කරුවලගස්වැව, ථෙරවාදී ධර්මායතනයේ වැඩ සිටින පුජ්‍ය මග්ගවිහාරී හිමි දැන හඳුනාගන්නට ලැබුණේ රංග කලන්සූරිය Ranga Kalansooriya මිතුරාගෙනි. උන්වහන්සේ ථෙරවාදී බුදු සමය සහ ශාසනය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.
සෙවණැල්ලක් මෙන් අප පසුපස පැමිණෙන ද්වේෂය
මීට මාස හතරකට පෙර අප හතර දෙනෙක් පුරා පැය හතරක් පුරා උන්වහන්සේ සමග කළ සාකච්ඡාවක් සම්පිණ්ඩනය කරමින් උන්වහන්සේ ඉතා වැදගත් කරුණක් අවධාරණය කළහ. ඒ, ශ්‍රද්ධාව, භක්තිය පිටුපස රාගයත්, දැණුම බුද්ධිය පිටුපස ද්වේෂයත් සෙවණැල්ලක් මෙන් පැමිණෙන බව ය. අප කොයි කවුරුත් දැණුම්වාදීන් සහ බුද්ධිවාදීන් බවට පත්වී සිටින මේ යුගයේ අප පසුපස සෙවණැල්ලක් මෙන් පැමිණෙන ද්වේෂය නමැති අගතිය ගැන අප සංවේදී විය යුතු නොවේ ද...? අප අපගේ අස්මිමානය නිසා ම දැණුම බුද්ධිය සොයා යෑමටත් දැනටමත් අප සතුකරගෙන තිබෙන දැණුම බුද්ධිය ප්‍රදර්ශනය කිරීමටත් වැර වෑයම් කරමු.
පුජ්‍ය මග්ගවිහාරී හිමි
ද්වේෂය පිළිබඳ සංවේදී වූ චින්තකයෝ
දැණුම විවිධ ය. අප කැමති දැණුමට අප භක්තිමත් වන අතර අකැමැති දැණුම අපට ගෙන එන්නේ සුහද හැඟීම් නොවේ. එම අසුහදත්වය ද්වේෂය බවට පත්වීමට ගත වන්නේ අසුරු සැණෙකි. වාද විවාද සමාජ මාධ්‍ය සංවාද, පමණක් නොව විද්වත් ශාස්ත්‍රීය සංවාද නිමා නොවන ද්වේෂයෙන් කෙළවර වන බව අපගේ දෛනික අද්දැකීම ය. එහෙත් බුද්ධිය පසුපස එන ද්වේෂය පිළිබඳ සංවේදී වූ චින්තකයෝ බුද්ධිවාදය තුළ ම සිටියහ.
තමන් ලියූ 'ඉන්දීය දර්ශනය' ට පෙරවදනක් සපයන සරවපල්ලි රාධක්‍රිෂ්ණන්, ග්‍රීක දාර්ශනික ප්ලේටෝ උපුටා දක්වන්නේ මෙසේය.
සරවපල්ලි රාධක්‍රිෂ්ණන්
"ප්ලේටෝ ෆීඩෝවෙහි මෙසේ කියයි. එක් දුර්භාග්‍යයක් අපට නොසිදුවන සේ වගබලා ගැනීමට අන් සියලු දේටම වඩා අප සැලකිල්ල යොමු කළ යුතු ය. සමහර අය මනුෂ්‍ය ද්වේෂීන් වන්නා සේම අප බුද්ධි ද්වේෂීන් නොවිය යුතුය. බුද්ධි ද්වේෂීන් බවට පත්වනවාට වඩා ලොකු විපතක් මිනිසුන්ට සිදුවිය නොහැකිය. අවබෝධයෙන් ලබන ප්‍රීතිය මිනිසාට ලබාගත හැකි පරිශුද්ධතම ප්‍රීතිීන්ගෙන් එකකි.''
බුද්ධිය සමග පැමිණෙන අස්මීමානය සහ ද්වේෂය පිළිබඳ සංවේදීව බැලූවෙකි මාර්ටින් වික්‍රමසිංහ මහතා.
"මා උගතකු නොවන බව දන්නා බැවින් මගේ හිසට උගත්කම පිළිබඳ හැගීමක් නොඑයි. මම ජීවිතයේ දුක් පීඩා විඳීමෙන් සහ සැප විඳීමෙන් සහ පොත පතින්ද ලත් දැණුම් ගොඩක් හිසෙහි පුරවා ගත්තෙක්මි. මේ දැණුම් ගොඩ වමාරා නොදන්නා එකකු විය හැකි හොඳම මග පෙන්වා දුන්නේ බුදුන්වහන්සේ ය. ඒ මගට පිවිස ආත්මය හික්මවා ඒ දැණුම් ගොඩ හිසින් බැහැර කරන්නට මට නොහැකි විය.''
(1960 අගෝස්තු 04 දිනමිණ- දොන් පීටර් පියතුමාට ලියන පිළිතුරු ලිපියක)
සිංහල භාෂාවෙන් සිදුවන සමාජ දේශපාලන සංවාදවල නිදන්ගත වන ද්වේෂය පිටු දැකීම සඳහා අලුත් සන්නිවේදන සහ වාග්විද්‍යාත්මක මැදිහත්වීමක් අවශ්‍ය ඓතිහාසික මොහොතක් කරා අපි පිය නගමින් සිටින්නෙමු.
ජාර්ගන් හබර්මාස්
දැණුම සන්නිවේදනය පිළිබඳ ඉහළ අචාරධාර්මික න්‍යායක් (communicative action ) ඉදිරිපත් කළ ජාර්ගන් හබර්මාස් පඬිවරයා මිය ගිය අද (මාර්තු 15) මෙවන් සටහනක් ලියන්නට ලැබීම දෛවෝපගත ය.

කරු පරණවිතාන

