පසුගිය තුන්වන දින ''සිංහල භාෂාවේ හෙට දවස'' මැයෙන් ලිපි එකතුවක් අන්තර්ගත කෘතියක් නිකුත් විය.

එම අවස්ථාවේ දී වංගීස සුමනසේකර සහ මහාචාර්ය සඳගොමි කෝපර හේවා අතර උණුසුම් වාදයක් ඇති විය.
පසුව එම වාදය සම්බන්ධයෙන් කරුණාරත්න පරණවිතාන කිසියම් අදහසක් පළ කර තිබිණ. අපි එය පළ කළෙමු. එය පළ කිරීමෙන් අනතුරුව කරුපරණවිතානට පිළිතුරක් සපයන්නේ නම් එම පිළිතුර ද පළ කරන බවට අපි වංගිසට පැවසුවෙමි. නමුත් ඔහු ඍජුව ම කරුණාරත්න පරණවිතානට පිළිතුරු නොදී ඔහුගේ අදහසක් face bookහි පළ කළේ ය; අපි එය ද පළ කළෙමු.
මේ අතර වංගිස සහ කෝපරහේවා ගේ වාදය සම්බන්ධයෙන් ධනංජය කරුණාරත්න දක්වා තිබූ ප්‍රතිචාරයක් ද වංගීස අප වෙත එවා තිබුණි.
මතු පළ වන්නේ ධනංජය කරුණාරත්න දක්වා තිබූ ප්‍රතිචාරය යි.
''මම සම්පූර්ණ වීඩියෝව බැලුවා. මෙතන දි සඳගෝමි, වංගීස මතු කරන කාරණය හරියටම තේරුම් ගත්ත ද කියලා මට සැකයි. මට හිතෙන්නේ වංගීස මතු කරන්නේ ව්‍යාකරණවල නිවැරදිභාවය සහ භාෂාවේ සරලකරණයට වඩා ප්‍රභූ නිර්ප්‍රභූ භාෂා අතර ඇති වෙනසයි.
ජෝතිපාල සහ නිහාල් නෙල්සන් යනාදි ගායකයින් පීචන් ගායකයින් ද...?
අඩෝ, පරිප්පුව, මාරයි , ගූ වැඩ, කෙළවෙනවා... වගේ වචන ඇතුළු සමහර කුණහරපයි කියන වචන 'නිර්ප්‍රභූ' කියන මිනිසුන් විසින් එදිනෙදා ව්‍යවහාරයේ පාවිච්චි කරන අතර ඒවා පහත් මිනිසුන් ගේ භාෂාවක් විදියට සැලකිය හැකි ද කියන කාරණය යි. ඒ වගේම එවැනි භාෂාවකින් කලා විචාරයක් කරන්න බැරි ද? ඔය සඳගෝමි කියන යක්කඩුවේ හාමුදුරුවෝ ඇතුළු සමහර අය මතු කළේ ව්‍යාකරණ යොදා ගැනීම සහ සරල සංකීර්ණත්වය පිළිබඳව කාරණා විනා කුණුහරුප වචන ඇතුළු උසස් පීචං ප්‍රශ්නය නෙමෙයි. ඒ කාලයේ ම ඔය ජෝතිලා සහ නිහාල් නෙල්සන් ලා පීචන් ගායකයින් වුණේ ගීතය සරල වුණාට වඩා ඒවායේ කියන අත්දැකීම්, භාෂාව තාල සහ තවත් බොහෝ දේවල් නිසයි.

භාෂාවේ පැවැත්ම තීරණය කරන්නේ ව්‍යවහාරය තුළයි
අනූව දශකයේදී භාෂාව සහ කලාව ඇතුළු ප්‍රකාශන තුළ මතුවුණු කාරණය නම් ඒ උසස් පීචන් භේදය පිළිබඳ විවාදයයි. මම දන්නා තරමින් අනූව දශකයට පෙර එවැනි කතිකාවක් ඇති වුණේ නැහැ. මම හිතන්නේ ඔය දීප්ති ලියනකොට හිතාමතාම ඒ භාෂා පාවිච්චි කළේ ද විදග්ධ බලය ප්‍රශ්න කිරීමේ දේශපාලනික හේතු මතයි. අර්ජුන පරාක්‍රම බඳු අය නිර්ප්‍රභූ අධ්‍යයන (Subaltern Studies ) වලින් ද එක්තරා විදියකට ඊට න්‍යයික පදනමක් දමලා තිබුණ බව පිළිගන්න පුළුවන්. දවස අවසානයේ කිසියම් භාෂාවක් සුරක්ෂිත කරන්න රජයේ දෙපාර්තමේන්තුවක් සහ භාෂා විශාරදයින් කීපදෙනෙකුට පුළුවන් ද?
සංරක්ෂණය කිරීම වරදක් නැතත් අවසානයේ භාෂාවේ පැවැත්ම තීරණය කරන්නේ ව්‍යවහාරය තුළයි. භාෂාවෙ ඇති එම වෙනස්වීම සහ පරිවර්තනය කිසිම කෙනෙකුට පාලනය කරන්න බැහැ. දැන් සිදුවී ඇත්තේ සිංහල නමින් එක් තනි අධිකාරි භාෂාවක් වෙනුවට විවිධ භාෂා ප්‍රභේද ඇති වී එය වඩාත් සංකීර්ණ වෙමින් යාමයි.''

ධනංජය කරුණාරත්න

