Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

සජබය සමඟ කපුකමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇතැයි එම පක්ෂය අද (16) මාධ්‍ය නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා   ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය අද දින නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් යළිත් අවධාරණය කර ඇත.
 


Screenshot 2025 10 16 111147



සජබ යෝජනාවට ප්‍රතිචාරයක්

එක්සත් ජාතික පක්ෂය මෙසේ ත්‍රීපුද්ගල කමිටුවක් පත්කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් පත්කළ සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවට ප්‍රතිචාරයක් ලෙසය.

කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර්, මුජිබුර් රහුමාන් සහ එරාන් වික්‍රමරත්න මෙම කමිටුවේ සාමාජිකයන් වන බව  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පසුගියදා ප්‍රකාශකර තිබිණ.

එජාපය සමඟ එකට වැඩ කිරීමේ හැකියාව පැහැදිලි කරන යෝජනා මාලාව සකස් කර සජබ නායකයා වෙත ඉදිරිපත් කිරීම මෙම සිව්දෙනාගේ වගකීම වන අතර, මෙය පසුගිය සතියේ රැස්වූ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ තීරණයකි.

එසේම, තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව ඉදිරියට යෑමේ ආකාරය ගවේෂණය කිරීම මෙම කමිටුවේ වගකීම බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබිණ.

සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස මූලිකත්වය තබාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. කළමනාකරණ කමිටුවේ එම තීරණය පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර, කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒකමතිකව එය අනුමත කළ බැවින්, එක්සත් ජාතික පක්ෂය සමඟ සමගි ජන බලවේගයේ මූලිකත්වය ඇතිව එම කටයුතු ඉදිරියට ගෙන යෑම සිදුවනු ඇති බව ගයන්ත කරුණාතිලක  වැඩිදුරටත් පවසයි.