසානායක මහතා ගේ බිරිඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිය යුතු යැයි දැනට කෙරෙන බලපෑම් තුළින් පෙනී යන්නේ පැහැදිලි දෙබිඩි පිළිවෙතකි. හුදෙක් දේශපාලන කුතුහලය හෝ පක්ෂග්‍රාහී අරමුණු ඉටුකර ගැනීම සඳහා සාමාන්‍ය පුරවැසියකුව ජීවත්වන ඇයව ප්‍රසිද්ධියට ඇද දැමීමේ අරමුණ කුමක් නම් විය හැකිද?
පවුල් පිටින් දේශපාලන බලපෑම් කිරිම සහ පවුලකටම දේශපාලන අදිකාරි බලය ලැබිම හා එය (Nepotism) අවසන් කිරීම සඳහා දශක ගණනාවක් පුරා සමාජ ක්‍රියාකාරින් පෙනි සිටියත් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ දීර්ඝ කාලීනව පැවැති සාම්ප්‍රදායක් හෝ සිරිතක් වූ බැවින් දිවුරුම් දීමේ උත්සව සහ රජයේ ඉහළ තනතුරු බාරගැනිමේ දී මුළු පවුල ම වටවී සිටීම එය පවුලෙන්ම ම සේවය උදෙසා ලැබෙන්නාවු සහයෝගය ලෙස අර්ථ දැක්වුව ද, බොහෝ විට එම ප්‍රසිද්ධිය මුළු පවුලටම සමාජ පිළිගැනීම, නීතිය මග හැරිම, වරදාන වරප්‍රසාද ලබා ගැනිම, සහ බලපෑම් කිරීමේ හැකියාව ලබා දීමට හේතුවු බව නොරහසකි.
විකාරරූපී කරුණ නම්, අද දින දේශපාලනඥයින් ගේ පවුල්වල අය ප්‍රසිද්ධියට පැමිණිය යුතු යැයි පවසන ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ම, අතීතයේ දී පවුල් දේශපාලනයට, දේශපාලන පරම්පරාවලට සහ දේශපාලනඥයින් ගේ බිරින්දෑවරුන් සහ දරුවන් රාජ්‍ය බලය, සැප සම්පත් අත්විඳිමින් තීරණ ගැනීමට මැදිහත්වීමට එරෙහිව සටන් කළ අය වීම යි.
පවුල් ඒකකය මුල් කරගත් මෙවැනි දේශපාලන පුරුදුවලින් මිදීම වඩාත් ශිෂ්ට සම්පන්න සහ වෘත්තීමය දේශපාලන සංස්කෘතියක සලකුණකි. එහි දී මහජන තනතුර හිමිවන්නේ තේරී පත්වුණු මහජන නියෝජිතයාට මිස ඔහු ගේ පෞද්ගලික පවුලට නොවේ.
ඩිජිටල් මාධ්‍යයේ හැසිරීම සහ කාන්තා මැදිහත්වීම
ඩිජිටල් සංවාද සහ සමාජ මාධ්‍ය තුළ මෙම සංවාදයේ දක්නට ලැබෙන කණගාටුදායකම පැත්තක් නම්, කාන්තාවන් ගේ පෞද්ගලිකත්වය, දේශපාලන නිදහස, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් කාන්තාවක ගේ පෞද්ගලිකත්වය අභියෝගයට ලක් කිරිම, අපහසුතාවයට හා ලැජ්ජාවට පත්කිරීමට අනුබල දීමත් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් දේ හුවමාරු කිරීමට කාන්තාවන් ද එක්වීමත්ය.
කාන්තා අයිතිවාසිකම්, ස්වාධීනත්වය සහ ගෞරවය වෙනුවෙන් පෙනී සිටිමින් , කුමන හෝ පෞද්ගලික හේතුන් මත ප්‍රසිද්ධියේ පෙනිසිටිමට අකමැති, පෞද්ගලික ජීවිතයක් ගතකරන අනුර කුමාර දිසානායක මැතිණිය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම එකිනෙකට පටහැණි ක්‍රියා ය.
පරිණත දේශපාලන සංස්කෘතියක් වැලඳ ගැනීමට ඇති අකමැත්ත
කාන්තා අයිතිවාසිකම්වලට සැබෑ ලෙසම ගරු කිරීම යනු, ප්‍රසිද්ධ ජීවිතයට පැමිණීමට හෝ ඉන් මිදී සිටීමට කාන්තාවකට ඇති කැමැත්තට හා අයිතියට ගරු කිරීමයි. තිරයෙන් පිටුපස ඇය ගෙන් ජනාධිපති සැමියාට ලැබෙන සහාය කුමක්දැයි අපි නොදන්නෙමු, බිරිඳ ගේ සහභාගිත්වය හෝ දේශපාලනයේ නිරතවීම පිළිබඳ අඹුසැමියන් අතර ඇති අවබෝධය ද අපි නොදනිමු. කාන්තාවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අපි එයට ගරු කළ යුතුව ඇත.
ධනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකට දේශපාලන සංවාද අත්‍යවශ්‍ය වේ. නමුත් එය පදනම් විය යුත්තේ ප්‍රතිපත්ති, වගවීම සහ වගකියන පාලනය මතය. දේශපාලනඥයින් ගේ පෞද්ගලික ජීවිතයේ සහකරුවන් දේශපාලන වේදිකාවට ඇද දැමීමෙන් පෙනී යන්නේ, පුද්ගලික සීමාවන්ට ගරු කරන වඩාත් පරිණත දේශපාලන සංස්කෘතියක් වැලඳ ගැනීමට ඇතැමෙක් තුල ඇති අකමැත්තයි.

සටහන - ශර්මිලා ගෝනවෙල
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
