" Ne bis in idem " ( You cannot be tried twice for the same offence)
කබ්රාල් ගේ කතාවේ මුදල් ආපසු ගෙවීමේ කථාව අධිකරණය එකඟ කරවාගත් කොන්දේසියකි. එනම් එම මුදල ගෙවා අවසන් වනතුරු ඔහුව නිදහස් කළ හැකිද?
මා සිතන අයුරින් නම් එසේ කිරීම මෙවැනි බරපතළ කරුණකදී කෙසේවත් විය නොහැකි ය යන්න ය. මුදල් ගෙවූ පසු නිදහස් වීම...? එය ද එනම් වරද පිළිගැනීමකින් පසු, මුදල් ගෙවා, නියමිත දඩ මුදලක් ගෙවා නිදහස් වීමක් වේ. එය අධිකරණ තීන්දුවක් විය යුතු අතර මුදල් ගෙවා අවසන් වනතුරු ඔහුට අධිකරණමය බැඳීමක් පවතී. පාස්කු ප්‍රහාරය නිසා හිටපු ජනාධිපතිවරයකුට ගෙවීමට වූ වන්දිය උදෙසා ඔහු බැඳී සිටියි. එය දිලික්තමය වරදක් සම්බන්ධ නඩුවකි.

සුක්ෂම උපක්‍රමයක් විය නොහැකි ද...?
කබ්රාල් ගේ නඩුව හෝ චෝදනාව මහජන මුදල් අවභාවිතය සම්බන්ධ නඩුවකි. කියවෙන පරිදි රජයේ ආයෝජන සම්බන්ධයෙන් හෝ එවැනි ආයෝජනයක පාඩුවක් වීම සම්බන්ධයෙන් නඩුවක් පවරා පෞද්ගලිකව දඬුවම් දිය නොහැකි බවට එම කරුණ ගැනම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඔවුන්ව එනම් කබ්රාල් ඇතුළු හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් පහළ උසාවියකින් ඕවරුල් කරන්නට හැකියාව නොමැති අතර එසේ දුන් තීන්දුවකට හේතු වූ නඩු නිමිත්ත්කට පහළ උසාවියක නඩු කීම පළ රහිත වන්නේ, එකම නිමිත්තට දැනටමත් ඉහළ උසාවියෙන් තීන්දුවක් ලැබී තිබෙන නිසා ය.
එකම වර එකම නඩු නිමිත්තට ඉහළ සහ පහළ උසාවියක නඩු දෙකක් පැවරී තිබීම අසාමානය බව මගේ හැඟීමයි. මෙය සුක්ෂම උපක්‍රමයක් විය හැකි අතර විත්තිකරුවන් Ne bis in idem යටතේ මෙම නඩුව තර්ක කළා විය හැකි ය. ඒ නිසා පහළ උසාවියේ නඩුවට පෙනී සිටින නීතිඥවරු කරුණු දැක්වීමෙන් එකඟතාවයකට පත්වීමෙන් නඩුව ඉල්ලා අස්කර ගැනීම පිළිගත හැකි කරැණකි. එහෙත් පහළ උසාවියක සහ උපරිමාධිකරණයේ එකම කරුණට නඩුවක් පැවරී ඉහළ උසාවියෙන් ම තීන්දුව කලින් ලැබීම තුළ, කෙතරම් සත්‍යවාදී ලෙස නඩුවක් ඔප්පු කිරීමේ හැකියාව පැවතිය ද ඉහළ අධිකරණයේ තීන්දුවෙන් බැඳීම සම්ප්‍රදායය. ශ්‍රේෂ්ඨාධිකරණයට එහා ගිය අධිකරණයකට අභියාචනා කිරීමේ හැකියාව නොමැති බැවින් තීරණය අවසානාත්මක වේ. මහාධිකරණයේ තීන්දුව එවැනි විටක වලංගු වේද?
මුදල් ගෙවීමේ කොන්දේසි සහිතව පහළ උසාවියකට තීන්දුවක් දිය හැකිද...?
ඒ අනුව Ne bis in idem අභිභවා අධිකරණ දෙකක එකම නිමිත්ත විභාග වීම මට නම් හොඳ හැඟීමක් ඇති නොකරයි. එයින් ද පහළ උසාවියට පෙර ඉහළ උසාවියේ අවසානාත්මක තීන්දුව ලැබීම අධිකරණවල නඩු ප්‍රමාද වීම හේතු වුවා දැයි නොදනිමි. එමෙන්ම ඉහළ උසාවියේ වන්දිය, අලාභය අය නොකරන තීන්දුවකට එරෙහිව මුලින් කී මුදල් ගෙවීමේ කොන්දේසි සහිතව පහළ උසාවියකට තීන්දුවක් දිය හැකිදැයි නොදනිමි. මේ ගැන නිවැරදිව කීමට නම් චෝදනා පත්‍ර කියවිය යුතු ය. මේ තීන්දු දෙකේ පරස්පරය ගැන සාකච්ඡා කළ යුත්තේ ලංකාවේ නීති විශාරදයින් ය. කබ්රාල් මාධ්‍ය සාකච්ඡාවක දී ඒත්තු ගන්වන්නේ එකම නඩු නිමිත්තට නඩු දෙකක් පැවති බවයි. අපි දන්නා නීතියේ පහළ උසාවි බැඳෙන්නේ ඉහළම උසාවියේ තීන්දුවෙනි.
මේ කරුණු අතර ආණ්ඩුවේ ඩෝබිවරු මහාධිකරණය කොන්දේසි සහිතව කබ්රාල් නිදහස් කළ බව කියයි. එහෙත් කබ්රාල් කියන සුප්‍රීම් උසාවියේ තීන්දුව ගැන නොකිය යි. අනෙක් අතට ඩෝබි වරු ඉහළ උසාවියේ වන්දි නොගෙවා කළ නිදොස් කිරීම කතා නොකරයි. එලෙස ම පහළ උසාවියේ වන්දි ගෙවා නිදහස් කිරීමක් ලෙස කියයි.
පිළිගත නොහැකි සංකීර්ණ තත්ත්වයක්
නිදොස් කොට නිදහස් කිරීමක දී එම පුද්ගලයින්ට එරෙහිව සියලු ම කටයුතු සලකා බලා ගත් තීන්දුවකින් පසුව නැවත නඩු පැවරෙන්නේ නැත. පහළ අධිකරණයකින් දුන් තීන්දුවකට ඇපෑලක් ගොනු කළ හැකිය. නිදහස් කිරීමකදී නැවත සාක්ෂි සපයා ගැනීම හෝ කොන්දේසි කඩ කිරීම මත නඩු පැවරීමේ හැකියාව පවතී. ඩෝබි වරු ආරක්ෂා කරන්නේ පහළ අධිකරණය දුන්නා යයි කියන තීන්දුව මිස ඉහළ අධිකරණය දුන් තීන්දුව නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අභියාචනයක් ගොනු කල නොහැකි ය. නැතහොත් අවස්ථා සීමිත ය. පැහැදිලිවම මෙය ඉතා පිළිගත නොහැකි සංකීරණ තත්ත්වයකට පත්ව තිබේ. එනම් දැනටමත් බලාත්මක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අතික්‍රමණය විය හැකි තීන්දුවක් පහළ උසාවියකින් දෙන්නේ කෙසේ ද යන්න ය.
අනෙක් අතට විත්තිකරුවන් පිළි නොගන්නා එහෙත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන එවැනි තීන්දුවකට පාදක වන අල්ලස් කොමිසමේ ලියවිල්ලක් ජනගත වන්නේ කෙසේද යන්න ය. මේ නිදහස් වීම ගැන මාලිමා ඩෝබිවරුන් පහළ උසාවියේ තීන්දුව ගැන ප්‍රචාරය කරනු ලබන අතර සිරස හා දෙරණ හැරුණුකොට අනෙක් මාධ්‍ය එය ප්‍රචාරය නොකරන බවට ද තහවුරු වේ.
භයානක ප්‍රවණතා දෙකක්
මේ සංකීරණතාවය මට ඇති වුයේ කබ්රාල් ගේ මාධ්‍ය සාකච්ඡාවක් ඇසීමෙනි. එසේම අල්ලස් කොමිසමේ යයි කියන ලිපිය දැකීමෙනි. අනෙක් අතට සිරස සහ දෙරණ පමණක් ආණ්ඩුවේ ඩෝබිවරුන්ගේ මතය ආරක්ෂා කරන අතර අනෙක් මාධ්‍ය එසේ නොවන බැවිනි. මේ ඉහළ සහ පහළ උසාවිවල තීන්දු ප්‍රකාශ තවමත් ජනගත වී නොමැත. කෙසේ නමුත් මෙහි භයානක ප්‍රවණතා දෙකක් තිබේ.

පළමු වැන්න නම්, අධිකරණයේ ධුරාවලිය විවේචනයට හා විවාදයට සහ ජන අප්‍රසාදයට පත්වෙන ලෙස කටයුතු යෙදී තිබීම ය. අනෙක් කරුණ නම් ඉහළ උසාවියේ තීන්දුව නොවන තීන්දුවක් පහළ උසාවියෙන් ලැබේ යයි ජනතාව දැඩි ලෙස නොමග යැවීම ය. එලෙස ම එම මුදල් අය කර ගත හැකි යයි ජනතාව විශ්වාස කිරීම ය. එයද බරපතළ නොමග යැවීමකි. එසේම ගරු අධිකරණ පද්ධතිය ගැන ජනතාව නොමග යවමින් කරන අපහාසයකි.
උපක්‍රමශීලි ජාලයක් බිහි වීමේ පෙර නිමිති ද...?
අනෙක් අතට බරපතල සමාජීය ප්‍රවණතාවක් කුළු ගැන්වෙමින් තිබේ. හානි පුරණය කර ගැනීමේ ක්‍රමවේදය තුළ ඕනෑ ම අපරාධයක් කර වසර 15 කට පසුව වුව ද හානිය ගෙවා නිදහස් වීමේ හැකියාව පැවතීම, රටක මෙවැනි මුල්‍ය අපරාධ දිරිමත් කිරීම ය. රාජ්‍ය විසින් නිකුත් කරන ලද බැඳුම්කර ගැන වෙනම නෛතික රාමුවක් තිබේ. එහෙත් බදු වංචා කරන ධම්මික පෙරේරා, හෝ මෙන්ඩිස් ව්‍යපාරිකයන් වන අරජුන්ගේ බෑණා බදු පුද්ගලයින්ගේ නොගෙවූ බදු ආයෝජනය කර ඔවුන් වසර 15 කදී උපයා ගන්නා වත්කම් සිතා බලන්න. වසර 15 කට පසු එම නොගෙවූ මුදල් සොච්චම් මුදල් බවට කාලයත් සමග පත්වේ. මුදලේ වටිනාකම අඩුවේ. අපරාධකරුවන්ට නිදොස් වීම හා නිදහස් වීමේ හැකියාව පවතී. එවැනි උපක්‍රමශීලි ජාලයක් බිහි වීමට මේ ආකාරය උදවු සපයයි.
නැවත ගෙවීමක් නොකර ම ඉහළ උසාවියකින් නිදොස් වී අවසන් ද...?
ඒ නිසා මේ නඩු තීන්දු දෙකම ඉතා සුක්ෂමව සලකා බැලීම වැදගත් වන අතර මේ අභව්‍ය ක්‍රියා පටිපාටිය නිවැරදි වීම වැදගත් වේ. අවසානයේ කබ්රාල් කියන පරිදි නම් දැන් නැවත ගෙවීමක් නොකර ම ඔවුන් ඉහළ උසාවියකින් නිදොස් වී අවසන්. සිදු විය යුත්තේ ජනතාවට සත්‍ය පවසා දැනුවත් කිරීම හා මේ සංකීරණතා උපක්‍රම නොවේ නම් , ජනතාවට පැහැදිලි කර දී ජන මනස සමනය කිරීමය. කබ්රාල් ගේ වලිගය වත් නැවත බැඳුම්කර චෝදනාවට ගාවා ගත නොහැකි ලෙස ඔහු මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත.
(උපුටා ගත්තේ Subhashini Wipfler ගේ face book පිටුවෙන්)

