Image

කලාකරුවන් හැඟීම්වලින් ඇවිළිය යුතු ද...?

කලාකරුවන් හැඟීම්වලින් ඇවිළිය යුතු ද...?

ගායක ගායිකාවන්ගේ බුද්ධිමය දේපළ සහ කොපිරයිට් අයිතිය ගැන මේ ටිකේ සංවාදයක් යනවා. ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස මාධ්‍ය හමුවක් තියෙද්දී ඒකට උත්තර විදිහට කීර්ති පැස්කුවල් මහතා ඇක්පෝ එස්එල් වැඩමුළුවේ දී දැක්වූ අදහස් නිසා මේ කතාබහ තවත් දුරදිග ගිහින් තියෙනවා.

ගායකයෝ ප්‍රසංගවලින් ලක්ෂ ගණන් හොයද්දී ඒ සින්දුව ලියපු කෙනාටයි තනුව හදපු කෙනාටයි කීයක් හරි ගෙවන එක අසාධාරණ ද කියන ප්‍රශ්නයත් එක්ක අද ගොඩාක් දෙනෙක් අතර එක එක මත හුවමාරු වෙනවා. හැබැයි මේක පුද්ගලයින් දෙන්නෙක් අතර විතරක් යන වාදයක් නෙවෙයි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෘත්තීය කර්මාන්තයක් විදිහට ඉදිරියට යද්දී මතුවෙන වැදගත් නීතිමය සහ සාධාරණත්වයේ කාරණයක්.

නීත්‍යනුකූලව ගීතයක ප්‍රධාන අයිතිවාසිකම් දෙකක්

songwriting copyright playerlaw blog

 ගීතයක් ලියන එක, තනුවක් හදන එක, පොතක් ලියන එක අතට අල්ලන්න පුළුවන් දේපළ නෙවෙයි. ඒවා මිනිස් බුද්ධියෙන් කරන නිර්මාණ, ඒ කියන්නේ බුද්ධිමය දේපළ. වෙන කෙනෙක්ගේ නිර්මාණයක් පාවිච්චි කරලා කවුරුහරි සල්ලි උපයන්න කටයුතු කරනවා නම් ඒ සල්ලි මුල් නිර්මාණකරුවාට සාධාරණ කොටසක් ලැබෙන්න ඕනේ. හැබැයි සාමාන්‍ය ජනතාවට මේක බලපාන්නේ නැහැ. ගෙදර දී, පාසලේ දී, බස් එකේ දී හෝ සාදයක දී විනෝදයට සින්දුවක් කිව්වට හෝ ඇහුවට කොපිරයිට් නීතියෙන් මුදල් අය කරන්නේ නැහැ. මොකද ඒක වාණිජ පාවිච්චියක් නෙවෙයි, රසවිඳීමක් විතරයි. නීත්‍යනුකූලව ගීතයක ප්‍රධාන අයිතිවාසිකම් දෙකක් තියෙනවා. පද සහ තනුව කියන්නේ ඒකෙන් එකක්. මේක අයිති පද රචකයාට සහ සංගීත නිර්මාණකරුවාට. අනිත් එක, පටිගත කළ හඬපටය. මේක අයිති නිෂ්පාදකවරයාට, රෙකෝඩ් ලේබල් එකට හෝ ආයෝජනය කළ කෙනාට. එතකොට ගායකයාට තියෙන්නේ ගායක අයිතිය. ඒ නිසා සින්දුව කිව්වේ මම, ඒ හින්දා මුළු සින්දුවම මගේ කියලා කියන්න නීතිමය පදනමක් නැහැ. ඒ වගේම ගායකයාට කිසිම අයිතියක් නැහැ කියන එකත් වැරදියි.

 

ACPOSL ගැන දැනගන්න

Acposl

ACPOSL කියන්නේ රජයේ දෙපාර්තමේන්තුවක් නෙවෙයි. ඒක පද රචකයින්, සංගීතඥයින් සහ පබ්ලිෂර්ලා එකතු වෙලා හදාගත් රජයේ ලියාපදිංචි වූ කලෙක්ටිව් මැනේජ්මන්ට් සංගමයක්. 2003 බුද්ධිමය දේපළ පනත යටතේ තමන්ගේ සාමාජිකයන් ගේ නිර්මාණ වාණිජව භාවිත කරන තැන්වලින් ගාස්තු එකතු කර සාමාජිකයන්ට බෙදාදීමට ඔවුන්ට නීතිමය අයිතිය තියෙනවා. ACPO ටැරිෆ් එකේ තියෙන්නේ විශාල ප්‍රසංගයක ගීතයකට අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 10,000ක් කියලා. හැම ඉවෙන්ට් එකකට ම, හැම සින්දුවටම රුපියල් 10,000 ගානේ අය කරන්නේ නැහැ. සාමාන්‍ය DJ සහ Live ඉවෙන්ට්ස්වල දී ගීත ගණනට නෙවෙයි, ප්‍රේක්ෂක ගණන අනුව එකවර ගාස්තුවක් අය කෙරෙනවා. ආපනශාලා සහ පබ්වලට වර්ග අඩි ප්‍රමාණය අනුව වසරකට ම වරක් ලයිසන්ස් ගාස්තුවක් අය කෙරෙනවා. හෝටල්, ජිම්, සුපිරි වෙළඳසැල් සඳහා වසරකටම අදාළව පසුබිම් සංගීතය පාවිච්චි කිරීමට පොදු ලයිසන්ස් ගාස්තුවක් තියෙනවා. ඒත් එක්කම මේ ACPO සංගමය රුපියල් ලක්ෂ 14,000ක් එකතු කළා කියලා ජගත් වික්‍රමසිංහ, මාධ්‍ය හමුවේදී කියලා තිබ්බා. ඇක්පෝ වාර්තාවලට අනුව ගත්තොත් වසරකට එකතු වෙලා තියෙන්නේ, රුපියල් මිලියන 22. 04ක් විතරයි. එයින් ලක්ෂ 155කට වැඩි මුදලක් සාමාජික නිර්මාණකරුවන්ටත් බෙදාදීලා තියෙනවා.

2000 ට පසු තත්ත්වය

singer under spotlight stockcake

කොහොමහරි 2000න් පස්සේ මෑත කාලයේ හැම ගායකයෙක් ම සිංදුවක් හදනකොට කල් තියා ගිවිසුමකට යනවා. ගිහිල්ලා- එක එක්කෙනාට ලැබෙන්න ඕනේ කොටස ගැන එකඟතාවකට එනවා. නැත්නම් සමහර වෙලාවට සම්පූර්ණ අයිතිය ගායකයා සල්ලි ගෙවලා ගන්නවා. ඒත් ලංකාවේ ඉතිහාසයේ ගායක ගායිකාවන් පුරුදු වෙලා තිබුණේ එහෙම නෙවෙයි. දැන් තරුණ පරම්පරාවට වඩා වෙනස්. එදා ගොඩාක් ගීත නිර්මාණය කළේ ලිඛිත ගිවිසුම් නැතුව. ගායකයා පද රචකයාට මුදලක් දෙනවා. සංගීතඥයාට මුදලක් දෙනවා. ස්ටුඩියෝ එකට ගෙවනවා. ගීතය පටිගත කරනවා.

ඉස්සර ගීත හදද්දී ලිඛිත ගිවිසුම් තිබුණේ නැහැ. ගායකයා මුදල් දීලා සින්දුව හැදුවාම මේක මගේ කියලා හිතුවා. පද රචකයා පද ලියුවේ මම කියලා හිතුවා. හැබැයි 2000න් පස්සේ අලුත් පරම්පරාවේ අය කල්තියාම අයිතිය බෙදෙන විදිහට කොන්ත්‍රාත් අත්සන් කරනවා. පරණ ගීතවල ලිඛිත සාක්ෂි නැති එක තමයි අද මේ ප්‍රශ්නයට ප්‍රධානම හේතුව.

ගායක ගායිකාවන් ප්‍රසංගවලින් ලක්ෂ ගණන් ගනිද්දි, අවුරුදු ගාණක් තිස්සේ ජනප්‍රිය වන සින්දුවල පද ලියූ සහ තනු හදපු නිර්මාණකරුවන්ට යම් සාධාරණ මුදලක් ලැබෙන ක්‍රමවේදයක් තියෙන ක්ෂේත්‍රයේ පැවැත්මට වැදගත්.

අර වැඩමුළුවෙදි භාතිය ජයකොඩි කිව්වා වගේ, කලාකරුවන් හැඟීම්වලින් මරාගන්නේ නැතුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගායකයා, පද රචකයා, සංගීතඥයා සහ ප්‍රසංග සංවිධායකයා කියන හැමෝට ම සාධාරණ වන විදිහට විනිවිද පෙනෙන පද්ධතියක් හදන එකයි කරන්න ඕනෙ.

 

758589482 1006946002343366 3831890383173801925 n

 

 

 

සටහන - Fathima Sumeyha

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න