මහාචාර්ය ඒ.වී. සුරවීරගේ ස්වයං ලිඛිත චරිතාපදානය මෑතක දී මා කියවූ රසවත් ම පොතයි. තව පිටු කිහිපයක් ඉතිරිව තිබියදීත් මේ සටහන ලියන්නෙ එහි රසය අප්‍රමාණ නිසා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටවූ පසු මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි සුරවීර එම පරිසරය ගැන, ශාස්ත්‍රීය කටයුතු ගැන, නේවාසිකාගාර ගැන ලියා තිබෙන දේ හරි ම අපූරුයි.
සරච්චන්ද්‍ර, හෙට්ටිආරච්චි, ධීරසේකර, පරණවිතාන වැනි දැවැන්තයන් ගැන සමීප අත්දැකීම් ඔහු කතාන්දරයක් සේ විස්තර කරනව.
ඇමරිකාවේ අයෝවා සරසවියේ සාහිත්‍ය නිර්මාණ පාඨමාලාව හදාරන්නට තමා, බිරිඳ සහ දරුවන් සමග එහි ගිය ආකාරයත්, ඉන් පසු ලැබුණු අවසරයෙන් එක්සත් ජනපදයේ බොහෝ විශ්වවිද්‍යාලවල ඇවිද සොයාගත් දැනුමින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අද පවත්නා "ලේඛකත්ව සහ සන්නිවේදන පාඨමාලාවට" මූලාරම්භය ගත් සැටිත් මහාචාර්ය සුරවීර ලියා ඇති සැටි අපූරුයි.
මෙය කියවූ පසු නූතනයේ තරුණ ලේඛක - ලේඛිකාවන් අරබයා නිර්මාණාත්මක ලේඛනය ගැන වැඩමුළුවක් පවත්වන බව උපුල් සාන්ත සන්නස්ගල ලියූ සටහන සිහි වුණා. එය සැබැවින් ම අත්‍යවශ්‍ය සහ හොඳ කටයුත්තක්; කළ යුත්තක්.
මහාචාර්ය සුචරිත ගම්ලත් ජීවත්ව සිටියදී, තවත් බොහෝ අයගේ උපකාර ඇතිව ඇරඹූ "බෘහස්පති භාෂා, සාහිත්‍ය කලා සරසවිය" විශ්වවිද්‍යාලයවලටත් එහා ගිය දැවැන්ත පියවරක්. අවාසනාවකට ගම්ලතුන්ගේ මරණයෙන් එයට වැදුණේ මරු පහරක්. ඉන් ද නොනැවතී මහින්ද සෙනරත් ගමගේ, හරිශ් වල්පොළ ඇතුළු පිරිස් එය රැකගන්නට ගත් උත්සහාය ගෞරවපූර්වකව සඳහන් නොකළොත් එය මෙහිලා කරන අඩුවක් වෙනවා.
කැලණි සරසවියේ සිංහල අධ්‍යයනාංශයට අනුබද්ධව පවතින සාහිත්‍ය විචාර පාඨමාලාව තව දියුණු කළහොත් වටිනා පාඨමාලාවක් වේවි. ඒක මගෙ සිතුවිල්ලක්. ඔවුන් එය වඩා සංවිධානාත්මකව සහා ගුණාත්මකව එළියට විවෘත කරනව නම් මේ මොහොතේ අතිශය වැදගත් යමක් වේවි.
සුරවීරයන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී කළ කී දෑ, අත්දැකීම් ද මේ ස්වයං ලිඛිත චරිතාපදානයට එක් කර තිබෙනව. මා ඉතා ආදරය කරන මහාචාර්ය සුනිල් සෙනෙවිටත් දවසක මෙවනි චරිතාපදානයක් ලිවිය හැකියි නේද කියා සිතුණා. ඔහු අද දරන්නේ ඒ.වී. සුරවීර දැරුවාටත් වඩා බරපතල දේශපාලන තනතුරක්...!
චරිතාපදාන කියවීම හැම සාහිත්‍ය ශානරයකට ම වඩා රසවත් කියවීමක්. මා මෙතෙක් කියවා ඇති රසවත් ම චරිතාපදානය චාලි චැප්ලින්ගේ "මගේ දිවිසැරිය" යි. එය චූලානන්ද සමරනායක සිංහලට පරිවර්තනය කර තිබෙනවා. එම්.ඩී. මහින්දපාල පරිවර්තනය කළ මාලන් බ්‍රැන්ඩෝගේ චරිතාපදානයත් ඊට දෙවැනි නැහැ. "අම්මා මට කියා දුන් ගී" එහි පරිවර්තිත නාමයයි. මේව අමා මහ රස ගෙනෙන පොත්...!
සුරවීරයන්ගේ පොත ද එවැනි ම රස ගුලාවක්...!
උපුටා ගැනීම KD Darshana Face bok පිටු