මම කවදත් ‘කොන්දේසි විරහිත කලාවක්’ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්.
ඒ නිසා මගේ සටන් පාඨය හැමදාමත් ‘ප්‍රකාශන නිදහස තහවුරු කරනු !’ යන්නයි. මොන රජයක් යටතේ වත් පූර්ණ වශයෙන් එය මට නොලැබෙන බව මම දනිමි. විවිධ රජයන් යටතේ විවිධ කාලවල විවිධ සමාජ කැලඹීම ඇතිවේ. එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඇතැම්විට වාරණයන් පැනවීමට රජයකට සිදුවේ.
ඒත් මගේ සටන් පාඨය වෙනස් වෙන්නේ නැත.
වාරණ තර්ජනයට බියෙන් මගේ කිසිම නිර්මාණයක් කිසියම් පාලක මණ්ඩලයක නිර්ණායකයන්ට අනුව සකස් වන්නේ නැත. එවැනි මණ්ඩලයක පූර්ව අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ නැත. කෘතියක් නිමවීමෙන් පසුව (නාට්‍යයක් හෝ චිත්‍රපටියක් නම් ) එය ජනගත කරන අවස්ථාවේදී එහි ‘ප්‍රසිද්ධ දර්ශනයන්’ සඳහා අවශ්‍ය නෛතික අවසරය සඳහා ඉදිරිපත් කෙරෙයි. සාහිත්‍ය කෘතියක් පරිශීලනය කරන්නේ තනි තනිව බැවින් එවැනි නෛතික ගැටලුවක් මතුවන්නේ නැත.

සල්මන් රශ්ඩිගේ Satanic Verses (සැටනික් වර්සර්ස් ) කෘතිය ලංකාවේ තහනම් කෙරුණි. ඒ මුස්ලිම් ආගමික සංස්ථාවේ ඉල්ලීම මතය. ඩෑන් බ්‍රවුන් රචනා කළ ඩාවින්සි කෝඩ් ( The Da Vinci Code - Dan Brown. ) කෘතිය කතෝලික සභාවේ ඉල්ලීම මත ලංකාවේ තහනම් කෙරිණි. එම නිසා ඒවා ලංකාවට ගෙන ඒම රේගුවට තහනම් කළ හැකිය.
(එම කෘති පරිශීලනය නිසා සමාජ කැලඹීම් ඇති වේ යැයි ආගමික සංස්ථා පූර්ව නිගමනයකට පැමිණියේ කෙසේද? එම සංස්ථාවල ඉල්ලීම පරිදි ඒවා තහනම් කිරීමට රජය පියවර ගත්තේ කෙසේද? )
මෙම කෘතින් ලංකාවේ තහනම් කිරීම ප්‍රශ්නකාරීය.
සාහිත්‍ය කෘතියක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙලෙසදැයි අදාල බලධාරීන් විසින් පැහැදිලි කළ යුතුය. එසේ විනිශ්චය කිරීමට අදාල ආයතනයට ( මෙහිදී රේගුවට ) ඇති සුදුසුකම මොකක්දැයි පැහැදිලි කළ යුතුය.
මෙම පැරණි නීති ඒ අයුරින්ම පවත්වා ගෙන යෑම මිනිස් නිදහස උදෙසා යයි කියමින් බලයට පැමිණි රජයක වගකීම ද?
අශෝක හදගම
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
