2026 - 02 - 13 දේශීය සිනමාවට තවත් සිංහල චිත්‍රපටයක් එකතු උණා, චිත්‍රපටයේ අධ්‍යක්ෂ - සමීර නාඔටුන්න, නිෂ්පාදක - වරුණ අරඹගේ.
මරණ තුනක් ඇති මිනිසා
සමස්ත සමාජයේ ම සියලු පැතිකඩ දිගු කලක සිට දැවැන්ත නාය යෑමකට ලක්වෙමින් ඇති අතර ඊට සාපේක්ෂව සිනමාව ද එකී නාය යෑමේ ප්‍රධාන කලාපයකට තල්ලුවී තිබේ, කෙනෙක් යම් චිත්‍රපට කිහිපයක් මේ මොහොතේ ආදායම් ලබන නිසාම සිනමාවට හානියක් සිදුවී නැති බව හෝ පෙර එසේ වී තිබුණා නම්, "දැන් චිත්‍රපටි ගොඩ යන කාලයයි" කියමින් කරුණු දැක්විය හැකියි, ඔය ඔවුන්ගේ අයිතියයි. සැබැවින්ම සිනමා අර්බුදය එතැනමයි, එය තව තවත් ඔඩු දුවනවා විනා කිසිදු විසඳුමක් පෙනෙනතෙක් මානයේවත් නොමැත. ගැටලුව කුමක්ද යන්න කිසිවකු නොවිමසන අතර එය ඔවුනට අදාළ නොවන අයුරින් හැසිරේ, තම තමන් පුළු පුළුවන් විදිහට චිත්‍රපට හදමින් - චිත්‍රපට පෙන්වමින් - සාකච්ඦා සම්මන්ත්‍රණ තියමින් - සංවාද පවත්වමින් - දුක් විඳිමින් - සැප විඳිමින් - මරණ 3 ක් ඇති එකා සේ හැසිරෙයි.

ඔළුවට පොල්ගෙඩියක් පතබෑවුණ අපි
ශමීර ගේ W I F E ට අදට දින 14 යි. චිත්‍රපටය දුවනවා, ඒක සතුටක්, චිත්‍රපටයක් දිවීම ඇත්තටම සතුටක්, චිත්‍රපටය යනු මහා කලාවක්, ඒක චූල වැඩක් නෙවෙයි, තේ අදින එකාගේ සිට - මේසන් බාස්ගේ සිට - දොස්තරගේ සිට - ඉංජිනේරුවාගේ සිට සියළු පිරිස් එකට බැඳ දමමින් තාක්ෂණයේ ඉහළට ම යමින් සිදුකරන මහා කටයුත්තක්; සමාජයක් නියෝජනය කරන බොහෝ පිරිසක් එකම මාධ්‍යක් වෙනුවෙන් දැණුම - බුද්ධිය යොදමින් වෙහෙසෙන කලා කටයුත්තක් ඉතා දියුණු කර්මාන්තයක්, මේ දේශයේ එවුන් මේ පිළිබඳව කොහොම හිතනවාද යන්න ගැටලු සහගතයි. මෙහේ ඇත්තෝ හැම වෙලාවෙම ඔළුවට පොල්ගෙඩියක් පතබෑවුණ ඉරියව්වෙන් ම හැසිරෙන නිසා චිත්‍රපටයේ කුමන කොටසක් උන්ට අදාළදැයි සැක සහිතයි.

චිත්‍රපටයට සිදුවූ අකරතැබ්බය ම විචාරයටත්
සමීරගේ චිත්‍රපටය ගැන සටහනක් තැබීමට පෙර ඉහත මඟුල් කීමට සිදුවන්නේ කෙටි ලිවීම හෝ හෘදසාක්ෂියට එකඟව කළ යුතු නිසයි, නොඑසේනම් වොලිබෝල් ගසන්නාක් මෙන් බෝලය උඩ දම දමා ගැසිය හැකියි. දැන් බොහෝ එව්වෝ චිත්‍රපටි ගැන කරන්නෙත් ඒකමයි.
චිත්‍රපට කොහොමහරි දුවන්න ඕනේ. සවල්වලින් සල්ලි ගෝනිවලට එකතුකරන්න ඕනේ. කොහොම හරි... කොහෙන් හරි... පුද්ගලික හිතවත්කමට - මුදලට - බොරු පුහු සම්බන්ධතාවලට - රස්සාවට - ව්‍යාපාරයට මග පාදමින් චිත්‍රපටි වෙනම කලාපයකට රැගෙනගොස් එක එකාගේ ඇසේ අතුල්ලා බෞතීස්ම කර දමයි. චිත්‍රපටයට සිදුවූ අකරතැබ්බය ම විචාරයටත් සිදුවී තිබේ. නව මාධ්‍ය භාවිතාව ඇතුළෙ මේ කලබැගෑනිය දැන් ඉතාම කැත මට්ටමකට ම ඔඩුදුවා ඇත. කවර කලකටත් වඩා ප්‍රචාරක කල්ලි නිර්මාණය වී තිබේ; ගෝත්‍රගත වී තිබේ. තමන්ගේ එකාව තමන්ට වාසි නම් කුමන හෝ ප්‍රතිපත්තියක සිට පුම්බා දමයි; ගුවන්ගත කරයි.
අධ්‍යක්ෂක ගේ අභිප්‍රාය
සමීර කොළඹ හාදයෙක්. ඔහු පිළිබඳව මට අදහසක් එන්නේ 2010 දී. මා පැපරාසියා සඟරාව කරන කාලයේ ඔහු තරුණ නිර්මාණ ශිල්පියෙක් විදිහට, කොළඹ ගෙන්දගම් පොළවේ පයගහපු පොරක් විදිහට, කොළඹ කුණු කන්ද ගැන ඔහු කරපු කෙටි චිත්‍රපටයක් පිළිබඳව පැපරාසියාට අදහස් දක්වනවා. ඔහුට මේ කුණු කන්ද මාතෘකාවක් බවට පත්වීම ම ඔහුගේ එක් පැතිකඩක් නිරාවරණය වීමක්. එය ධනාත්මක ප්‍රවේශයක්. කුණු කන්ද බිමට පතබෑවෙනකම් බලාගෙන හිටිය කලාකරුවන්, මාධ්‍යකරුවන් ඇතුළු පිරිසකට එය යම් හැඟවීම්කාරකයක්. සමීරගේ ගමන වේගවත්. ඔහු රූප මාධ්‍යයේ විවිධ පැතිකඩවලට අත තියමින් අත්දැකීම් ලබමින් මෝටර් බයිසිකල් සිට මේ වනවිට තම තුන්වන චිත්‍රපටය ද තිරගතකර හමාරයි. W I F E සිනමාපටය ඔහුගේ තුන්වැන්න යි සමීර ගේ චිත්‍රපට තුන ම එක පෙළට තැබූවිට ඔහුගේ සිනමා අභිප්‍රාය කුමක්ද යන්න හැඟේ. එය පසුවට සාකච්ඡා කළ යුත්තක්.
ලැබුණ අනගි අවස්ථාවක් මගහැර ගැනීම
W I F E චිත්‍රපටයේ ධනාත්මක දේ මෙන්ම ඍණාත්මක දේ ද තිබේ. එය දුවන මට්ටමේ චිත්‍රපටයක් ලෙසින් සකසා ඇත. එහි ප්‍රචාරණවාදී දුවන ලක්ෂණ කිහිපයක්ම තිබේ. අලුත් ප්‍රේක්ෂකාගාරය මතුපිට අර්ථ සමග බොහෝවිට සැරිසරණ නිසා W I F E හී ඇති මතුපිට දේ සමඟ ප්‍රේක්ෂකයා බැඳේ, "නෙළුම් කුළුණ" සහ මෝඩ තරිඳු" යනාදි චිත්‍රපට දැඩිලෙස මතුපිට රසයත් සමග ගනුදෙනු කරයි. එහෙත් ඒවා අර්ථපූර්ණ සිනමාපට නොවන බව මගේ අදහසයි. W I F E චිත්‍රපටය ද තමන්ට ලැබුණ යම් අනගි අවස්ථාවක් මගහැර දමන වගක් හැඟේ. චිත්‍රපටය පුරාම සිද්ධි සමූහයක් එකතුකරන අතර ඒ සිද්ධි තුළින් මතුවිය යුතුව තිබූ වඩාත් පුළුල් පැතිකඩක් බැහැර වී යයි.

මතවාදී ගැටුම් ඉතා සරලව විග්‍රහ කිරීම
තරුණ සිනමාකරුවෙක්, ඇඩ්වර්ටයිසිං කාරයෙක්, ත්‍රීවීලර් රියදුරෙක්, නාගරිකයෙක්, ආදරවන්තයෙක්, ගමෙන් නගරයට සංක්‍රමණය වූ තරුණියක්, කාර්‍යාලයක සේවය කරන්නියක්, ආදරවන්තියක් මේ දෙපළ ගේ මතවාදී ගැටුම් ඉතා සරලව විග්‍රහ කිරීම සමීර කුමන අදහසක සිට කළේ දැයි අවිනිශ්චිතයි. මෙහි ප්‍රධාන භූමිකාව ටැක්සි රියදුරකු කර කොළඹ පුරා විවිධ සිද්ධි මැදින් ගමන් කරවීම මේ තරුණ යුවළ කෙරේ බලපාන අයුරු එතරම් සාර්ථක නොවේ. එකී සිද්ධි චිත්‍රපටයේ ප්‍රධාන වෙළුමට කෙතරම් සහයක් ලබාදෙන්නේ දැයි අවිනිශ්චිතයි. දෙදෙනාගේ ගැටුම් හී ආරම්භය සහ අවසානය යායුතු වෙනත්ම මානයකට ගෙන නොයයි. තරුණ යුවළ ගේ මතුපිට හැසිරීම හා අභ්‍යන්තර හැසිරීම් අතර පරස්පරයක් පෙනේ. විටෙක කුඩා දරුවන් සේ හැසිරෙයි.
චිත්‍රාල්; කෙරම් දුරට උචිත ද...?
ශමීර, "ජෝතිපාලගේ - කොඩිගහයට ගීතය චිත්‍රපටයට යොදාගනී. එය ගැළපීම් සහගත වැඩක්. චිත්‍රපට සංගීතය හා ගීත ගායනය චිත්‍රාල් විසින් සිදුකරනු ලබයි, චිත්‍රාල් ගේ හඬ හැසිරවීම එකම තලයක පවතින බව මගේ හැඟීමයි, ඔහු මීට පෙර චිත්‍රපට සඳහා නිර්මාණය කල ගීත හා W I F E හී ගීතය අතර ලොකු වෙනසක් නොදැනේ. ඒ හඬ මේ චිත්‍රපටය විසින් ඉල්ලන හඬ ද යන්න පැටලිලි සහගතයි. ජෝතිපාල කවදත් ඔහුගේ ගීත චිත්‍රපටයේ නියම නිලයට අනුව ගායනා කළා. එනිසා ම ශමීර වැනි තරුණයෙකු පවා ජෝතිව එහි හඬ හා පදරචනාව මත තම සිනමාපටයට ඇතුළු කරයි. එහෙත් චිත්‍රාල් බඳු අයගේ නිර්මාණ අමුත්තක් ඇති නොකරයි. එනිසාම අනාගතයේ දී ජෝතිපාල මේ ලබන අවස්ථා චිත්‍රාල් වැන්නෙක් නොලබයි. එහෙත් ඔහු මේ මොහොතේ විකිණෙමින් පවතින නිර්මාණ ශිල්පියෙක්. ඔහු මූලිකවම වෙළඳ ප්‍රචාරණ ශිල්පියෙක්. ඔහුගේ හඬ මෙවැනි සංවේදී කලාපයක තිබෙන චිත්‍රපටයකට කෙතරම් උචිතද යන්න ගැටලුවක්.

W I F E නැරඹිය යුතුතේ ඇයි...?
ශමීර චිත්‍රපටය තුළ ජනප්‍රිය ශිල්පීන් සමග හරඹ කරයි. ඔහු හේමාල්ව දෙවන වතාවටත් සම්බන්ධකරගෙන සිටියි. ශමීරත් නළුවෙක් නිසාදෝ හේමාල්ට ඔහුගෙන් ගැලවීමක් නැති බවක් පෙනේ. ශමීර ගේ චිත්‍රපටය ගඟක් නම් හේමාල්ව ඔහු උස්ස උස්සා රෙදි ගලේ ගසමින් හෝදන වග පෙනේ ශමීර හේමාල්ට නළුවෙක් ලෙස කැමැත්තක් ඇතිබවක් පෙනේ, එය දෙදෙනාට ම ප්‍රයෝජනවත් බව පෙනේ. වරක් හේමාල් ශමීර ගේ චිත්‍රපටයකින් සම්මානයට පවා පාත්‍ර වුණා,
ශමීර සියළු රංගන ශිල්පීන් ඔහුට අවශ්‍ය පරිදි හසුරුවා ගෙන ඇත. එය ඔහුගේ දක්ෂතාවකි. උදාරි ඉතා හික්මීමෙන් රඟපා ඇත. අනෙක් රංගනශිල්පීන් ද තම යුතුකම සිනමාපටයට වටිනාකමක් එකකුකරමින් ඉටු කර ඇත. ඒ පිරිසගේ දායකත්වය පිළිබඳව වෙනම ලියැවිය යුතුයි.
චිත්‍රපටය පිළිබඳව දැනෙන - හැඟෙන දේ මේ අයුරින් ප්‍රකාශ කළත්, චිත්‍රපටය සමාජයේ පවතින්නේ වෙනස්ම නිෂ්පාදනයක් ලෙසින්. චිත්‍රපටය සමාජයත් සමඟ බද්ධවීමේ දී ජලය වීදුරුවේ හැඩය ගන්නාමෙන් වෙනස් වේ. එනිසාම W I F E බලන්න
වරක් බර්ටෝල් බ්‍රෙ(ස්)ට් කියනවා "ඔබ නාට්‍ය නිෂ්පාදනය කරන්නා සේ ම, ප්‍රේක්ෂකයා ද නිර්මාණය කළ යුතුයි" කියල. දැන් වෙනම ප්‍රේක්ෂකගාරයක් නිර්මාණය වෙලා හමාරයි. දැන් තියෙන්නේ ඒකට හරියන නිර්මාණ කෙළියක් එකදිගට එකකු කරන්නයි.

මොහාන් හෙට්ටිආරච්චි

