(සිංහල වේදිකාවට පරිවර්තනය වූ ජයනාත් බණ්ඩාර ගේ ඔතෙලෝ නාට්‍යය පිළිබඳ කියවීමක්)
තුන්වන සීනුව නාද විය; තිරය විවර විය. අසුන්වල ඉඳගෙන සිටි බොහොමයක් ප්‍රේක්ෂකයින් ගේ නෙත් පළමු දෘශ්‍යමය පඨිතය ඔස්සේ ම සහැල්ලු විය. ජයනාත් බණ්ඩාර අධ්‍යක්ෂණය කරමින් 2026 පෙබරවාරි 14 වන දින කොළඹ එල්ෆින්ස්ටන් වේදිකාවේ හවස 6-30 ට වේදිකාගතවුණු "ඔතෙලෝ" නාට්‍ය නිෂ්පාදනය නරඹන්නට පැමිණි බොහොමයක ගේ අත්දැකීම එලෙස වන්න විය හැකි ය.
සැහැල්ලු හුස්මකින් ප්‍රේක්ෂකයා අසුන් පත් ව
සිංහල වේදිකාව මත විවිධ අවස්ථාවන්හි දී විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය නිෂ්පාදනය වුවත් ඉන් බොහොමයක් ප්‍රේක්ෂකයා තුළ ශේක්ස්පියර් නාට්‍ය පිළිබඳ අවර ගණයේ අත්දකීමක් හා මතකයක් ඉතිරි කරන්නට සමත් වූ බව මාගේ පෞද්ගලික අදහස යි. ඒ වාගේ ම ශේක්පියර් නාට්‍ය තුළ පවතින සංස්කෘතික රූපමය බර විසින් ප්‍රේක්ෂකයා තුළ යම් බරක් ඇති කරන්න ද විය. නමුත් ජයනාත් බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන ලද "ඔතෙලෝ" නාට්‍ය ඉහත කී සියලු ම බර සැහැල්ලු කරවමින් ප්‍රේක්ෂකයාට ශේක්ස්පියර් නාට්‍යයක් නැරඹීමට ආරාධනා කරන්නට සමත් විය. නාට්‍ය විසින් මෙන් ම පූර්ව නිෂ්පාදන මගින් යෝජනා කරන දැවැන්ත වේදිකා පළක මෙහි නැත. එල්ලා වැටෙන තිර රෙදි, කොඩි මෙහි නැත. ප්‍රේක්ෂකයාව පළමු දෘශ්‍යමය අත්දැකීම මගින් අවමාවාදී ආකෘතියක අධ්‍යක්ෂවරයා පිහිටුව යි. එතැන් සිට සැහැල්ලු හුස්මකින් ප්‍රේක්ෂකයාව අසුන් පත් කරයි.

කතා සාරාංශය
"ඔතෙලෝ" - විලියම් ශේක්ස්පියර් විසින් රචිත දුර්භාග්‍යමය (Tragedy) නාට්‍යයකි. තවත් ආකාරයකට ගෘහස්ත ඛේදාන්තයක් වටා ගෙතෙන නාට්‍යයකි. ශේක්ස්පියර්ගේ මෙවැනි නාට්‍ය තුළ පවතින්නේ ඉතා
විලියම් ශේක්ස්පියර් සමීපතයන් ඔස්සේ බිඳ වැටෙන විශ්වාසය, ආදරය සහ ලේ වැගිරීම් ය. මෙය ප්‍රධාන වශයෙන් ඊර්ෂ්‍යාව, සැකය, වංචාව, බලය, ආදරය සහ මනුෂ්‍ය මනෝවිද්‍යාව වටා ගොඩනැගුණු නාට්‍යයකි.
නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ඔතෙලෝ වැනීසියානු සේනාවේ ප්‍රබල හමුදා නායකයෙකි. ඔහු ඩෙස්ඩොමෝනා නම් තරුණියක් සමඟ විවාහ වෙයි. එහෙත් ඔතෙලෝගේ ආසන්න සේවකයෙකු වූ ර්"යාගෝ"(Iago) තුළ ඇති ඊර්ෂ්‍යාව හා වංචාත්මක බුද්ධිය ඔතෙලෝගේ ජීවිතය විනාශයට කරා ගෙන යයි. යාගෝ විසින් ක්‍රමානුකූලව ඔතෙලෝගේ මනස තුළ ඩෙස්ඩොමෝනා විශ්වාසභංගයක් සිදු කර ඇති බවට සැකයක් ඇති කරවයි. මෙම සැකය ඔතෙලෝ තුළ අවිශ්වාසය, කෝපය හා අන්ධ ඊර්ෂ්‍යාවක් බවට පත්ව, අවසානයේ දී ඔහුගේ ම ආදරය විනාශයට පත් කරයි. ඔතෙලෝ නාට්‍යය විශේෂ වන්නේ, බාහිර සතුරන්ට වඩා අභ්‍යන්තර සතුරන් (සැකය, ඊර්ෂ්‍යාව) මනුෂ්‍යයා විනාශ කරන බවත්, වචන හා මනෝමය බලය ශාරීරික බලයට වඩා ප්‍රබල බව මෙන් ම අද දවසේ ද සමාජය තුළ පවතින අවිශ්වාසය, අනුමානය, මානසික පීඩනයන් මැනවසින් සාකච්ඡා කිරීම නිසා කිව හැකි ය. සන්දර්හීය වශයෙන් මෙහි පවතින බලය, කෑදරකම නිසා ඇතිවන ලේ පිපාසාව පිළිබඳ අදහස ද මෙහි පවතී.
නළුවරණය
ජයනාත් විසින් ඉහත සඳහන් කරන ලද ඔතෙලෝ නාට්‍යයේ තේමාත්මක හරය ඉතාමත් ම මැනවින් ග්‍රහණය කරගෙන තිබිණි. එපමණක් නොව අධ්‍යක්ෂ කේන්ද්‍රීය ප්‍රවේශයක් ඔස්සේ ශේක්ස්පියර් විසින් රචිත පිටපත සිංහල වේදිකාවට ගෙන ඒමට දරා ඇති උත්සහය නාට්‍ය සමඟ ප්‍රේක්ෂකයා සම්මුඛ කරලීමට සමත් විය. විශේෂයෙන් ම මෙම නිෂ්පාදනය තුළ භාවිත කර තිබෙන නළු පෞර්ෂය විසින් තම භූමිකා කෙරෙහි දක්වන ලද විශිෂ්ට රූපණ කෞශල්‍යය නාට්‍යයේ විශිෂ්ටත්වය කෙරෙහි බලපා තිබිණි. චරිත වශයෙන් ඔතෙලෝ, ඩෙස්ඩොමෝනා, එමීලියා, ඉයාගෝ ඇතුළු සියලු චරිත සඳහා යොදාගෙන තිබූ නළුවරණය ඉතා ම ගුණාත්මක බව පෙනේ.
තරිඳු දේවතන්ත්‍රී ගේ අසහාහය ප්‍රතිභාව
ඔතෙලෝ චරිතය නම් මෙම නාට්‍යයේ දුර්භාග්‍යමය වීරයා ය. ඔහු තුළ පවතින අභ්‍යන්තර දුර්වලතාවන් විසින් ඔහු තුළ ම තෙරපීම ඇති කර යි. ප්‍රධාන වශයෙන් තමන් වෙනස් පුද්ගලයෙකු බවට ඇති සංවේදනය (outsider complex). විශේෂයෙන් ම ආදරය හා විවාහය සම්බන්ධයෙන් ඇති අඩු ආත්මවිශ්වාසය සහ යාගෝ බඳු පුද්ගලයන් කෙරෙහි ඇති කරවන අධික විශ්වාසය ඔතෙලෝගේ දුර්වලාවන් වේ. එම නිසා විශ්වාසයෙන් → සැකයට ද, සැකයෙන් → කෝපයට ද, කෝපයෙන් → අන්ධ ඊර්ෂ්‍යාවට පැමිණෙමින් ඇතිවන අභ්‍යන්තර ගැටලුකාරීත්වයේ වර්ධනය සහ එය දරා සිටිමින් පැවතීම ඉතා ම සංකීර්ණ මනුෂ්‍ය අත්දැකීමකි. ජයනාත් බණ්ඩාරගේ ඔතෙලෝ නාට්‍යයේ ඔතෙලෝ ගේ භූමිකාව නිරූපණය කරන ලද තරිඳු දේවතන්ත්‍රී එම අභියෝගය ඉතා සාර්ථකව ජයගන්නා ලදී.
තරිඳු දේවතන්ත්‍රී
ඔහු වේදිකාවට ප්‍රවිෂ්ටවන මුල් ම අවස්ථාවේ දී මා තුළ ද ඇති වූයේ ප්‍රශ්නාර්ථයකි. එම චරිතය මොහු නිරූපණය කරන්නට සමත් වේද? ඔහු චරිතයට ලබා දීමට උත්සහ කරන ඇතැම් ලක්ෂණ නාට්‍යයට මොන විදිහකට මැදිහත්වේ ද ප්‍රශ්නය මා තුළ ඇති විය.
නමුත් කෙමෙන් කෙමෙන් ඔහු විසින් චරිතයට ලබා දෙන දෑ එම චරිතය මෙතෙක් සිංහල වේදිකාවේ බිහි වී තිබූ ශේක්ස්පියර් නාට්‍ය දහරාවේ විශිෂ්ටම භූමිකා නිරූපණ අභිභවා යන්නට සමත් විය. ''ඔතෙලො නම් ඔහු ය” යනුවෙන් එල්න්ස්ටන් වේදිකාව මත තරිඳු දේවතන්ත්‍රී නම් වූ එම නිරූපන පෞර්ෂයට මුද්‍රා තබන්නට හැකි විය. ඔතෙලෝ චරිතය ඔස්සේ නාට්‍ය විසින් ඉල්ලා සිටින්නා වූ එම චරිතයේ ආරම්භයේ දී පවතින ගෞරවය සහ ස්ථාවරභාවය, නාට්‍ය ගලායාම තුළ ඔතෙලෝ චරිතයේ ඇතිවන අස්ථිරතාව සහ සැකය මෙන් ම නාට්‍ය අවසානයේ ඇතිවන්නා වූ අන්ධ කෝපය සහ බිඳවැටීම තරිඳු දේවතන්ත්‍රී විසින් නිරූපණය කිරීමට දැක් වූ අසහාහය ප්‍රතිභාව පැසසිය යුතු ය.
එය අනිවාර්යයෙන් ම නාට්‍ය අධ්‍යක්ෂවරයා ඉතා ම මැනවින් සිදු කළ තෝරා ගැනීමක් මෙන්ම මග පෙන්වීමක ප්‍රතිඵලයක් බව නිසැක ය.
ඩෙස්ඩොමෝනා යනු සත්‍ය ආදරය, නිර්දෝෂීභාවය සහ මානවීය කරුණාව නිරූපණය කරන ප්‍රබල නාරී චරිතයකි. ඇය නාට්‍යයේ විනාශකාරී ඊර්ෂ්‍යාවට මුහුණ දෙන නිර්දෝෂී බොළඳිය යි. ඇය ආදරයට විශ්වාසවන්තියක වන්නා සේ ම සත්‍යවාදී ය. සමාජ සීමා අභිබවා තීරණ ගන්නා ස්වාධීන මනසක් ඇයට ඇත. කාරුණික, සමාව දෙන, අන් අයට යහපත කල්පනා කරන චරිතයක් වන මැයගේ චරිතය නිරූපණය කිරීමේ දි එම චරිතය විසින් මුහුණ දෙන පුරුෂයන්ගේ සැකය හා බලය පාලනය කරන ලෝකයක නිර්දෝෂීත්වය සහ නිහතමානීභාවය රැකගන්නා කාන්තාවකගේ වංචාවට හා කුමන්ත්‍රණයට හඬ නැතිව ගොදුරු වන චරිතයක සංකීර්නතාවන් නිරූපණය කිරීමට සමත් විය යුතු ය.
ජයනාත් බණ්ඩාර
ජයනාත් බණ්ඩාර විසින් වේදිකාගත කරන ලද ඔතෙලො හි ඩෙස්ඩමෝනා චරිතය නිරූපනය කරන සඳුනි නවන්ජනා ජයසේකර එකී චරිතය ඉතාමත් ප්‍රවේශමෙන් නිරූපණය කළ ආකාරය පැසසිය යුතු ය. එම චරිතයේ මනෝභාවයක් සහ ඔතෙලෝගේ වෙනස් වූ හැසිරීම් පවා ආදරයෙන් සාධාරණ කිරීම සියුම්ව නිරූපණය කරන්නට මැය සමත් විය. එමෙන් තම චරිතයේ ස්වභාවයන් මෙන් ම ඩෙස්ඩොමෝනා ගැටෙන චරිත අතර පාලම මැනවින් පාලනය කරන එමීලියාගේ භූමිකාව නිරූපණය කරන්නට වූ ඔමී බණ්ඩාර ශිල්පිනිය ඒ සා දැක්වූ ප්‍රතිභාව අනෙකුත් චරිත සඳහා ඉතාමත් ප්‍රයෝග්‍ය වූ බව දකින්නට විය. ඇය සත්‍ය වශයෙන් ම මෙරට වේදිකාවට සුබ සිහිනයකි.
විශිෂ්ටත්වය ඇගයීම
මෙම නාට්‍යයට පාදක වන පෙළ විසින් ඉල්ලා සිටින නාට්‍යයේ නීතිය, සංයමය සහ සාධාරණත්වය නිරූපණය කරන පුද්ගලයෙකු ලෙස පෙනී සිටින භූමිකාවක් ලෙස ''මොන්ටානෝ” චරිතය හඳුනා ගත හැකි ය. නිකලස් විමුක්ති බදුගොඩ විසින් එම චරිතය නිරූපණය කරන්නට වූ අතර චරිතය විසින් ඉල්ලා සිටින නාට්‍යයේ යථාර්ථවාදය , රාජ්‍ය නීතිය හා හමුදා විනය නිරූපණය කිරීම සහ ගෞරවය සහ විශ්වාසය පෙන්වන හඬ මනා පෞර්ෂයකින් නිරූපණය කිරීමට සමත් වූ බව සඳහන් කළ යුතු ය.
නිකලස් විමුක්ති බදුගොඩ
වේදිකාව මත නාට්‍ය අධ්‍යක්ෂවරයා භාවිත කරන්නේ ලී පෙට්ටි ආකෘති කිහිපයකි. ශේක්ස්පියර් කියූ පමණින් සිහිනැගෙන මහා දැවැන්ත දෘශ්‍යමය භෞතිකයන් මෙහි නොවී ය. නමුත් ආධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂාව ඇති කරවන්නට සමත්වන්නේ එකී ලී ආකෘති නාට්‍යය තුළ ම මෙහෙයවමින් ඔබ-මොබ ගෙනයමින් නාටකීය ආකෘතියක් යොදා ගැනීමෙනි. එලෙසින් ම එම නාට්‍යයේ අපූර්වත්ය ඉස්මතු කරන්නේ යොදාගෙන තිබෙන රංගවින්‍යාස මගින් කීම සාවද්‍ය නොවේ. එය බොහෝ ප්‍රේක්ෂකයින් ගේ කතාබහට ද මාතෘකාවක් විය. ඇතැම් තැන් හී යොදාගෙන තිබෙන රංගවින්‍යාස මා තුළ ද යම් ඊර්ෂ්‍යාවක් ඇතිකළ බව කීමට මා නොපැකිළෙමි- එම විශිෂ්ටත්වය ඇගයීම අනිවර්යයෙන් ම කළ යුත්තකි.
ප්‍රේක්ෂකයා ඉදිරියේ සුදර්ශන
"යාගෝ" මෙම නාට්‍ය සාහිත්‍යයේ අතිශය සංකීර්ණ සහ භයානක දුෂ්ට චරිතයකි. ඔහු විවෘත සතුරෙකු නොව, මිතුරා ලෙස පෙනී සිටිමින් විනාශය සිදු කරන මනෝමය කුමන්ත්‍රණකාරයෙකි. ඔහු පුද්ගලයකු වශයෙන් නිහඬය, සැක සහිතය, දඩුවමට මුහුණ දුන්නත් මනෝමය ජයග්‍රහණයක් ලබාගත්තාක් මෙන් නිතරම හැසිරෙන්නෙකි. සුදර්ශන ක්‍රිෂාන්ත විසින් මෙම නාට්‍යයේ "යාගෝ" නම් දරන චරිතය නිරූපණය කරන්නට වූ අතර එම චරිතය නිරූපණය කිරීමට ගත් උත්සහය අගය කළ යුතු ය. ඒ වාගේ ම එම චරිත නිරූප්ණයේ දී එම චරිතය නාට්‍යමය ගලායාම තුළ සංවර්ධනය වන ආකාරය නිරූපණය කිරීමේ දී හම් හිඩැසක් ඉතුරු වූවා දැන් විටෙක දී මා හට සිතුණි. එය අනිවාර්යයෙන්ම එම රංගන ශිල්පියාට පිරවීමට විභවයක් පවතින බව ද නොරහසකි. ප්‍රේක්ෂකයා ඉදිරියේ සුදර්ශන විසින් යාගෝ මැනවින් ස්ථාපිත කළ බව සැබෑ ය. එහෙත් යාගෝගේ කුමන්ත්‍රණයේ මනෝමූලික හැසිරීම සහ ද්වන්දයේ සියුම් හැසිරීම ප්‍රේක්ෂකයා ඉල්ලා සිටියි.
සුදර්ශන ක්‍රිෂාන්ත
ශේක්ෂ්පියර් වේදිකාව මත ජීවත් කරවීම
ජයනාත් බණ්ඩාර නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් "ඔතෙලෝ" නාට්‍ය නිෂ්පාදනයේ යොදාගෙන තිබෙන සංගීතය ඉතාමත් සරල සුගම වූ නමුත් ප්‍රේක්ෂකයකු වශයෙන් නාට්‍ය අවසාන සංගීත කණ්ඩය මගින් නාට්‍ය අවසානයේ ඇති වන ඛේදාන්තය සමග ප්‍රේක්ෂකයාට භාවාත්මකව සංසිදීමට තිබූ අවස්ථාව මග හැර වූ බව මාගේ පෞද්ගලික අදහස යි. නමුත් එය සමස්ත නාට්‍ය නිෂ්පාදනය තුළ ඇති කරවන ලද්දක් නොවූ බව ද කිය යුතු ය.
විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය සිංහල වේදිකාවට ගෙන ඒම බඳු විශාල අභියෝගයක් ජයනාත් බණ්ඩාර විසින් බාරගනු ලබන්නේ "රෝමියෝ ජුලියට්'' නාට්‍යය ඔස්සේ ය. ඔහු එම අභියෝගය අප සිතනවාට වඩා සැහැල්ලුවෙන් භාරගන්නට ඇත. ඒ ඔහු තුළ පවතින සහ පරිශීලිනය කරන ඉංග්‍රීසි සාහිතිකාව අවකාශය නිසා ය. ඔහු ''රෝමියෝ ජුලියට්'' නාට්‍යය ට පසු වේදිකාවට ගෙන එන ''ඔතෙලෝ'' නාට්‍යය විශිෂ්ට වන්නේ ශේක්ෂ්පියර්ව වේදිකාව මත ජීවත් කරවන්නට සමත් වූ හෙයිනි. එම අත්දැකීම නීරස නැත; ඕලාරික නැත; අභව්‍ය නැත. එය එසේ වීමට නාට්‍යකරුවා නැවුම් සුහුඹුල් තාරුණ්‍යයක් සමග ක්‍රියාත්මක වී තිබීම ද හේතුවක් වන්න ඇත.
ශෙක්ස්පියර් යනු බර ආයුධයක් බව සැබෑව. නමුත් එය සහැල්ලුවෙන් හැසිරවීමට ජයනාත් බණ්ඩාරට හැකි බව ඔහු "ඔතෙලෝ" නාට්‍ය නිෂ්පාදනය ඔස්සේ පෙන්වී ය.

උෂාන් පෙරේරා
stage Photo ©Dulan Uddhika Marasinghe

