Rajith keerthi Tennakoon
සිළුමිණ පුවත්පත 2025 ජනවාරි 12 දින "බදුල්ල වන රක්ෂිතයේ අක්කර 5482 ක් ඇල්ලීම - හිටපු ජනපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුත් හවුල්" යැයි පුවතක් පළ කළේය. ඇමති සමන්ත විද්‍යාරත්න විසින්, රජිත් කීර්ති තෙන්නකෝන් වන මම, හල්දුම්මුල්ලේ රක්ෂිතයක ඉඩමක් අල්ලාගෙන ඇතැයි සිදු කළ ප්‍රකාශයක් මත සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තිය හා තෙවන පිටුව පුරා විශේෂාංග ලිපියකි. මේ ගැන මම නිවැරදි කිරීම් දෙකක් යොමු කළේය. එය පළ නොවූ බැවින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අංක PC/R166/2026/734 පැමිණිල්ල විනිශ්චය සභාව ඉදිරියේ විභාග විය.
ලංකා පුවත්පත් ඉතිහාසයේ නිවැරදි කිරීම/පිළිතුරු දීමේ අයිතිය වෙනුවෙන් වැඩිම ඉඩක් වෙන් කර ඇත්තේ ඉහත ප්‍රවෘත්තිය වරක් නොව දෙවරක්ම ‘නිවැරදි කිරීම’ සඳහා ය. එක් වරක් නොව දෙවරක්ම ‘මාගේ පිළිතුර’ පළ කිරීමට සිළුමිණ ට සිදුවිය.
සම්මානලාභී ලේඛකයා
මම ඉඩම් හොරෙකු යැයි කියන පුවත හා විශේෂාංගය ලියා ඇත්තේ සිළුමිණ නියෝජ්‍ය කර්තෘ තාරක වික්‍රමසේකර ය. ඔහු 2026 ජනවාරි මස ‘පීපල්ස් පිනකල් සම්මාන උළෙලේ’ දී, දිවයිනේ ප්‍රශස්තම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය (Best News Reporting in the Country) දිනා ගැනීමට ද 2025 ලියූ මේ ලිපිය හේතු වී ඇත. ලංකාවේ ප්‍රමුඛතවම පුවත්පත් සම්මාන උළෙල ලෙස සැලකෙන පුවත්පත් විශිෂ්ඨත්වය උදෙසා වන සම්මාන (Journalism Awards for Excellence) හි සමාජ සංවර්ධන වාර්තාකරණය සඳහා වන සුබ්‍රමානියම් චෙට්ටියාර් සම්මානය ද, 2024 වසරේ වසරේ ගවේෂනාත්මක වාර්තාකරු (මෙරිට්) සම්මානය ද දිනා ඇත.
වසර 100 ක් පැරණි ලේක් හවුස් ආයතනයේ වසර 96 ක් මුද්‍රණය වන සිළුමිණේ ප්‍රධාන ප්‍රවෘත්තිය, පිටුවක ලිපියක් පළ වු පසුව එයට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේය. කෘතීම බුද්ධිය ද, අන්තර් ජාල සෙවීම් යන්ත්‍රවල ද නැවත නැවත එය මතුවෙයි. දේශපාලනයේ නිරත වන විට බොරු, අවලාද චෝදනා එල්ලවීම සාමාන්‍ය තත්වයක් නමුත්, සැලසුම් සහගත අපහාසයක් ඉවසිය යුතු නැත. කාලයට ද, ශ්‍රමය ද වැය කර මා පුවත්පත් මණ්ඩලයට ආචාර ධර්ම උල්ලංඝනය ගැන පැමිණිලි කළේ ඒ නිසාය.
පසුබිම් කතාව
මොණරාගල මා වගා කරන ඉඩම විඩියෝ ගත කර, එය බදුල්ලේ රක්ෂතයක පිහිටි ඉඩමක් ලෙස දක්වමින් අමාත්‍යවරයා මා හට චෝදනා රැසක් එල්ල කළේය. සිළුමිණ කිසිදු වග විභාගයකින් තොරව එය පළ කළේය. මම අවස්ථා දෙකක දී එයට පිළිතුරු දුන්නෙමි. සිළුමිණ එය පළ කළේ නැත. තාරක වික්‍රමසේකර විසින් ලියා තිබූ ප්‍රවෘත්තියට හල්දුම්මුල්ල හිටපු ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ.ප්‍රියංගිකා උපුටා දක්වා තිබූ අතර, ඇය තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ලිඛිතව දන්වා තිබුණි.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඒ සම්බන්ධයෙන් කළ නිවැරදි කිරීම උපහාසයට, ලක් කරමින් ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා විසින් ෆේස් බුක් සටහනක් ද පළ කර තිබූණි. සිළුමිණ දේශපාලන අවශ්‍යතාවය මත පැහැදිලිවම කටයුතු කරමින් සිටියේය.
පුවත්පත් මණ්ඩලයේ දී ඉහත සාවද්‍ය ප්‍රවෘත්තිය ගැන පිළිතුරක්/නිවැරදි කිරීමක් පළ කිරීමට එකඟතාවයට පැමිණ 2026 සැප්. 20 දින පළමු පිටුවේ සහ තෙවන පිටුවේ එය පළ කළේය. නමුත්, පුවත්පත් මණ්ඩලයේ දී විනිශ්චය සභාව ඉදිරියේ ඇති කර ගත් එකඟතාව උල්ලංඝනය කරමින්, සිළුමිණ අදාල ලිපිය පළ කර තිබුණේ කීර්ති තෙන්නකෝන්ට නැවත වරක් අගතියක් වන කර්තෘ සටහනක් ද සමගිනි.
2026 සැප්තැම්බර් 20
මේ පිළිබඳ නැවත පුවත්පත් මණ්ඩලයේ දී කරුණු විමසූ අතර, එහි දී නියෝජ්‍ය කර්තෘ තාරක වික්‍රමසේකර පැවසූවේ මේ පිළිබඳ නැවත නිවැරදි කිරීමක් සිදු කළ නොහැකි බවය. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ මම, අර්ධ අධිකරණ බලයක් සහිත ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ලබාදුන් නියෝගයක් උල්ලංඝණය කරන්නේ නම් එය පනතේ 12 (5) වගන්තිය යටතේ වන වරදක් බැවින් පුවත්පත් මණ්ඩලයට සිදු කළ අපහාස කිරීමක් සේ සලකා අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ඉල්ලා විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. පුවත්පත් මණ්ඩලය සිය පනතේ ඉහත වගන්තිය අනුව කටයුතු කිරීමට සිදු වන බව, ලේක් හවුස් සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබුණි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පිළිගත් ක්‍රමවේදය අනුව, එකඟතාවයට පත් සම්පූර්ණ නිවැරදි කිරීම පළමු පිටුවේ සහ තෙවන පිටුවේ නැවත පළ කිරීමට 2026 නොවැ. 01 දින සිළුමිණ කටයුතු කරණු ලැබූවේ ඒ අනුවය.

පුවත්පත් නීතිය හා ආචාර ධර්ම පැත්තෙන් ගත් කළ, ‘එකම කරුණ සම්බන්ධයෙන් දෙවරක් නිවැරදි කිරීම් පළ කිරීමට සිදු වු ඉතිහාසයේ පළමු අවස්ථාව’ මෙයයි. 1930 දී ආරම්භ වූ සිළුමිණ සිය වසර 96 ක ඉතිහාසයේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මැදිහත්වීමෙන් ‘නිවැරදි කිරීමකට ලබාදුන් වැඩිම ඉඩකඩ වෙන් කිරීමට සිදුව ඇත. වසර 100 ක ලේක් හවුස් ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් කිසිදා වර්තා වී නැත. පුවත්පතක් පිටුවක ඉඩ කඩ යනු පත්තරයේ ආදායම් මාර්ගය හෙවත් මුදල් ය. සිළුමිණට දෙවරක් ‘මුදල්’ අහිමිව ඇත. පට්ටපල් බොරු ප්‍රවෘත්තියක් පළ කර, එය නැවත නැවත නිවැරදි කිරීමට සිදුවීමෙන් අහිමි වන්නේ සිළුමිණ පත්තරයේ විශ්වසනීයත්වය යි. පුවත්පත් විශිෂ්ඨත්වය උදෙසා වන සම්මාන ලැබූ මාධ්‍යවේදී තාරක වික්‍රමසේකරට තිබූ සමාජ පිළිගැනීම යි. තවත් අතෙකින් එය පුවත්පත් සම්මාන සම්බන්ධයෙන් වන ඇයගීමේ ක්‍රමවේදය නැවත විමසා බැලීය යුතුව ඇති බව මතු කරයි.
සිළුමිණ පුවත මගින් මට සිදු කළ අපහාසය නැවත නැවත සමාජ මාධ්‍ය මගින් මතු කරනු ලැබූවේ මා ඉඩම් හොරෙකු ලෙස දක්වමිනි. ප්‍රවෘත්තියක් මගින් අගතියට පත් වන පාර්ශවයන්ට එය නිවැරදි කිරීමට අවස්ථාවක් පවතින බව ත්, එය ක්‍රියාවෙන් ඔප්පු කළ හැකි බවත් මා විශ්වාස කළෙමි. අනෙක් අතට, දේශපාලනඥයින්ගේ අවශ්‍යතාව මත කටයුතු කරන රාජ්‍ය ආයතන ද, ඒවායේ නිලධාරීන්ට ‘අභිමත බලය’ සත් භාවයෙන් භාවිත නොකරන විට එය පෙරළා ප්‍රශ්න කරන අවස්ථාවක් කවදා හෝ එළඹිය හැකි බව අවබෝධ කර ගත යුතුව ඇත.
මම මේ සටහන තබන්නේ, පුවත්පත් මාධ්‍ය මගින් යම් පුද්ගලයෙකුට අගතියක් වන විට ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ලෙස ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සතු හැකියාව මතු කර දැක්වීමට ය. පත්තර, ඒවාට ලියන සම්මාන ගත්ත මාධ්‍යවේදීන් වුනත් බොරු ලියනවා නම්, ඒ ගැන නිහඬ විය යුතු නැත. ‘නියාමනය යාන්ත්‍රණයක් ලෙස’ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වසර 50 කට වැඩි කලක් ප්‍රශංසනීය කාර්ය භාරයක් සිදු කරමින් සිටී.

රජිත් කීර්ති තෙන්නකෝන්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
