Image

දිගට ඇදෙන ප්‍රශ්නවල කතාව; නීලිරා - නීන්ඩ ඉරවු (දිගු රාත්‍රියක්)

දිගට ඇදෙන ප්‍රශ්නවල කතාව; නීලිරා - නීන්ඩ ඉරවු (දිගු රාත්‍රියක්)

සෝමිදරන් කියන්නේ යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ ඛේදවාචකය ගැන මුලින්ම වාර්තා චිත්‍රපටයක් කළ සිනමාවේදියා.

එදා ඔහු තැබූ ඒ දේශපාලන ප්‍රකාශනය, උතුරු නැගෙනහිර ඉඩම් අත්තනෝමතිකව රඳවා ගෙන සිටීම සහ ඒ තුළ වන දේශපාලන මැදිහත්වීම් සහ රාජ්‍ය මැදිහත්වීම් ගැනත්, යුද්ධය තුළ ජීවිත අහිමිකරගත්තවුන් සහ අතුරුදන් කළ වූවන් ගේ යුක්තිය සොයා යෑමේ ගමන්වල කතා දක්වා දිග හැරෙනවා. ඔහු වෘතාන්ත චිත්‍රපටයක් හදනවා කියල කාලෙකට කලින් ඉඳල ම කියමින් හිටියා. නමත් බොහෝ කාලෙකට කලින් ප්‍රසිද්ධ කරලත් තිබුණා. ඒ නීලිරා....

සෝමිදරන් මේ කියන්න හදන ‘නීලිරා’ හෙවත් දිගට ඇදුණු ඒ රාත්‍රිය මොකද්ද? කොයි වගේද? කවුද ඒ රාත්‍රියේ වගකිව යුත්තෝ? කාටද ඒ දිග රාත්‍රිය අයිති? කාගෙද ඒ රාත්‍රිය? කවුද ඒ රාත්‍රිය ගත කරේ? ඒ රාත්‍රියේ දී  මොකද්ද වුණේ? ඇයි ඒ රාත්‍රිය දිග වුණේ? කොච්චර දිගයි ද ඒ රාත්‍රිය? කොයි කාලේ රාත්‍රියක් ද? ඒ රාත්‍රියේ පාට මොකද්ද? ඒ රාත්‍රියේ හඬ මොකද්ද? ඒ රාත්‍රියේ සෙවනැළි කාගේද? ඒ රාත්‍රියට සාක්ෂි කවුද? ඒ රාත්‍රියට යුක්තිය කුමක්ද? මේ වගේ ප්‍රශ්න තව.... තව.... තව..... දිගට ඇදෙන, රාත්‍රිය වගේම දිගට ඇදෙන ප්‍රශ්න ගොන්නක් අහන්න පුළුවන්.

සොමිදරන් නීලිරා චිත්‍රපටයෙන්  කරන්නේ මෙතරම් දිගට ඇදෙන ප්‍රශ්නවලට කතාවක් කියන එක.

සාමයේ හිංසාව පිළිබඳ කතන්දරය

WhatsApp Image 2026 04 15 at 04.33.20

ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය විසින් උතුරු නැඟෙනහිර අවිහිංසා මිනිස් අරගලය ආයුධ සන්නද්ධ යුද්ධයක් බවට පත් කිරීම 1970 දශකයේ මැද භාගයේ සිට උච්ච අවස්ථාවකට ගෙන ආවා. එය 1983 කළු ජූලිය විසින් මිනිස් සංහාරයක් බවට පත් කෙරුවා. එහිම කොටසක් වන එනම් ලාංකීය උත්තරීතර රාජ්‍යයේ ආරාධනාවකින් පැමිණෙන ඉන්දීය සාම හමුදාව විසින් උතුරු නැගෙනහිරට කළ විනාශය සුළුපටු නැහැ. එය පීඩිතයාට එරෙහිව දියත් කළ, බලගැන්වුණු ක්‍රෑර හිංසනයක්. නීලිරා සිනමා කෘතියට පදනම් වෙන්නේ 1988 කාල වකවානුවේ දී මේ ඉන්දීය සාම හමුදාව විසින් දියත් කළ සාමයේ හිංසාව. ඉන්දීය සාම හමුදාවේ සම්පූර්ණ ක්‍රැරත්වය ගැන සොමිදරන් චිත්‍රපටය ඇතුළේ කතා කරන්නේ නැහැ. එහෙත් එහි ක්‍රැරත්වය ගැඹුරින් එක සිද්ධියක් වටා එක රාත්‍රියක් තුළින් කතා කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ම ප්‍රකාශනයෙන්. ඔහුට කියන්න ඕන දේ ඔහු කියා තිබෙනවා. නිදසුනක් ලෙස, ඉන්දීය සාම හමුදාවේ ක්‍රැර ස්ත්‍රී ලිංගික හිංසනය පෙන්වා නිම කළ නොහැකි, කතා කර නිම කළ නොහැකි අතිශය ඛේදවාචකයක්. සෝමිදරන් එය කියන්නේ, ඉන්දීය හමුදාව නිවස වටකර ඇතිබව දැනුණු මොහොතේ කඩිනමින් ගැහැනුන් සියලු‍ දෙනාම පිරිමි කමිස ඇඳගත් තැනින්ද?

සියල්ල අසාමාන්‍ය කරන ලද සන්දර්භයක් තුළ අසාධාරණයට ගොදුරු වූවෝ

WhatsApp Image 2026 04 15 at 04.33.25

සිනමා කෘතියක් ලෙස ගත්විට සුවිශේෂී සිනමා ආඛ්‍යානයකින් නිමවා ඇති මේ චිත්‍රපටය තුළ කියන්නට තිබෙන සිනමාත්මක සුවිශේෂීතා ගණනාවකි. එහිදී යුද සමාජයක් ගැන කීමට තෝරා ගත් කාලය සහ ඒ දැඩි දේශපාලන කතිකාව ප්‍රධාන වේ. එය මෙතෙක් කිසිඳු සිනමා කෘතියකට මුඛ්‍ය කරගත්තක් නොවේ. ඒ වගේම ඉතාම සුළු චරිත කිහිපයක් පමණක් සහ එක ලොකේෂන් එකක් පමණක් ගෙන එම සිනමා කෘතිය තුළ ප්‍රේක්ෂකයාව රඳවා ගැනීම ද කියන තරම් පහසු කාර්යක් නොවන බව හොදින්ම දන්නා කරුණකි.

සොමිදරන් කතා කරන දීර්ඝ රාත්‍රිය යනු එක් රැයක් පමණකි. ඒ උතුරේ සාමන්‍ය නිවසක රැයක් නොවේ. කොටින්ම උතුරේ ඒ කාලේ සාමන්‍ය සිද්ධි කිසිවක්ම හෝ සාමන්‍ය දේවල් කිසිවක්ම තිබුණේ ද නැත. සියල්ල අසාමාන්‍යයයි. සියල්ල අසාමාන්‍ය කරන ලද සන්දර්භයක් තුළ අසාධාරණයට ගොදුරුවුවන්ය. ඉතින්, උතුරේ නිවෙස් ද, එළිමහන් ද, ඒවා තුළ මරණය පෙනී පෙනී ජීවත් වූවන් ද අසාමාන්‍ය ය. අසාමාන්‍ය උතුරේ දිනයක (අදත් එය එසේමය තව බොහෝ තැන් වගේම) නිවසක මහා යුද්ධයක් මැද, ඉන්දීය බලවත් හමුදාවක් මැද, ඔවුන් ඇති කළ හිංසනයක් මැද කෙසේ හෝ අන්තිම හුස්ම අල්ලා සිටින මිනිසුන් අතර අම්මෙක් සිය දියණියකට කසාදයක් සිදු කර දෙන්න සුදානම් වේ. නීලිරා පෙන්වන්නේ පසු දින විවාහයට සුදානම් වන නිවසක රාත්‍රියක් ගැන ය. ඒ රාත්‍රිය සාමන්‍ය මඟුල් නිවසක මෙන් සිනහ ඉතිරී යන්නේ නැත. සිනහව කා තුළත් නැත. බියෙන් ගුළි ගැහෙන අන්තිම තප්පරෙත් ගත කරන්න මොනවදෝ දෙයක් කරන මිනිසුන්, මුහුණු, හැගීම් චිත්‍රපටය තුළ හමු වේ. විටෙක ඔවුන් සිනාසෙනවා පෙනේ. ඒවා සිනහ ලෙස දැනෙන්නේ නැත.

හුස්ම හිර කරන අවකාශ

f

පත්මයන්ගෙ සංගීතයෙන් (‘කල්‍යාන බයිලා’ වකින්) මගුල් ගෙදර තිරයේ දිස් වේ. චිත්‍රපටයේ කතාව ඇරඹේ.  එය නතර වෙන්නේ දීර්ඝ රාත්‍රියකින් පසුව ය. එපමණි. එපමණක් වූ කතාවේ කරුණු කාරණා, හිත තාමත් මතක් කරවන, වද දෙන, තරහ ගන්වන, දරාගන්න බැරිව හුස්ම හිර කරන තැන් ගැන මෙතනින් පසුව ලියා තබන්නෙමි.

නීලිරාවක් ගත කරන අම්මා යනු යුද්ධයක් මැද ජීවතය ගෙවන අම්මෙකි; ඇගේ සැමියා අතුරුදන් ය. ජීවිතයේ අවිනිශ්චිත බව, නිස්සාර බව, වේදනාව, දරා ගැනීම පෙන්වීමට ඇගේ මුහුණෙ ඉරියව් සහ බැල්ම ම ප්‍රමාණවත් යැයි හැඟෙනු ඇත. ඇය ගැහැනු දරුවන් තිදෙනෙකුගේ මවකි. වෛද්‍යවරියක් වීමට සැරසුණු දියණියක් කල්පනා ලෝකයෙන් ඉවත් කර, මානසිකව එක් තැන් කර, කාමරයක් තුළට හිර කර, කුරුටු ගෑමට බිත්ති පමණක් ඉතිරි කළ (සඟවා ගත් බිත්ති පමණක්) යුද්ධයක උපන් දියණියකි. ඇගේ මොළය නතර වී තිබුණේ, තමන් සමග එකම වෛද්‍ය පීඨයේ ඉගෙන ගත් සිය ප්‍රේමවන්තයා ටෙරෙස්කෝපය විසි කර ආයුධය අතට ගෙන සටනට පිටමං වීමෙනි. ඇය තවමත් එතැන ය. දෙවැනි දියණියව කෙසේ හෝ විවාහ කර දී විදේශ භූමියකවත් පණ රැකගැනුමට පිටත් කර යැවුමට ඒ මව සුදානම් වේ. ගිනි වැදුණු භූමියක සිය පවුලේ ඉතිරි වී සිටින සියල්ල අත්හැර දමා යෑමට අකමැතිව කෙරෙන ඇගේ විවාහයට මුහුණ දෙමින් සිටින තවත් දුවෙකි. මේ විවාහයට පෙර දින රාත්‍රියේ නිවසේ ම නතර වෙන නෑ හිත මිතුරෝ සුළු පිරිසකි. ඒ අතර හයක් හතක් නොදන්නා දරුවන් එකා දෙන්නා, අම්මාවරු, ගැබිණි මවක්, රෝද පුටුවකට වී ජීවිතය අල්ලා ගෙන සිටින මහලු‍ කතක් ආදී එකී මෙකී තවත් සුළුම සුළු පිරිසකි. පිරිස 10 දෙනෙකු පමණ ගෙන සුදානම් වෙන මගුලකි.

ඊළ සිනමා ඉතිහාසයට කදිම නිදසුනක්

මගුල් ගෙදර සිද්ධ වෙන්නේ ඉන්දීය හමුදාවෙන් (ශ්‍රී ලංකා රාජ්‍යයෙන්) අනුමැතිය ගෙන ය. එහෙත් ඔවුන් ඒ නිවස වටලයි. ඒ ලැබෙන ඔත්තුවකට ය. එදා රාත්‍රියේ මගුල වෙඩි වැදීම්, බිය ගැන්වීම්, මොර දීම්, කෝපය, කදුළු මේ සියල්ලෙන් පිරී ගිය එකකි.WhatsApp Image 2026 04 15 at 04.33.25

බොරු තුවක්කු සෙල්ලමක් කරමින් ඉන්නා මගුල් නිවසේ පුංචි පැටවුන් කිහිපදෙනෙකු අත බොරු තුවක්කු තිබෙනවා වගේම ඔවුන්ගේ සෙල්ලම ද වුයේ යුද්ධය යි. එදා ළමාවිය ගත කළ හැමෝගෙම සෙල්ලම් වුණේ, කෝම්පිට්ටු හැදීමත්, පංචි දැමීමත් නොව. සැමදා දකිමින් එහිම ජීවත් වෙන ජීවිතයේ යතාර්ථීය ගැටුම ය.

මේ සිනමා කෘතිය මා පෙර දැක්වූ ආකාරයට යුද්ධයක් මැද කරන විවාහයකට සුදානම් වෙන, ගුටි කන, වෙඩි වදින, රාත්‍රියක දසුන් කිහිපයක් පමණකි. සිනමාකරු අති දක්ෂ ලෙස නිවස තුළ සහ නිවසින් පිට ඇසේ දුටු සීමාවෙන් පමණක් චිත්‍රපටය පෙන්වයි (දීර්ඝ රාත්‍රිය පෙන්වයි). ඒ සමඟම සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, ඊළ භූමියේ සිදු වූ කතා චිත්‍රපටයට ගැනීමේ දී ඒ තුළ භාවිත කරන සියලු‍ම ප්‍රවේශ නිසියාකාරව යොදාගෙන චිත්‍රපටයක් නිම කිරීම සුළුපටු කාර්යයක් නොවේ. එනම්, ඒ සඳහා බලපාන, සංසන්දනය කරමින් විච්ජේදනය කරන බොහෝ පුළුල් සීමාවක් ඊළ සිනමා කෘතියකට තිබෙන බැවිනි. මේ අතිශය අභියෝගාත්මක සන්දර්භය තුළ පෙරළී පෙරළි සටන් කරන, නිර්මාණ කරන නව රැල්ලක් පැමිණෙමින් තිබේ. එය අතිශය සතුටු දනවන්නකි. ඒ අතර මේ බාධක සියල්ල පසු කරමින් සිනමාත්මකවත් ප්‍රේක්ෂකයා කේන්ද්‍රීය කරගනිමිනුත් නිර්මාණය කර ඇති ‘නීලිරා’ සිනමා කෘතිය ඊළ සිනමා ඉතිහාසයට කදිම නිදසුනක් ගෙනෙනවා වගේම ලෝක දෙමළ සිනමාව තුළ ඊළ සිනමා කෘතියක් ලෙස ඉහළ ම අසුනක් වෙන් කරවා ගනනක් බව දැඩිව ප්‍රකාශ කළ හැකිය.

මේ කිසිවක් නොඅසන්න

WhatsApp Image 2026 04 15 at 04.33.21

අපි බැලු‍වේ චිත්‍රපටයකි. එහෙත් අපි චිත්‍රපටය නොබැලු‍වෙමු. අපි දුටුවේ ඒ රාත්‍රිය පමණි. බියෙන් බලගන්වපු රාත්‍රිය පමණි. ඇස් ඉදිරියේ ඇඳුණේ එවැනි රාත්‍රීන් පමණි. චිත්‍රපටයක් බලා දිග හුස්මක් ගන්නවා වෙනුවට දිග සුසුම් විටින් විට හෙළන්න සලස්වපු රාත්‍රියකි. අවසන හුස්ම මොහොතකට හෝ හිරකෙරූ රාත්‍රියක් පමණි. නීලිරා දිගම දිග රාත්‍රියකි. බයෙන් බලගන්වපු භූමියක දිග දසුනකි.

ඔබ දැන් නොඅසනු! පෙන්වීමට වෙන යමක් තොපට නැත්තේ ඇයි ද?  ලිවීමට වෙන යමක් තොපට නැත්තේ ඇයි ද? ගැනුමට වෙන සංකේතයක් තොපට නැත්තේ ඇයි ද?

නොඅසනු! තව ලියන්නේ ඇයිදැයි මේ භූමිය දේශයන් දෙකක් ලෙස...

anushaAnusha Sivalingam

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න