හෙළ බිමේ ඉපදුණු රසවතකු ලෙස බස නිවැරදිව මෙන්ම තියුණුව ලෙළවමින් ඉලක්කයට ම අදහස් නමැති හීසර එල්ල කරණු පිණිස භාෂා ශාස්ත්‍රය අකුරට ම ඉගෙන ගැනීමට මට ම අවශ්‍ය වුණේ ය.
ඒ මොකද කියනවා නම්, ශාස්ත්‍රය බොහෝ දුරට නිවැරදිව දන්නේ නම්, වැඩිමනත් නිර්මාණාත්මක සිතුවිලි නමැති නොදැමුණු නිමක් නොපෙනෙන ශක්තිය මුදාහැරීමට එය ප්‍රබල පිටිවහලක් වන බැවිනි.
විලිලැජ්ජාවට කරුණක්
අප හදාරන්නේ විද්‍යාව ද, ගණිතය ද, වාණිජ්‍යය ද, රොකට් සයන්ස් ද ඊට අදාළ වන්නේ ම නැත. ඒ අනුව, මීට කලකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරුවෙමි. එහි දී, හමු වූ වියතුන් අතර මහැදුරු ජේ.බී දිසානායක සූරින් වූ කලී, මට නම් හෙළ බසේ ගාමක පඬිරුවන ය. එවකට, එතුමා සමග එකත් පස්ව පැමිණ, බසෙහි යටින් දිවෙන වාග් විද්‍යාත්මක ශක්තිය ගැන ගැඹුරු කාරණා දෙසා වදාළ වත්මන මහැදුරු සඳගෝමී කෝපරහේවා සූරින් ඉතාම යෞව්වනයකුව සිටි බව මතක ය. කෙසේ වෙතත්, එම පාඨමාලාව අවසන, මහැදුරු ජේ.බී. දිසානායක ගේ භාෂාව සම්බන්ධ විෂයේ සම්මානය දිනාගන්නට මම සමත් වුව ද විලිලැජ්ජාවට කරුණ නම් තවමත් මට බස හරි හැටි බැරි වීම ය. එහෙයින් මේ ලියැවිල්ලේ පවා ඇති දහසක් භාෂාමය අඩුපාඩු සොයමින් ඒ පාඨමාලාවට නිග්‍රහ නොකරන මෙන් කාරුණිකව ඉල්ලමි.
ඒකත් හරියට ගණිතය වගේ
විභාගය සමත් වීම වූ කලී, එක්තරා තාක්ෂණික උපායකි. සැබෑ භාෂා කෞෂල්‍යය අනෙකකි. අදහසක් ප්‍රකාශ කිරීමේ දී, නිරුවත් හැඟීමට මුල්තැන දී ගලා හැලෙන්නට දී දෙවනුව බසේ අඩුපාඩු විචාලීම මගේ සිරිත ය. ඒ නිසා තවමත් මම නිවැරදි සිංහලය, අක්ෂර වින්‍යාසය ආදී කාරණාවලට බය ය. එම පාඨමාලාව හැදෑරීමේ දී, අක්ෂර වින්‍යාස දැනුම විමසන වැඩමුළුවක දී, ලබාදුන් වදන් කොළයක දෙතුන් අයුරකින් ලියමින්, ඇසට සහ හිතට නිවැරදි යැයි හැඟෙන අක්ෂර වින්‍යාසය ඇති සංයෝජනය තෝරමින් එය පිළිතුර ලෙස යෙදුවෙමි. අපට පසුපසින් සිටි ජේ.බී දිසානායක ගුරුතුමන්, සිය සෝපාහාසමය බැල්මෙන් යුතුව,
"ඒ මොකක්ද ඒ කරන්නෙ?"
යනුවෙන් මගෙන් විමසූ කළ, වදනක නිවැරදි අක්ෂර වින්‍යාසය තෝරා ගනු පිණිස එකම වදන විවිධාකාරයෙන් ලියමින් නිවැරදි යැයි මතක වදන තෝරන බවට කියන්නට සිදුවිණ.
"ආ.. අද ම යි එහෙම එකක් දැක්කෙ? ඒකත් හරියට ගණිතය වගේ " යැයි එතුමා කීවිට සභාතොමෝ සතුටින් සිනාසුණහ.
වාද පවතින බසක වැරදි සිදු වීමේ සම්භාවිතාව
එනමුදු, තවමත් මම කරන්නේ ඒ නරක පුරුද්ද ම ය. සර් නම් කීවේ හරියට ම අක්ෂර වින්‍යාස දැනුම ඇති නම්, හොඳ මතකයක් ද සහිත නම්, එය ඒ හැටි වැඩක් නොවන බවය. එහෙත් සිංහලයේ තරම් අක්ෂර වින්‍යාස සහ භාෂා උපක්‍රම සහ යෙදුම් සම්බන්ධ වාද පවතින බසක බොහෝ වැරදි සිදුවීමේ සම්භාවිතාව වැඩි යැයි පෙනෙයි. කෙසේ වෙතත්, මෙවර ලංකාවේ සංචාරයේ දී, මා මිලදී ගත් පොත් අතරට, මහාචාර්ය ජේබී දිසානායක සහ සඳගෝමී කෝපරහේවා යන පඬිඳුන් ගේ මෙම පොත් ද මිලට ගත්තේ අදහස සහ බස සීහුම්කර ඇණය ටක්කෙට ම ගසන්නට මරු උපකරණ කට්ටලයක් ලෙස සලකමිණි.
හෙළයා හෙළුවෙන් වනයි යනු සිංහලයා සිංහල බසින් අදහස් ප්‍රකාශකරයි යන ප්‍රබල මූලික අදහස සහිත ප්රකාශනයකි. එය එවකට ජේ බී දිසානායකයන් ද වනමින් විද්‍යාර්ථීන් ගේ මොළවලට ම දුන්නකි. එහෙයින් හැකි විදියට මම ද හෙළුවෙන් වනනු පිණිස උක්ත වියතුන්ගේ සුපිරි ශාස්ත්රාඩංගු කරපින්නා ගෙන ආවෙමි ය.
ඒ වගත් එසේයැ.

( සටහන -සමනොළ විජයරත්න)
Digital creator
Brisbane, Queensland, Australia
උපුටා ගැනීම - Samanola Wijayarathna ගේ ෆේස්බුක් පිටුවෙන්...

