Image

සලේ යළිත් සැලී යෑම: හබුං කන්න කැමැතිවීම, මුරපදවලටත් මුරකාරකම් බැරිවීම සහ අධිකරණය ශානි නොහැලීම

සලේ යළිත් සැලී යෑම: හබුං කන්න කැමැතිවීම, මුරපදවලටත් මුරකාරකම් බැරිවීම සහ අධිකරණය ශානි නොහැලීම

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) රැදවුම් භාරයේ සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සිය 'මාරාන්තික උපවාසය' අත්හැර දැමුවේ පරිපූර්ණ පරාජිතයකු ලෙසිනි; දැමූ කොන්දේසි කිසිවක් ම දිනාගන්නේ නැතිව නිකම් ම නිකම් හිස්අතිනි.

ඒ තීරණය විසින් ඔහු, මහා රණවිරුවකු ලෙස පුම්බා තිබූ ප්‍රතිරූපය කඩාවැටී නිකම්ම නිකම් හිස්, බොල් පිළිමයක් බවට නැවතත් පත්කර දමන ලද්දේ ය. ඇත්තටම මේ නාටකය සමීපව නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, සලේ යනු මොනතරම් දුර්වල, ආත්ම ධෛර්යය හීන, මහා දුර දිග බුද්ධි මෙහෙයුම් තබා නුදුරු අනාගත සිනාරියෝවක්වත් සිහිබුද්ධියෙන් කියවාගන්නට කිසිදු හැකියාවක් නැති පුස් වෙඩිල්ලක් ද යන්න යි.

එල්ලයක් නැති උපවාසයක්

සුරේෂ් සලේ

සලේගේ උපවාසයට මුල සිට ම කිසිම එල්ලයක්, ඉලක්කයක් තිබුණේ නැති බව පැහැදිළි ය. ඔහුට තිබුණේ තමන්ගේ උපවාසය නිසා ඇතිවනු ඇතැයි ඔහු ම ගණන් හදා තිබූ මනෝරාජික උපකල්පන පමණි. උපවාසය ආරම්භයේ දී ම ත්‍රස්ත පනත අවසන් කරන තුරු උපවාස කරන බව සිය පවුලේ උදවිය හරහා දැනුම් දුන් සලේ ගෙන් ඒ කොන්දේසිය හැලී ගියේ දවසක් දෙකක් ගතවන විට ම ය. ඉන් අනතුරුව ප්‍රකාශ වූ ප්‍රධානතම කොන්දේසි වූයේ සිය විමර්ශන CID අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකරගෙන් ඉවත් කර වෙනත් ඕනෑම තැනකට පැවරීම සහ සිය රැදවුම් ස්ථානය CID යෙන් වෙනත් තැනකට මාරු කිරීම ය.

 

'හෙමිජ්ජා සෛයාවෙන්' මාස තුනක් සිටි සලේ

අත්අඩංගුවට පත්වූ තැන් පටන් මාස තුනක පමණ කාලයක් මේ තරම් මහා කලකෝලහාලයක් නැතිව 'හෙමිජ්ජා සෛයාවෙන්' සිටි සලේ තමන් ම තමන් ප්‍රස්තුතයක් බවට පත්කරගන්නට උත්සාහ කරන්නේ ගෝඨාභය ඇතුළු තිදෙනකුට විදෙස් ගමන් තහනමක් වැටීමත් සමගිනි. එය ප්‍රධාන හේතු දෙකක් මත සිදුවූ බව අපේ ගණන් බැලීම යි.

 

පළමුව,

මේ නව තත්ත්වයත් සමග තමනුත් ගෝඨාභයත් යන දෙ දෙනාම ‘පොහොට්ටු කඳවුර’ ප්‍රමුඛ සුන්බුන් විපක්ෂය විසින් දැවැන්ත යුද වීරයින් ලෙස නැවත සමාජය ඉදිරියේ ස්ථානගත කැරෙනු ඇතැයි ද, තමන්ට එරෙහි සියලු නෛතික ක්‍රියාවලි ආපසු හරවන්නට ඒ දැවැන්ත 'රණවිරුවාදී උන්මාදය' සමත්වනු ඇතැයි ද සලේ අතිශය මුග්ධ, වැරැදි ගණන් බැලීමක් කළේ ය. ඔහු සිතුවේ තමන් මාරාන්තික උපවාසයක නිරත වනවාට සමාන්තරව ගෝඨාභය ද විමර්ශන ක්‍රියාවලියට එරෙහිව මහා කැරැල්ලක් ගසනු ඇති බව ය.

තමන් අත්අඩංගුවට ගන්නා විට ගොඩ නොනැගුණු බලවේගය කිහිප ගුණයකින් වැඩිදියුණු වී ගෝඨාභය වෙනුවෙන් ගොඩ නැගෙනු ඇති බවත්, ඒ පානෙන් ම තමන්ටත් නිසැකව එළිය බලන්නට පුළුවන් වන බවත් ඔහු උපකල්පනය කළේ ය. ඒ ඔස්සේ විමර්ශන අංශ පමණක් නොව මීට අදාළ අධිකරණ ක්‍රියාවලිය ද දැවැන්ත අර්බුදයකට යනු ඇති බවත්, තමන්ගේ ගැලවුම පිණිසත්, විමර්ශන සහ අධිකරණ ක්‍රියාවලියේ අපකීර්තිමත් කඩාවැටීම පිණිසත් හේතුවන දැවැන්ත මහජන මතයක් ගොඩනැගෙනු ඇති බවත් ඔහු උපකල්පනය කර තිබූ බව පෙනේ.

 

ගෝඨාගෙන් තල කැරැල්ලක්වත් නෑ!

එහෙත් නීතීඥයින් ලවා උසාවි ගානේ යමින් කරුණු කියාපානවාට වඩා විමර්ශන ක්‍රියාවලියට ප්‍රතිරෝධයක් වන 'දැවැන්ත සටනක්' කරන්නට ගෝඨාභයට බැරි විය. (එහෙම කරන්නට ගෝඨාභයටවත් ඔහු වටා ඉන්නා අතලොස්සක් ඇම්බැට්ටයන්ටවත් කිසිම හයියක් නොමැති බව බුද්ධි ප්‍රධානී සලේ මොළේට නොතේරුණාට සාමාන්‍ය විචාර බුද්ධියක් ඇති ඕනෑම කෙනකුට වටහාගැනීම අපහසු නොවිණි.)

 

salleyia

එපමණක් නොව ඔහු වෙනුවෙන් ඇටවූ අට්ටාල මහජන විරෝධයට බියෙන් ගැලවී ගියේ ය. හැංගි හැංගී සමාජ මාධ්‍යවල අඳෝනා තබනවා හැරෙන්නට කිසිම ක්‍රියාකාරී විරෝධයක් කිසිදු පාර්ශ්වයකින් එල්ල වූයේ නැත. තම තමන් ගේ ම අතීත හොර මැර දූෂිත ප්‍රචණ්ඩ හා මිනීමරු ඉතිහාස එළියට ඇදීමේ දැවැන්ත භීතියකින් පෙළෙමින් ඉන්නා විපක්ෂ කඳවුරට තම තමන් ගැන ම බලාගන්නට සිදුව තිබිණි.

 

අන්තිමට බිරින්දෑ විතරයි

26 6a281fe31702f

සලේට අන්තිමට ඉතිරි වූයේ උදේ හවා රෝහලට තමන් බලන්නට එන මුකවාඩම් ලෑ බිරිය වෙත අල්ලන මයික්වලට ඇය විසින් කරනු ලබන ප්‍රකාශ පමණකි. (කුමන මට්ටමේ චෝදනා ලැබුවත්, මොන වරදකට වැරදිකරුවකු ලෙස තීන්දු වුවත්, බිරිය වශයෙන් ඔහු තනි නොකර රැඳී සිටීමට, ඔහු වෙනුවෙන් පෙනීසිටීමට පමණක් නොව ඔහු වෙනුවෙන් සටන් කිරීමට ද සලේගේ බිරියට ඇති අයිතිය අප කිසි ලෙසකින් ප්‍රතික්ෂේප කරන්නේ නැත.)

මේ තතු හමුවේ ඔහු ඊළඟට පැමිණ ඇති උපකල්පනය නම් බුද්ධි ප්‍රධානී මොළයකට නොව යන්තම් මොළයක් තියෙන කෙනෙකුටත් එළැඹිය හැකි එකකි. එනම්, හෙට අනිද්දා ගෝඨාභය අත්අඩංගුවට ගත්තත් තම පාර්ශ්වයට වාසිදායක වන ලෙස මොන ම පෙරළියක්වත් සිදුවන්නේ නැති බව ය. ඉතින්, ඔහුට එකම එක ඉල්ලීමක්වත් දිනා නොගෙන, සම්පූර්ණයෙන් ම හිස් අතින් සිය උපවාසය අත්හැර දමන බව කියන්නට සිදුවී ඇත‍.

දවස් විසි ගාණක් කන්නේ බොන්නේ නැතිව නාස් කුහර, උගුරු දඬු ඔස්සේ නො එකඟත්වයෙන් ඇඟට බස්සන පෝෂක ලබාගැනීමේ ‘අනියම් දඬුවම’ විඳින්නට සිදුවීම හැර මේ වැරදි ගණන්බැලීමෙන් ඇල්ලූ මහ විසාල ජල්ලියෙන් සලේට මේ තාක් අත්වූ කිසිදු ප්‍රතිපලයක් ඇත්තේ නැත.

අපේ නිරීක්ෂණය නම් මේ උපවාස නාඩගමින් මෙන් ම පසුගිය නඩුවාරයේ දී ලැබුණු අධිකරණ නියෝග කිහිපයෙන් ද සිදුවූයේ සලේ නම් 'දැවැන්ත යුද වීරයා ගේ' හුළං පිම්බූ බැලුං ප්‍රතිරූපයේ හුළං තුංකාලකට වඩා බැහැලා දැන් සලේ නම් බැලුම් යෝධයා කැහැටු විකාරයක් ලෙස වැනි වැනී සිටින බව ය. එපමණක් නොව නැවතත් සලේ වෙනුවෙන් රණවිරුගායක් හදන්නට, දැවැන්ත යුද වීරයා ගේ ප්‍රතිමාවට හුළං ගහන්නට කිසිවකුට හෝ හැකියාවක් නොලැබෙනු ඇත‍.

 

තමන්ට එරෙහි සාක්ෂිවලින් තමන් ම බියවීම

ගෝඨාභය සාධකයට අමතර වශයෙන් සුරේෂ් සලේ ගේ උපවාස තීරණයට බලපෑ බව පෙනෙන්නේ, ඒ වනවිට ඔහුට එරෙහි විමර්ශනවලින් සීඅයිඩීය සොයාගෙන තිබූ අතිශය බලවත් සාක්ෂි හේතුවෙන් තමන්ට ලේසි පාසු ගැලවිල්ලක් නොමැති බව ඒත්තු යෑම යි. නඩුවකට මුහුණ දී ගොඩදමාගන්නට බැරි දේ ගෝඨාගේ පිහිටෙන්, තමන් විසින් ම තමන් මාතෘකාවක් බවට පත්කරගැනීමෙන් ගොඩ දමාගැනීමට ඔහු මියෙම්වා රැකෙම්වා සටනක් දියත්කළ බව නිරීක්ෂණය කළ හැකි ය. මේ සා භයංකර ජනඝාතක අපරාධයක කොටස්කරුවකු ලෙස ඔප්පු වී මුළුමහත් චරිතය ම විනාශ කරගෙන සදාකාලික සිරගෙට යෑමට වඩා නොකා නොබී මියයෑම හොඳය යි ඔහු කල්පනා කරන්නට ඇත; එහෙත් අවසානයේ එය ද ලේසි පාසු වැඩක් නොවන තැනට පත්විය.

තමන් මුවින් කිසි අහරක්- පානයක්- බේතක්- හේතක්- තියා කෙල බිඳක්වත් නොගිල්ලත්, නහයෙන් කටෙන් බට ගසා දෙන පෝෂණය හා ප්‍රතිකාර හේතුවෙන් තමන්ට එහෙම ලේසි පාසු මරණයක් ද හිමි නොවන බව ඔහු නිසැකව ම තේරුම් ගත්තේ ය. ඉතින්, කිසිම කොන්දේසියක්, ඉල්ලීමක් නොලබා ම තනිකර හිස් අතින් උපවාසය අත්හරිනවා හැරෙන්නට ඔහුට කරන්නට තිබුණේ මොනවාද?

 

සලේට සලේගේ ම අතීතය සම්මුඛ වීම

සලේ, ඔබට අසීමිත බලයක් තිබූ සමයේ ඔබ ම අන් අයට එරෙහිව කළ දුෂ්ටකම්වලින් අංශු මාත්‍රයක් දැන් දෛවෝපගත ලෙස ඔබ පසුපස එළවන්නට පටන්ගෙන ඇත; ඔබේ ම දැඩි බලපෑමට හිජාස් හිස්බුල්ලා නිකං නිස්කාරණයේ අල්ලා දිගු කාලයක් තිස්සේ සිරකර දමා සිටි රැඳවුම් මැදිරියක ම ඔබට ලගින්නට සිදුවීමටත් වඩා දෛවෝපගත සිදුවීම වන්නේ, ඔබට ඔබේ ම කටින් ඒ මැදිරියේ දිග පළල උස කැරපොතු මී උවදුරු ඇතුළු දාහක් අවලාද කියන්නට සිදුවීම යි‍.

දැන් කළ හැකි එකම දෙය අර සරත් වීරසේකර, ගම්මන්පිල බඳු වාචාලයින් පිරිසක් කියන, පාස්කුදින ප්‍රහාරයෙන් පසුවත් ඉතිරි වී සිටින සහරාන්ලා ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් තුන්සිය ගණන පිළිසරණට කැඳවීම යි‍. එහෙත් ඒ ජනඝාතක කුමන්ත්‍රණ තවත් නම් හරියන්නේ නැති බව ඔබට ම නොතේරෙනවාය යි සිතන්නට අප කැමැති නැත. ඒ, මොනවා වෙන්ඩ හෝ ඔබ මේ රටේ කාලයක් මහා බලසම්පන්නව වැජඹුණු ‘රාජ්‍ය බුද්ධි ප්‍රධානියා’ වන බැවිනි!

 

395392785 10232581363260536 5498915480587529816 n

 

 

 

 

 

Sanath Balasooriya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න