Language Switcher

V2025

උදයංගගේ විදෙස් ගමන් තහනම තවදුරටත් !

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග හට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (12) ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙයි .

මෙරට නියෝජනය කරමින් වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට විදේශ ගත වීමට අවශ්‍යව ඇති හෙයින් අධිකරණය මඟින් පනවා ඇති එම ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන මෙන් නීතිඥ අසිත් සිරිවර්ධන අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණ .

කෙසේ වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සැකකරු මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශ ලබා ලබාදී නැති බවත් අවශ්‍ය ලේඛන නොමැති බැවින් තමන්ට එසේ ප්‍රකාශ දිය නොහැකි බව සඳහන් කර ඇති බවය.

මේ හේතුවෙන් සැකකරු විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධාවක් වන බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත .

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබන දාහත් වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කරමින් සැකකරුගේ විදෙස් ගතවීමේ අවසරය පිලිබද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත .