මනෝවිද්‍යාත්මක පැතිකඩක් පිළිබඳ විග්‍රහ කරන "ද ගර්ල් ෆ්‍රෙන්ඩ්''

මනෝවිද්‍යාත්මක පැතිකඩක් පිළිබඳ විග්‍රහ කරන "ද ගර්ල් ෆ්‍රෙන්ඩ්''

"ද ගර්ල් ෆ්‍රෙන්ඩ්" රාහුල් රවීන්ද්‍රන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද , 2025 වසරේ දී තිරගත වූ ඉන්දියානු තෙළිඟු භාෂා චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයට රශ්මිකා මන්දනා, ධීක්ෂිත් ෂෙට්ටි සහ අනු එමානුවෙල් රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයේ රූගත කිරීම් හයිද්‍රාබාද්, විශාකාපට්නම් සහ ආන්ද්‍ර ප්‍රදේශ් සහ තෙලන්ගානා හි අනෙකුත් ස්ථානවල සිදු විය. චිත්‍රපටයේ වැඩි කොටසක් ඉන්දියාවේ ප්‍රසිද්ධ නීති විද්‍යාලයක් වන හයිද්‍රාබාද් හි NALSAR නීති විශ්ව විද්‍යාලයේ රූගත කර ඇත.

The Girlfriend 3

ආදරයේ සහ ස්වාධීනත්වයේ සැබෑ අර්ථය

සාහිත්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා හයිද්‍රාබාද් වෙත යන පශ්චාත් උපාධි ශිෂ්‍යාවක් වන භූමි දේවි (රශ්මිකා මන්දනා) කඩවසම් තරුණයකු වන වික්‍රම් (දීක්ෂිත් ෂෙට්ටි)වටා කතාව ගෙතී ඇත. සාමාන්‍ය විශ්වවිද්‍යාල ප්‍රේම කතාවක් ලෙස ආරම්භ වන මොවුන් ගේ ප්‍රේමය දිනෙන් දින ඔවුන් ගේ චිත්ත අභ්‍යන්තරයේ සැඟවී ඇති ගැඹුරු චිත්තවේගීය ස්ථර හෙළි කිරීම අරඹයි.

වික්‍රමගේ සෙනෙහස ක්‍රමයෙන් විෂදායි වීමත් සමග භුමි, කෙමෙන් කෙමෙන් පෙනෙන්නට ගත්  ඔවුන්ගේ සම්බන්ධතාවේ යථාර්ථය සමග අරගල කිරීම අරඹයි. සෙනෙහස ලෙස වික්‍රම ගේ මතුපිටින් ලෝකයට පෙනෙන දෙය සෙමෙන් විෂ සහිත ගතිකයක් බවට පත්වන අතර එය ඇගේ චිත්තවේගීය යහපැවැත්මට, මිත්‍රත්වයට සහ පවුල් සබඳතාවලට බලපායි. දිනෙන් දින භුමි  විසින් ඇයගේ සහ වික්‍රම ගේ සමාජ අපේක්ෂා, පුද්ගලික සීමා සහ ආදරයේ සහ ස්වාධීනත්වයේ සැබෑ අර්ථය තේරුම් ගනියි.

 

thegirlfriend review

භුමි කුඩාකල සිට පියාගේ අධිපත්‍යට ද නතුවූ තරුණියකි. ටෝක්සික් දෙමව්පියන් ගේ පාලනයෙන් බැට කෑ තාරුණ්‍යයේ සිහින බොඳ වෙන්නේ ඔවුන් ගේ අනාගතය ව්‍යාකුල කරමිනි. බොහෝ ආසියානු රටවල යෞවන යෞවනියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මෙහි දී ඇය පියා සහ වික්‍රම් අතර සිර වේ.

Toxic (විෂ සහිත) සම්බන්ධතා

girl friend චිත්‍රපටය සම්ප්‍රදායික ආදර කතාවකින් ඔබ්බට ගිය ගැහැණු පිරිමි සම්බන්ධතාවල දක්නට ලැබෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ පිළිබඳ විග්‍රහ කරන චිත්‍රපටයකි. Toxic (විෂ සහිත) සම්බන්ධතා තුළින් මිනිසුන්ට ඉවතට පැමිණීමට ඉඩ සලසා ඔවුන් ගේ සැබෑ විභවය හඳුනා ගැනීමට ඉඩ සලසයි. මිනිසුන් ගේ ආත්මාර්ථකාමිත්වය, විෂ වීම, හැසිරවීම යනාදි මනෝවිද්‍යාත්මක අංශ ඉතා හොඳින් පෙන්වා දෙයි.

චිත්‍රපටය ප්‍රේක්ෂකයාගෙන් මෙසේ අසයි.

''අපි ආදරය කරන්නේ පුද්ගලයාට ද හෝ ඔවුන්ගෙන් පෙනෙන හෝ ඔවුන් පෙන්වන ප්‍රතිරූපයට ද?''

පුරුෂාධිපත්‍යයට එල්ල කළ පහරක්

තෙලිඟු සිනමාවේ වෙනස්ම දෘෂ්ටි කෝණයකින් එළිදැක්වුණ මෙම චිත්‍රපටය සත්‍ය වශයෙන් ම පුරුෂාධිපත්‍යයට එල්ල කළ පහරක් ලෙස කිව හැකියි. මන්ද... නූතන සබඳතාවල දී බොහෝ දෙනෙක් තම සහකරු හෝ සහකාරිය තුළින් බලාපොරොත්තු වන්නේ තමාගේ මනසේ මවාගත් "පරමාදර්ශී" රූපයකි. චිත්‍රපටය තුළ පෙම්වතිය ගේ චරිතය හරහා පෙන්වන්නේ මෙම පරමාදර්ශී රූපය බිඳවැටෙන විට පුද්ගලයකු අත්විඳින මානසික කඩා වැටීම යි. මෙය මනෝවිද්‍යාවේ දී Cognitive Dissonance (ප්‍රජානන විසංවාදය) ලෙස හඳුන්වයි.

theg1

ආදරය නාමයෙන් අනෙකා පාලනය කිරීම

භුමි සහ වික්‍රම් අතර ඇති සම්බන්ධතාවෙන් භුමි  තමා ගෙන් ඈත් වේ යැයි වික්‍රම් තුළ  පවතින අධික බිය සහ අනාරක්ෂිත බව නිසාම තම පෙම්වතියව "ආරක්ෂා කිරීමට" හෝ "ගලවා ගැනීමට" ඇති ආශාව ඇයව පාලනය කිරීම වෙස් මුහුණක් ලෙස භාවිතා කරයි. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට සබඳතාවක ඇති ප්‍රේමය, ආරක්ෂාව, සැලකිල්ල සහ ආධිපත්‍යය අතර වෙනස හඳුනා ගැනීමට අභියෝග කරයි.

චිත්‍රපටයේ යම් තිගැස්මක් (Thriller) පවතී නම්, එය Obsessive Love Disorder (අධික ආශාව නිසා ඇතිවන මානසික ව්‍යාකූලත්වය) පෙන්වන අවස්ථාවක් විය හැකි ය. ආදරය යන නාමයෙන් අනෙකා පාලනය කිරීමට උත්සාහ කිරීමේ භයානක මනෝවිද්‍යාත්මක පාර්ශ්වය මෙහි දී නිරූපණය වේ. නූතන සබඳතාවල සංකීර්ණතා මැනවින් විදහා පාන "ද ගර්ල් ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටිය වත්මන් සමාජයේ සම්බන්ධතාවල පවතින යථාර්ථය මොනවට පැහැදිලි කරයි.

 

 

නිලක්ෂි බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න