චිත්‍රපට "අධ්‍යක්ෂවරුන්ගේ සංසදය" මුහුදු මංකොල්ලකරුවන් අතට පත්වුණා ද...?

චිත්‍රපට "අධ්‍යක්ෂවරුන්ගේ සංසදය" මුහුදු මංකොල්ලකරුවන් අතට පත්වුණා ද...?

ශ්‍රි ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ( DGSL ) වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව සිතා බැලිය යුතු කාලය දැන් දැන් එළැඹ තිබේ යැයි හැඟේ,

ලාංකීය චිත්‍රපට කර්මාන්තය ( පිළිගත් කර්මාන්තයක් නොවූ ) තුළ එදා සිටම විවිධ මට්ටමේ සංවිධාන සිනමාවේ ගැටලු සහ ප්‍රගමනය වෙනුවෙන් බිහිව තිබේ, ඒ අතරින් දැනට දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානයත්, ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදයත් ක්‍රියාකාරීව පවතී, විවිධ ගැටුම් සහ මතවාද ඔස්සේ බෝඩ් ලෑල්ලකට පමණක් සීමා නොවී මේ සංවිධාන දෙක දිගුකලක සිට යම් ප්‍රමාණයක හෝ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි,

මේ සංවිධාන දෙක ඇත්තට ම බිහිඋනේ ඇයි, ඒ කුමක් සඳහාද ?

filmcorporation

2010 වසරේ සිට සිනමාවේ දැනටත් පවතින ඉතා කැත, දුෂ්ට, පජාත, අවිධිමත් චිත්‍රපට බෙදාහැරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව සිතාමතාම තම පරිපාලනය දියාරු කරගැනීම වෙනුවෙන් ඊට විසඳුම් සොයනු වස් සිනමා සංවිධානයක අවශ්‍යතාව හදවතක් ඇති සිනමා ළැදි පිරිසකට තදින්ම දැනෙන්නට වුණා, ඒ පිළිබඳව යම් යම් යෝජනා එවක ජාතික චිත්‍රපට සංස්ථා ( ජා.චි.ස ) සභාපති අශෝක සේරසිංහ මහතා වෙත යොමු කිරීමේ දී ඔහුගේ ප්‍රකාශය වූයේ, ''මම මේ ගැටලු සභාපතිවරයා විදිහට බලධාරීන්ට කියනකොට, මහින්ද ජනාධිපතිතුමා වටේ ඉන්න ප්‍රබලම කලාකරුවන් කිහිපදෙනෙක් 'එතැන එහෙම ගැටලු නෑ, මේවා මේ අශෝක හදාගන්න ඒවා" යනුවෙන් කියූ බවයි.

පසුව අශෝක සේරසිංහ මහතා මේ ලියුම්කරුට යෝජනා කළේ "මොහාන්... මේ සිනමාවේ එකෙක්ගෙවත් එකමුතුවක් නෑ, පොදු වැඩ නෑ, මට ඔක්කොම ප්‍රශ්ණ අරගෙන එන්නේ පුද්ගලිකව විසඳගෙන ගෙදර යන්න, මම දැන් ජනාධිපතිතුමා ගේ ( මහින්දතුමා ) උදහසට ලක්වෙලා ඉන්නේ. මෙතැන අල්ලපුවත්තේ ඉඩම ගන්නවට මම තදින් විරුද්ධ වුණා. ඒකට සිනමාකාරයෝ එකෙක්වත් සහයෝගය දුන්නේ නෑ. අන්තිමට ඉඩමට වෙන්න ඕනදේ වුණා. මෙතැන මට උවමනා විදිහට වැඩ කරන්න දෙන්නේ නෑ. ඒකට අර ..............., .................., ................., ඇතුළු කිහිපදෙනෙක් ජනාධිපතිව නොමඟ යවනවා. ඒ අය ජනපතිට බොරු කියනවා. මම මේ ගැටලු දැන් ගෙනිච්චත් එච්චරයි; බැණුම් විතරයි. හැබැයි ඔයාට පුළුවන් එක දෙයක් කරන්න, ඔයා කියන ඔය ගැටලු ටික ලියලා, අඩුම වශයෙන් සිනමාවේ 25 දෙනෙක්වත් එකතුකරගෙන ඒ අයගේ අත්සන් යොදලා මට දෙන්න. එතකොට මට මේවා පිටින් එන ගැටලු බවට පෙන්වන්න පුළුවන්, ඊට පස්සේ මම ජනාධිපතිතුමාව හමුවෙන්නම්."

අභියෝගය බාර ගත් පසු

ඒ පිළිතුර අස්සේ කොළ එළියක් පෙනුනත් ඒක මට තරමක ප්‍රශ්ණයක්. ඇත්තට ම ඒක අමාරු වැඩක්. නමුත් සභාපති ගේ අභියෝගය මම ජය ගන්නම ඕනේ. ඔහු දන්නවා මේක ඇතුළෙ 25 ක් එකතු කරන එකත් ලෙහෙසි වැඩක් නොවන වග. විශේෂයෙන්ම ආරම්භයක් වෙනුවෙන්.

චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න, නිපදවන්න, රඟපාන්න, සංගීතය සපයන්න, එකී නොකී සෑම වැඩකට ම පොරවල් හිටියට මේ වගේ වැඩකට එව්වෝ එන්නේ නෑ. රෑට නින්දට යනකොට හෙට මොකාගේ චිත්‍රපටියේ රඟපාන්න ගේම ගහනව ද කියන පරම පවිත්‍ර චේතනාන්විත අති උත්තම නළු - නිළියෝ එකෙක් මේවගේ වැඩවලට එන්නේ නෑ. උන්ට ඕනේ මල් පොච්චියක් වගේ සමාජෙට පේන්න රඟන්න විතරයි. උන් ලෝක විනාශය වෙනකම් ම නළු - නිළියෝ විදිහට ඉන්න කැමති පිරිසක් ( කිහිප දෙනෙක් විතරක් මේ ගෝත්‍රයට වැටෙන්නේ නෑ ) බහුතරයක් උන්ට අර්බුධ අරහං. අපරාදේ කියන්න බෑ අධ්‍යක්ෂවරුත් බහුතරයක් එමම යි, එලෙසම යි,

එදා ඒ ගැන හිතමින් ඉන්න වෙලාවක ලංකාවේ ජනප්‍රිය සිනමා සමාගමක් සරණ යන්න ගිය, ඒ සමාගම හරහා බුදුන් දැක නිවන් දකින්න ගිය ජනප්‍රිය නළුවෙකුට තම කුලුඳුල් සිනමාපටය රෝල් කරලා පශ්චාත් භාගයේ ගහපු එකයි, තවත් ප්‍රවීණ නළුවකු ගේ තම ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය ජා. චි. සං ( NFC ) රිද්මා මණ්ඩලයට අදාළ සිනමාශාලා විසින් ගලවා විසිකිරීමත් යන ගැටලු දෙකම එකවිට චිත්‍රපට සංස්ථාවෙ මාරගහ යටට මාර පරාජයට මෙන් පැමිණියා. අඳෝනා කෝටියයි, වැළපීම් කෝටියයි, අර්බුධ - අර්බුධ - අර්බුධ...

ඒ මොහොතේම... එතැන් සිට මමත්, තව කිහිප දෙනෙකුත් මේ වැඩේට බැස්සා. මාරගහ යටින් පටන්ගත්ත මේ වැඩේ, පසුව 25 දෙනෙක් එකතුකරලා ගැටලු ටිකත් ලියලා සභාපති ගේ අතට ම දුන්නා මෙන්න සභාපතිතුමා වැඩේ... හැකිනම් ඉදිරියට යන්න.

ඒ එකමුතුව අදටත් පවතින "දේශිය සිනමා ශිල්පීන්ගේ සංවිධානය ( DCSS )" යි. ගැටලු එහෙම ම යි. හැබැයි සංවිධානයක් බිහිවුණා.

655281932 2898729357140066 4460392898650109442 n

DCSS එකේ තෙවන සභාවාරයට මම බෙනට් අයියාට (බෙනට් රත්තායක මහතා) පොල්හේන්ගොඩ රොහාන් වැලිවිට ගේ FINE VISION කාර්‍යාලයට එන්න කීවා; එදින ඔහු පැමිණියා; මම එදා එතැන හිටියේ නෑ. සභාව අවසානයේ ඔහු මට Call එකක් ගත්තා. ඒ වෙනකොට මම දඹුල්ලේ සුගත් සමරකෝන් මහතා ගේ "ඇහැලේපොළ කුමාරිහාමි " චිත්‍රපටයේ වැඩ.

''මල්ලී... මම රැස්වීමට ආවා ඔයා නැහැනේ...''

මම හේතුව කිව්වා.

"හරි මල්ලී, මට කාරණාව පැහැදිළියි. මගේ හිතෙත් මේ වගේ ම වැඩක් තියෙනවා. ඒකයි මම මල්ලිට එන්නම් කියලා කිව්ව විදිහටම ආවේ. මම සම්පූර්ණ විස්තරේ හෙට දෙන්නම්. මල්ලී මේ වැඩේ කරගෙන යන්න."

පසුව බෙනට් අයියා මට කළ විස්තරයට අනුවම " ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය - ( DGSL ) " පිහිටෙව්වා, සතුටට කරුණක්.

සතුටට හේතුව

දැන් සිනමාවේ අර්බුධ වෙනුවෙන් පෙනී හිටින සංවිධාන දෙකයි; නියමයි. එතැන ප්‍රවීණ - ආධුනික පිරිස බොහොම යි. සියලුදෙනා ම දක්ෂයෝ, හිත හොඳ මිනිස්සු, දක්ෂ වෘත්තිකයෝ, අපේ සංවිධානයේ ලොගෝ එක පවා නිර්මාණය කල අනුරුද්ධ ජයසිංහත් දැන් අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ වැඩ කරනවා. එදා ඔහු අපි සමගත් වැඩ. බෙනට් රත්නායක, ප්‍රසන්න විතානගේ, ධර්මසේන පතිරාජ, උදයකාන්ත වර්ණසූරිය, අශෝක හඳගම, එරංග සේනාරත්න, බූඩි කිර්තිසේන සහ නම් නොලියූ තවත් බොහෝ දක්ෂ සිනමාකරුවන් විශාල පිරිසක් එතැන හිටියා. ඒක සතුට ට හේතුවක් වුණා.

බෙනට් - ප්‍රසන්න සුසංයෝගය ඉතා හොඳින් සංසදය තුළ වැඩ කළා, අපේ සංවිධානය සමගත් ඔවුන් නිතර සාකච්ඦාඡා කළා, ඔවුන් විසින් ගනු ලබන තීරණ අපට දැනුම්දුන්නා; අපෙන් අදහස් විමසුවා, ඒ පිළිබඳව මේ මොහොතේ බෙනට් - ප්‍රසන්න දෙපලට ස්තුතිවන්ත විය යුතු ම යි.

මහපාරට බහිමු...

655265964 2898728190473516 7879703505911282405 n

දිනක් අපි සංවිධාන දෙක අතර පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් අතරතුර " ආණ්ඩුවඅපිට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, අපි මේක මහපාරට බැහැලා ඉවරකරගමු," යැයි මම යෝජනා කළා, අවධාරණය කළා.

ප්‍රසන්න - බෙනට් සැකයකින් තොරව ඒ අදහස අනුමත කළා. ඒක මට අද වගේ මතකයි. තීරණය ගත්තේ සුදර්ශියේ උඩතට්ටුවේ දී. ප්‍රසන්න ගේ විප්ලවවාදී හැඟීමත් - බෙනට්ගේ  ඉවසිලිවන්ත මැදිහත්වීමත්, මගේ සතුටට හේතුවක් වුණා. තොරතුරු විමසුවා, අපි සියලු දෙනා ම එකට එක්ව 2014 දී අවුරුදු 25 කට පසුව සිනමාව වෙනුවෙන් මහපාරට බැස්සා. පත්තර ඇතුළු සියලු මාධ්‍ය අපට සහය දුන්නා. එදා සිනමාකරුවෝ මුල්පිටුවල, ආණ්ඩුවට බලපෑම් කළා. 2016 දීත් එවැනිම මාධ්‍ය හමු - සාකච්ඡා මණ්ඩප තිබ්බා. ජනපති - අගමැති - ඇමති - නිලධාරීන් හමුවුණා. කොටින්ම වත්මන් ජනපති අනුර කුමාර දිසානයකව පවා පැලවත්තේ දී හමු වුණා. DGSL ලාංකේය සිනමාව වෙනුවෙන් මතකහිටින වැඩ කිහිපයක් කළා. COLOMBO FILM FESTIVAL එක ඒ අතරින් ඉහළම එකක්.

2015

එය ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. විශාල වියදමක්; විශාල මහන්සියක්. සිනමාවට අදාළ වූ චමත්කාර ඉතා වැදගත් අයුරින්, නිර්මාණශීලීව ඉදිරිපත් කළා. ඔවුන් සියලු දෙනා ම අවංකව කැපවීමෙන් වැඩ කළා. ඇත්තටම ඒක සිනමාවේ ලොකු වැඩක් ( සියල්ලන්ගේ නම් සටහන් නොකිරීම සම්බන්දව සමාවන්න ) පාසැල් - විශ්වවිද්‍යාල සිසුන් පවා මෙයින් සිනමාව පිළිබඳව උත්තේජනයක් ලැබුවා.

DGSL එසේ වැඩකිරීමේ දී කර්මාන්තයේ සියලු දෙනාව ම දරාගෙන ගමනක් ගියා. ඊට සාක්ෂි පහත පින්තූරවල තියෙනවා. ඔවුන් සෘජු හා වක්‍ර සාමාජිකයින් නිර්මාණය කළා. පිරිස ලෑස්තිකරගෙන හිටියා. අප DCSS සමඟ සෘජු සබඳතාවයක් පැවැත්වූවා, එනිසා සියලු දෙනා ම කොන්දේසි විරහිතව DGSL ට ආදරය කළා. ඔවුන්ගේ නිහතමානී හැසිරීම අප DCSS සඳහා විශාල සහයෝගයක් වුණා.

හැබැයි දැන්...

DCSS අප මේ දක්වා රජය සමග කළ ගනුදෙණුවට අනුව DGSL කොතරම් දුරක් අවා දැයි අප දන්නේ නෑ. ඔවුන් අප සමග කිසිදු සම්බධතාවක් නෑ. අප වත්මන් ඇමතිව 4 වතාවක්, සභාපතිව 4 වතාවක් හමුවුණා. අපගේ යෝජනා ලබාදුන්නා. ප්‍රතිඵල කෙසේවෙතත් අදාළ හමුවීම් සිදුකළා.

DGSL දැනට පොදු භාවිතයෙන් ඉවත්ව සංවිධානයට ම පමණක් අනුගතව සිටින නිසා, ඔවුන්ගේ සිනමා අර්බුධය පිළිබඳව අදහස් පැහැදිළිව එළියට පෙනෙන්නේ නෑ. ඔවුන් ගේ තනතුරු හොබවන පිරිස හෝ ක්‍රියාකාරකම් සමාජ මාධ්‍යයෙන්වත් නොදැකීම කනගාටුවක්. විශිෂ්ට මට්ටමේ සංවිධානයක් මෙලෙස හැකිළීම සිනමාවට පාඩුවක්. එදා සිටි ප්‍රගතිශීලි මිනිසුන් දැන් මෙහි නොමැතිවග දකින්න ලැබෙනවා. ඇත්තටම දැන් DGSL හී නැවත ඔසවා තැබීම වෙනුවෙන් නව මාධ්‍ය ( NEW MEDIA ) හෝ භාවිතාකර තම සංවිධානයේ පොදු අදහස් අපගේ ද දැනගැනීම පිණිස හෝ සටහන් කරන්නේ නම් වඩාත් ප්‍රයෝජනවත් වේවි.

නොඑසේනම් අපට සිතීමට සිදුවන්නේ: ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, මේ වනවිට මුහුදු මංකොල්ලකරුවන් බඳු පිරිසක ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි.

mohan

 

මොහාන් හෙට්ටිආරච්වි

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න