Image

ගීතයක ප්‍රකාශන හිමිකම (copyright) පිළිබඳ ගැටලුව; ගායක ගායිකා සංගමයේ සභාපති ජගත් වික්‍රමසිංහට රවී සිරිවර්ධන ගෙන් දැඩි ප්‍රතිචාරයක්

ගීතයක ප්‍රකාශන හිමිකම (copyright) පිළිබඳ ගැටලුව; ගායක ගායිකා සංගමයේ සභාපති ජගත් වික්‍රමසිංහට රවී සිරිවර්ධන ගෙන් දැඩි ප්‍රතිචාරයක්

ගීතයක ප්‍රකාශන හිමිකම පිළිබඳ සංවාදයක් නැවතත් කරළියට පැමිණ තිබෙන්නේ පසුගිය දා ග්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ විසින් මාධ්‍ය හමුවේ පළ කළ අදහස් දැක්වීමත් සමග ය. 

ඔහු එම අදහස් පළ කළේ මේ වන විට ගීතයක අයිතිය (Copyright) පිළිබඳව ගායන ශිල්පීන් මුහුණ දී ඇති බව කියන අසාධාරණ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ දී ය.

එක් ගීතයක් සඳහා තනු රචකයා සහ පද රචකයා වෙනුවෙන් රු.10,000 ක්

මෙහි දී ඔහු පෙන්වා දුන්නේ 2003 ජාතික බුද්ධිමය දේපළ පනතට අනුව ගීතයක අයිතිය හිමිවන්නේ ගීතයේ පද රචකයාට හා තනු නිර්මාණ ශිල්පියාට වන අතර, එම පනත මගින් ගායන ශිල්පියාට ගීතය පිළිබඳව ඇති අයිතිය අහිමි කර ඇති බවයි.

ආරම්භයේ දී මෙය එතරම් සැලකිල්ලට ලක් නොවුවත් අද වන විට මෙම තත්ත්වය නිසා ගීතයක අයිතිය පිළිබඳව ගායන ශිල්පීන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව ජගත් වික්‍රමසිංහ පැවැසී ය.

මීට නිදසුනක් ලෙස ඔහු පෙන්වා දුන්නේ අද වන විට කොළඹ අවට සංවෘත ශාලාවල පවත්වන ප්‍රසංගවල ගීත කුමන ගායන ශිල්පියෙක් විසින් ගායනා කළ ද එක් ගීතයක් සඳහා තනු රචකයාට සහ පද රචකයා වෙනුවෙන් රු.10,000 ක මුදලක් අයකරන බවයි. මෙම මුදල අය කරන්නේ ප්‍රසංගයේ සංවිධායකයා ගෙන් වන අතර එයින් මුල් ගායකයාට කිසිදු මුදලක් ලැබෙන්නේ නැති බව ද ඔහු සඳහන් කළේ ය.

ජගත් වික්‍රමසිංහ බිල්ලකු මවයි

මෙම ක්‍රියාවලියට මූලිකත්වය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා සංගිත නිර්මාණකරුවන් ගේ සහ ප්‍රකාශකයින් ගේ සංගමය (ACPOSL)  බව ද ඔහු සඳහන් කළ අතර, ඔවුන් මෙම ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව එම සංගමය බලාපොරොත්තු වන දේ සිදු වුවහොත් ඉදිරියේ දී සංගීත ප්‍රසංගවල, හෝටල්වල, බස් රථවල පවා කර්තෘ භාග නොගෙවා ගීත ඇසීමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බව ඔහු පැවැසී ය.

 

කෙසේ වෙතත් ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ ගේ මෙම අදහස් දැක්වීම පිළිබඳව සම්මානනීය ගීත රචකයෙකු වන රවී සිරිවර්ධන ද සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබුණ අතර, ඔහු මෙම කරුණු දැක්විම පිළිබඳව දැඩි විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කර තිබුණි.

649077029 10236646883983891 230918373408383523 nරවී සිරිවර්ධන

මතු පළවන්නේ, ග්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ ගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධන දක්වා තිබූ අදහස් දැක්වීම ය.

(උපුටා ගැනීම)

ගෝඨාභය රාජපක්ෂ පසුපස ගොස් ගුවන්විදුලි සංස්ථාවෙි සභාපති විය. සංස්ථාවෙි ඉපැරැණි පියානෝවක් පන්නා ඒ වෙනුවට වෙනත් පියානෝවක් ඇතුළට ගෙනා බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

ඉන් අනතුරුව ගෝඨාභයගේ පාලන කාලයේ ම සිය තනතුර ද අහිමි කර ගත්තේ ය.

දැන් ගායක ගායිකා සංගමය යැයි නම් ලද කුඩා කල්ලියක සභාපති වී නොදන්නා මගුල් කියවමින් සිටී.

අපි ඔහුට කියන්නේ පවතින නීතිය පිළිබඳ ගැටලුවක් තිබේ නම් අධිකරණයට ගොස් විසඳා ගන්නා ලෙස ය. ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් රසික සමාජය නොමග යවා බොරු චණ්ඩි චරිතවලට පණ පෙවීමෙන් පලක් නැත.

සමාජයට වැරදි පණිවිඩ ලබා දීමෙන් නිර්මාණකරුවන්, ගායකයින්, ප්‍රසංග සංවිධායකයින් සහ මහජනතාව අතර අනවබෝධයක් ඇති කිරීමට උත්සාහ දැරීම බාල වැඩකි.

ප්‍රකාශන හිමිකම (Copyright) අලුත් සංකල්පයක් නොවේ. කතුවරුන්ගේ හා නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නූතන නීතිමය පදනම වසර 300කට අධික ඉතිහාසයක් ඇති අතර, අද ලෝකයේ සෑම දියුණු සංගීත කර්මාන්තයක් ම වාණිජමය භාවිත සඳහා නිර්මාණකරුවන්ට සාධාරණ ගෙවීමක් ලැබිය යුතු බව පිළිගනී.

එය එසේ වුව ද අපේ රටේ ඇතැම් ගායක ගායිකාවෝ ලංකාව තුළත්, විදෙස් රටවලත් ප්‍රසංග පවත්වමින් රුපියල් මිලියන ගණනින් ආදායම් උපයති. ප්‍රසංග සංවිධායකයෝ ලාභ ලබති. ප්‍රවේශපත් අලෙවි වේ. අනුග්‍රාහකයෝ ප්‍රචාරණ වාසිය ලබති. ශබ්ද, ආලෝක, වේදිකා සහ අනෙකුත් සේවා සපයන සියලු දෙනාට ම ගෙවීම් සිදු වේ. එහෙත් එම ගීත ලියූ ගීත රචකයාටත්, එම තනු නිර්මාණය කළ සංගීත නිර්මාණකරුවාටත් බොහෝ අවස්ථාවල කිසිදු ගෙවීමක් සිදු නොවේ.

බිමේ යථාර්ථය එය යි.

එම අවුල නිවැරදි කරගත හැක්කේ දියුණු සංගීත කර්මාන්තයක් ඇති සෑම රටක් ම අනුගමනය කරන බුද්ධිමය දේපළ නීතිය අප රට තුළ ද නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණි.

අසල්වැසි ඉන්දියාවේ පවා ක්‍රියාත්මක වන්නේ එම නීතියයි. එහි ගායකයෝ සංවිධාන අටවාගෙන එම නීතියට අභියෝග කරන්නේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡා තියමින් නොදන්න නීතියක් පිළිබඳ පච හලන්නේ නැත.

අනීතික යමක් සිදුවේ නම් ඒවා විසඳීම අධිකරණයට බාර වේ.

මේ වන විට බුද්ධිමය දේපළ නීතිය නිසි පරිදි ස්ථාපිත කොට බලාත්මක කිරීමට අදාළ කටයුතු වෙළඳ අමාත්‍යාංශයත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් එක්ව සිදු කරමින් පවතී.

සංගීතයට පමණක් නොව අනෙක් කලා ශානරවලට ද අදාළ වන පරිදි එය සකසා ගැනීම එහි අරමුණ යි. මේ වනවිට ඒ සඳහා බුද්ධිමය දෙපළ නීතිය පිළිබඳ විශේෂඥ දැනුමැති කමිටුවක නිර්දේශ අමාත්‍ය වසන්ත සමරසිංහ සහෝදරයා අතට පත්ව ඇත. ඉදිරියේ දී සියලු පාර්ශව සමග සාකච්ඡා කර පිළිගත් ලෝක නීතියට අනුව අදාළ තීරණ ක්‍රියාත්මක වනු ඇත.

මේ උන්නැහේලා හිතන්නේ මේ අය කැමති කෑලෑ නීතිය රටේ පොදු නීතිය බට පත්විය යුතු බව ය.

එයට කිසිසේත් ඉඩ දිය නොහැකි ය.

රවී සිරිවර්ධන
(උපුටා ගැනීම අවසන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න