V2025

පුවත්

ප්‍රහාරය සඳහා සිරකරුවන් යොදාගෙන ?

ඊයේ (09) අරලිය ගහ මන්දිරය අසල මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතා දැක්වූ සාමකාමී නිරායුද විරෝධතාකරුවන් ට එල්ල කළ මිලේච්ජ ප්‍රහාරය සඳහා බන්ධනාගාර ගත සිරකරුවන් යොදාගෙන ඇති බවට වාර්තා පළවෙයි.

ඊට අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

එවැනි එක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වලින් උපුටා අප පළකර ඇත.

එක සමාන කළිසම් ඇඳ ඇති ඔවුන් ඉතා පැහැදිලිව කියන ප්‍රකාශවලට දෙස් විදෙස් අවධානය යොමුවිය යුතුව ඇත.

එසේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ සංස්කාරක තැබූ සටහනක් පහත දැක්වෙයි .

 සිරකරුවන් ප්‍රහාරයට ආවේ කොහොමද ?

මේ සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී යන අතර පොදුජනතාව භාරයට පත්වූ මේ මිනිස්සු කියන්නේ , උන් බන්ධනාගාර ගතව සිට එහි ගෙනා බවයි.

මීට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වහාම පිළිතුරු දිය යුතුව ඇත.

සිරකරුවන් රංචු පිටින් යොදවා සාමකාමී නිරායුද විරෝධතාකරුවන් ට ප්‍රහාරය එල්ල කිරීමට නියෝග දුන්නේ කවුද ?

මීට පෙරත් එසේ යොදාගෙන තිබෙනවාද ?

මේ ප්‍රථම වතාව නම් , මීට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද ඇයි ?

ඒ වගේම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතුව ඇත.

වැඩ සිදුකර ඇත්තේ මෙහෙම නම් , වැඩේ සංවිධායකයන් සැබෑ ත්‍රස්තවාදීන් නොවේද ? 

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

අද රාත්‍රී 7.00 සිට මුළු දිවයින්ටම පැන වූ ඇඳිරි නීතිය මැයි 11 ( බදාදා) උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

edirineethiya

නඩු තිබුණ ස්මාරකයත් කුඩු !

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ආශ්‍රිත ස්මාරකය අද (09) කෝපයටපත් ජනතාව විනාශ කර ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් ජායාරූප සහ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතී.

සැබවින්ම සාමකාමී විරෝධතා උද්ඝෝෂණ පැවති රට මෙලෙස එක් සැනකින් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ අරලිය ගහ මන්දිරයේ අද රැස්වූ පිරිසක් මයිනාගෝගම සහ ගෝඨාගෝගම නිරායුද සාමකාමී විරෝධතාකරුවන් ට එල්ල කළ මිලේච්ජ ප්‍රහාරය නිසාය.

මෙම ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව නඩුකරයක් ද පැවති අතර නමුත් ඔහු ජනාධිපති මුක්තිය හරහා එයින් නිදහස් විය.

FB IMG 1652109107037

FB IMG 1652109104360

 

 

අද ප්‍රහාරය රජ ගෙදර කුමන්ත්‍රණයක් : ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් චෝදනාවක් !

සාමකාමී ජන අරගල භූමියට කඩා පැන විරෝධතාකරුවන්ට පහරදී මුළු රටම අර්බුදයකට යැවීම හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හා බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු පවසා ඇත .

 මෙම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වුයේ අන්තර්කාලින ආණ්ඩුව කඩාකප්පල් කිරීම බව ඔහු සඳහන් කර තිබේ .

අන්තර්කාලින ආණ්ඩුවට ජනාධිපතිවරයා එකඟවූ දිනට පසුදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදෙමින් ජනාධිපතිවරයා හා ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අතර ගැටුමක් ඇති කිරීමට බැසිල් රාජපක්ෂ කටයුතු කල බවද ස්වාධින මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත .

මේ බව ද ලීඩර් වෙඩ් අඩවිය වාර්තා කර ඇති අතර බැසිල් රාජපක්ෂ විසින් අද දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා තිබු පොහොට්ටුවේ ආධාරකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි ලෙස විවේචනය කර තිබීම ද විශේෂ කාරණයක් බවත් එහි සඳහන් කර තිබේ.

සැලසුම් සහගත වැඩක් : ජනාධිපතිත් ඉල්ලා අස්විය යුතුයි !

අද (09) පෙරවරුවේ සිදුවූ සියල්ල යම් සැලසුම්සහගත ලෙස කළ පහරදීමක් බවත්, වහාම ජනාධිපතිවරයා මෙහි වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසයි .

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත .

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

SS 1 1024x1024 1

සාමකාමී විරෝධතාවයකට ගැහුවේ : ජාත්‍යන්තර සාක්ෂියක් !

සාමකාමී විරෝධතාකරුවන්ට අද (09) එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් සඳහන් කරයි.

තානාපතිවරිය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර අතර එහි මෙසේද සඳහන් ය.

"සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින අතර මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් අප ඉල්ලා සිටී. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හි නිරත වූ සියලුම පාර්ශව අත් අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුතුය.

සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් සාමකාමීව සහ සංයමයෙන් සිටින ලෙස අප ඉල්ලා සිටින්නෙමු"

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

jule

චණ්ඩිණ්ට නඩු සූදානම් : සාමයෙන් ඉන්න - නීතිඥ සංගමය

සාමකාමී විරෝධතාවය සඳහා දියත්වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බව එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මහජනතාව සන්සුන්ව සාමය ආරක්ෂාකරගෙන සිටින ලෙසයි.

අද (09) අගමැති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවස වූ අරලිය ගහ මන්දිරයේ සිට මෙහෙයවනු ලැබූ පොහොට්ටුවට සම්බන්ධ මැර කල්ලි විසින් නිරායුද විරෝධතාකරුවන් ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව රට පුරා ජනතාව වීදි බැස සිටිති.

 

ගෝඨාගෝගම මැර ප්‍රහාරය : රනිල් හෙළාදකියි !

සාමකාමීව තිබූ ගෝඨාගෝගම ට අද (09) එල්ලවූ මැර ප්‍රහාරය සම්පූර්ණයෙන් හෙළාදකින බව හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක , රනිල් වික්‍රමසිංහ පවසයි .

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර ගෝඨාගෝගම ආරක්ෂා කරන්න රටේ යුතුකමක් තිබූ බවත් තරුණ පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදිව තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සෑම කෙනෙක්ම පිළිගත යුතු බවත් පවසා ඇත .

එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ , " අපි සියලු දෙනාමත් එකට දුන්න ප්‍රතිචාරය මදි. ඒ වෙනස ගෙනියන්න උවමනා උනා. අපි ඇත්ත වශයෙන්ම වේගවත් වුනේ නැහැ. ඒ වැරැද්ද අපි පිළිගන්න ඕනේ. අද රටේ නිතිය සාමය නැහැ. අගමැතිතුමා පමණක් නෙවෙයි මුළු ආණ්ඩුවම ඉවත් වෙන්න ඕනේ කියලා මම මෙතැනදී ප්‍රකශ කරනවා."

" ඒත් ආණ්ඩුවක් ඉවත් වෙලා මදි.ඒ ගැටුම් යනවනම් අපිට තියන ආර්ථික පීඩනය වැඩි වෙනවා. මේ ගැටුම් ඉදිරියට ගෙනිච්චොත් අපි අතර ගහ ගන්න ගියොත් අපේ තියන එකමුතු කම අපි නැති කරගත්තොත් ඒ හානිය එන්නේ අපිට වැරදි කරපු හැම එක්කෙනාටම අපි දඩුවම් දෙන්න ඕනේ.

ඒත් එක්කම මම අපේ දේශපාලනයේ යෙදෙන හැම එක්කෙනාටම කියනවා අපිට පරණ විදිහට දේශපාලනය කරන්න බැහැ. ආණ්ඩුව විපක්ෂය පක්ෂ භේද පැත්තකට දාන්න ඕනේ. අපි මුණ දෙන මේ අවස්ථාවේදී අපිට ශක්තිය තියෙන්න ඕනේ. වෙනස් වෙන්න පක්ෂ භේදයට බර වෙන්නේ නැති පක්ෂ භේදය නැති කුඩා ආණ්ඩුවක් තියන්න ඕනේ.

මුළු පාර්ලිමේන්තුවම ඒ වගේම මුදල් බලයක් අරගෙන ඒ වගේම අධීක්ෂණ බලය අරගෙන කැබිනට් මණ්ඩලය සමඟ එකට වැඩ කරන්න උවමනයි. පාර්ලිමේන්තුවේ අපි කවුරුවත් කෙටි පටු දේශපාලනයට යනවනම්. මම හිතන්නේ ඊට වඩා හොඳයි පාර්ලිමේන්තුව වහලා දාන එක.අපි මේ ගමන යමු ඒ එක්කම අපේ යුතුකමක් තියනවා. මේ තරුණ අයට ඒ කොමිටි ඒ ආයතන වල නියෝජනයක් දෙන්න.ඒ හඬ නියෝජනය කරන්න තියනවා.අපිට එකෙන් ඈත් වෙන්න බැහැ. මතක තියාගන්න අපි මේ ගමන යන්න උවමනයි. මේ ගමනෙන් අපිට මේ රට බේර ගන්න පුළුවන්.

කොච්චර ආර්ථිකය කඩා වැටුනත් ආපහු හදන්න පුළුවන්. අපි මේ රටේ ජනතාවට ජිවත් වෙන මාර්ග ඇති කරන්න ඕනේ.අපි ආර්ථිකය ගොඩ ගන්න ඕනේ.අපි තරුණයන්ට අනාගතයක් දෙන්න ඕනේ.ඊටත් වඩා මේ පරණ ක්‍රම ඉවත් කරලා තරුණ තරුණයින් රටේ ජනතාව ඉල්ලන දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රම අපි නිර්මාණය කරන්න ඕනේ එහෙනම් එතෙන්ට අපි සාමකාමිව යන්න හැම එක්කෙනාගෙන්ම ඉල්ලනවා. " යනුවෙනි .

රාජපක්ෂ මැරයන් බේරේ !

සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ මයිනාගෝගම සහ ගෝඨා ගෝ ගම විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණි මැරයන් හට මහජන කෝපය එල්ලවී තිබේ.

මේ වන විටත් අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සහයට පැමිණි කැබ්රථයක් බසයක් ද කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට මහජනතාව කටයුතු කර ඇත .

වාර්තා වන ආකාරයට අරගල බිමේ සාමකාමී සහ නිරායුද විරෝධතාකරුවන් වෙත පැමිණ පහරදී පළායමින් සිටි මැරයන් සහ ඔවුන්ගේ සහයට පැමිණි පිරිස් බස් රථ සහ හිස්ලූ අත දිවීමේදී මේ ආකාරයට මහජනතාවගේ ග්‍රහණයට පත්ව ඇත .

පොලිසිය ඉස්සරහ සංවිධානාත්මක ලෙස දියත් වූ අරගල බිමට පහරදීම හේතුවෙන් මේ වන විට 80ක් පමණ රෝහල් ගතකර ඇති බවත් වාර්තා වෙයි .

යෝෂිත උදේම රටින් ගිහින් ?

අගමැති මහින්ද රාජපක්ෂ ගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ  දෙවන පුත්‍රයාවූ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් වාර්තා කරයි.

ඔවුන් කටුනායක ගුවන් තොටුපල හරහා හෙලි නොවූ ගමනාන්තයක් වෙත විදෙස් ගතව ඇතැයිද එම වාර්තාව කියයි.

මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ වැඩිමහල් පුතා වන නාමල් රාජපක්ෂ ගේ බිරිඳ සහ දරුවා ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු ද මීට පෙර රටින් පිටව තිබිණ .

මහින්ද මයිනාවී ඉල්ලා අස්වෙයි !

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි .

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති බවත් වාර්තා වෙයි .

මේ සමගම සියළු අමාත්‍ය ධුර සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි.

මෙසේ ඉල්ලා අස්වීමට පෙර රාජපක්ෂ පවුලේ කුළී ඝාතකයන් බඳු මැරයන් යොදවා මයිනාගෝගම සහ ගෝඨාගෝගම පැවති සාමකාමී විරෝධතා වලට මිලේච්ජ ප්‍රහාරයක් ද එල්ල කරවා තිබිණ .

මෙම කුළී ඝාතකයන් බඳු මැරයන් පැමිණෙන විට ඒ සමග රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද සිටිනු දකින්නට ලැබිණ .

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන ඒකරාශි වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ගෝඨාගෝගමට අත තිබ්බොත් බලාගෙනයි - රනිල්ගෙන් තගක් !

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙත අනතුරු ඇඟවීමක් සිදුකොට ඇති බව වාර්තා වෙයි .

ඒ හදිසි නීතිය යටතේ "ගෝඨා ගෝ ගම" උද්ඝෝෂකයන්ට බාධා සිදු කළහොත් තමන් සියලු සාකච්ඡා වලින් සහ සහ රජයට අර්බුදය විසඳීමට දක්වන සහයෝගයන් ගෙන් ඉවත් වන බව අවධාරණය කරමිනි.

සාමකාමී විරෝධතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි මර්දන කාරී පිළිවෙත වෙනස් කරගත යුතු බවත්,
විශේෂයෙන් ගෝඨාගෝගම වැනි සාමකාමී අරගල මාදිලි සම්බන්ධයෙන් නිදහසක් ව්‍යවස්ථාවට අනුව ඇති බවත් එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි .

මේ වන විට පාට පක්ෂ භේදයකින් තොරව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් ආණ්ඩුවේ ප්‍රබලයන් පවා රටේ ඔඩුදුවා ඇති මූලික අර්බුද සම්බන්ධයෙන් උපදෙස් පතන තත්ත්වයක් මතුව ඇත.

කෙසේ වුවත් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටු මැරයන් මයිනාගෝගම සමග ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ දැරූ අතර , සවස ගෝඨාගෝගම වෙතත් කඩා වැදීමේ සූදානමක් ඇති බවත් වාර්තා වෙයි .

මහින්ද ඉල්ලා අස්වීම : ආණ්ඩුවේ හිතවත් මාධ්‍ය ජාල ප්ලාන්ට් එකක් !

අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත යොමුකර ඇති බව ආණ්ඩුව හිතවාදී මාධ්‍ය ජාල වාර්තා කරයි.

අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යොමුකිරීම අද (08) අගමැති ගේ අනුරාධපුර වන්දනාවෙන් පසුව සිදුවූ බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙයි .

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අගමැති ගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩල සිය ලිපිගොනු සහ බඩු භාණ්ඩ ඉවත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වුවත් අගමැති ප්‍රමුඛ මහින්ද - බැසිල් පාර්ශ්වය නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ආණ්ඩුව හිතවාදී මාධ්‍යවල මේ වෙනස් කම් සම්බන්ධයෙන් විරෝධය එල්ල කරමින් සිටියි.

එසේම අරලිය ගහ මන්දිරය අසල විරෝධතා පවත්වන "මයිනාගෝගම " ද වෙනදාට වඩා වැඩි පිරිසක් රැස්ව ඇති බවත් වාර්තා වෙයි .

රනිල් සිස්ටම් වෙනසක් ඉල්ලයි !

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (7) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තරුණ වෘත්තිකයන් හමුව ඇති අතර එහිදී ඔහු ආර්ථික ක්‍රියාවලියේ සමස්ථ වෙනසක් අවධාරණය කළ බව වාර්තා වෙයි .

එහිදී අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කර සිටියේ රට තුළ මේ වනවිට ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 25කට අඩු සංචිත මුදලක් බවයි. රජය විසින් බදු අඩු කිරීම හේතුවෙන් රටට අහිමි වූ මුදල රු. බිලියන 800 ක් බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

"අපිට දැන් අපේ ණය ආපසු ගෙවීමට නොහැකියි. ඒ නිසා අපි මුලින්ම ණය ආපසු ගෙවීමේ ව්‍යුහයක් ඇති කළ යුතුයි", ඔහු ප්‍රකාශ කළේය. රජය අනවශ්‍ය වියදම් කපා හැර ජනතාවට කළ හැකි සහන සැලසිය යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා , රජයට ආදායම් වැඩිකර ගැනීමට නම් තවදුරටත් ඉන්ධනවල මිල ඉහළ දැමීමට රජයට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

රජය විසින් ලබාගෙන ඇති ණය ගෙවීමට නොහැකි වීමෙන් අපේ බැංකු පද්ධතිය කඩාවැටීමේ අවදානමකට මුහුණ දී සිටින බවට ඔහු අනතුරු ඇඟවීය. වැඩිම උනොත් වසරක් දෙකක් ඇතුළත මේ ප්‍රශ්න විසඳාගත හැකි බවද ඔහු පැවසීය.

ක්ෂණික ආර්ථික අර්බුදය නිරාකරණය වූ පසු අප අනාගතය දෙස බැලිය යුතු බව ඔහු පැවසීය.

"එහෙම කරන්න නම් දේශපාලන ක්‍රියාවලිය, ආර්ථික ක්‍රියාවලිය ඇතුළු සමස්ත ක්‍රියාවලියම වෙනස් කළ යුතුයි. රටේ දේශපාලන ක්‍රමය පිළිබඳව ජනතාවගේ විශ්වාසය නැති වී ඇති බවත්, සියලු දේශපාලඥයින් ගෙදර යන්න, ගෝටා යන්න, රාජපක්ෂ ගෙදර යන්න, දක්වා විරෝධතා වර්ධනය වී ඇති බව" ඔහු පැහැදිලි කළේය.

ඒ අර්බුදයට විසඳුම් ලබාදීමට පාර්ලිමේන්තුව අපොහොසත් වීම හේතුවෙන් බවද ඔහු අවධාරණය කළේය.

ක්‍රමය වෙනස් කිරීමකට අධ්‍යාපනයට නව ප්‍රවේශයක් අවශ්‍ය වන බව වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. මෙම නව අධ්‍යාපනික මාර්ග සඳහා තරුණ තරුණියන් මූල්‍යමය වශයෙන් ආධාර කළ යුතු බව ඔහු පැවසීය.

ක්‍රමය වෙනස් කිරීමට සමගාමීව නව දේශපාලන ක්‍රමයක් ද අනුගමනය කළ යුතු බව ඔහු පැවසීය. විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නය පමණක් නොව සමස්ත නියෝජිත ක‍්‍රමයටම ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු පැවසීය. දේශපාලන පක්‍ෂ කීයක් තිබිය යුතුද, ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද, මනාප ඡන්ද යාන්ත්‍රණය අනුගමනය කරනවාද නැතහොත් නව පිරිවැය ඵලදායී ඡන්ද ක්‍රමයක් අනුගමනය කරනවාද?

දේශපාලන සංස්ථාපිතයේ පිරිවැය ද විසඳිය යුතු බව හිටපු අගමැතිවරයා පැහැදිලි කළේය.

"අපි කොහොමද වැඩිපුර තරුණ තරුණියන් දේශපාලනයට ඇතුළත් කරන්නේ. ක්‍රමය වෙනස් වීමත් සමඟ ශ්‍රී ලාංකීය සමාජය 21 වැනි සියවසට ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පැවසීය.

අපගේ අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය සියලු වෙනස්කම් වලට අනුගත විය යුතු අතර එමඟින් රටේ මධ්‍යම පන්තියේ නැවත වරක් නැගීමක් දැකිය හැකි බවත් ඔහු පැවසීය .

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ජපානය හා සමව තිබූ අතර දැන් අපි ඇෆ්ගනිස්ථානයටත් පහළට වැටී ඇත. 2048 දී රට නිදහසේ 100 වන වසර සමරනු ඇත, ඒ වන විට අපි අපගේ හැකියාවන් කරා ළඟා වී තිබිය යුතුය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ජාතික ප්‍රතිපත්තියක් සඳහා නව යකඩ රාමුවක් ගෙන ආ යුතුයි. එමගින් විටින් විට ආණ්ඩු වෙනස් විය හැකි නමුත් රටේ දිශානතිය වෙනස් නොවේ. ඉන්දියාව ජපානය වැනි රටවල් ක්‍රියාත්මක වන්නේ අද මේ ආකාරයටයි.

ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය. නව පාර්ලිමේන්තු කාරක සභා හඳුන්වාදීම හරහා රාජ්‍ය මූල්‍ය පාලනය නැවත පාර්ලිමේන්තුව යටතට ගෙන ඒම පළමු පියවරයි. එවිට මෙම කමිටුවලට තරුණ තරුණියන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක වන ආකාරය දැක ගත හැකි බව ඔහු පැවසීය.

මේ තුළින් නව ආර්ථිකය සමඟ රටේ නව නායකයන් බිහිවන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන අර්බුදය, ව්‍යවස්ථා සංශෝධන, විශ්වාසභංග යෝජනා පිළිබඳ ප්‍රශ්න සියල්ල විසඳිය යුතු බව ද ඔහු පැවසීය.

සියලු දෙනා එක්ව කටයුතු කර මේ සියලු ගැටලු විසඳා ගත යුතු බව ඔහු පැවසීය. ඒවාට පුද්ගලයන්ට ආමන්ත්‍රණය කළ නොහැක, මහජනතාව ද මැදිහත් විය යුතුය.

අර්බුදය අස්සට චන්ද්‍රිකාත් මැදිහත් වෙයි !

ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් මතුවූ උග්‍ර ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති අතර ඊට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද මැදිහත්වීමක් සිදුකර ඇත .

ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිනිය මේ මොහොතේ රජයට විසඳුම් දෙකක් පමණක් ඇති බව අවධාරණය කර ඇත .

මේ මොහොතේ රජයට ඇත්තේ විසදුම් දෙක ලෙස ඇය පහත යෝජනා සඳහන් කර ඇත .

1. ජනාධිපතිවරයා සහ රජය ඉල්ලා අස් වී, අන්තර්කාලීන පාලනයක් හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කර, රටේ සශ්වර පාලනයක් පිහිටුවීමට අවස්ථාව ලබා දීම.

2. ඒ සදහා පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් සූදානම් නැතිනම් වහා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ස්ථාවර රජයක් බලයට පත්කර ගැනීම.

හිටපු ජනාධිපතිනිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ජනතාව මහජන නියෝජිතයන්ට බලය ලබා දෙන්නේ තම අභිමාතාර්ථ ක‍්‍රියාත්මක කරවා ගැනීමටය. එය කෙටි කාලීනව ලබා දෙන බලයක් විනා, ඔවුන්ට සදහට හිමිකර ගත හැකි බලයක් නොවන බව අවබෝධකර ගත යුතුය. ඔවුන්ට ජනතා කැමැත්ත තිබෙන තාක් කල් බලයේ රැදිය සිටිය හැකි අතර ජනතාව ප‍්‍රතික්‍ෂේප කළහොත් වහා බලය අත් හැරීමට සූදානම් විය යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී යාන්ත‍්‍රණය මැනවින් ක‍්‍රියාත්මක වන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක නම් මේ වන විටත් රජය ඉල්ලා අස් වී අවසානය.

එහෙත් අප රටේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පිරිස මහජනතාවගේ සියලු විරෝධතාවලට කන් නොදී, තවදුරටත් බලයේ එල්ලී සිටීමට නින්දා සහගත උත්සාහයක නිරත වේ.

ජනාධිපති යවන්න : පොහොට්ටු බලය අරලිය ගහ මන්දිරයට කැඳවයි !

හෙට දින (09) අරලියගහ මන්දිරය ඉදිරිපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැසක් කැඳවා ඇති බව වාර්තා වෙයි .

සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ‘අගමැති මහින්ද රැකගනිමු’ යන තේමාවෙන් අගමැතිවරයාට සහාය පල කරමින් සිදු කරන විරෝධතාවක් සදහා මෙම කැඳවීම කර ඇත.

ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් ද හෙට දිනයේ කැඳවා ඇති බවත් වාර්තා වෙයි .

එහිදී එම ජනාධිපති ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පවතින තත්ත්වය මත පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් වහා කැඳවීමට නියමිත බවත් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් පවසා ඇති බවත් වාර්තා වෙයි .

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව විරෝධතාවයක් දැක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි

ලබන මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමත් හබක් ?

දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ලඟා වී ඇති බවත් ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ පඩි ගෙවීමට වත් මුදල් නැති බවත් මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි .

මුදල් ඇමති මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී ය.

ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට‍්‍රිලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවත් එහිදී අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

කෙසේ වුවත් ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු නමුත් මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

Page 255 of 385