V2025

පුවත්

නිදහස වෙනුවෙන් ගූගල් සිය මුල් පිටුව වෙනස් කරයි

අන්තර්ජාලයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍ර පද්ධතියක් වන ගූගල් සමාගම සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබේ.

ඒ් අනුව ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් Google වචනයට ඉහළින් අහස ශ්‍රී ලංකා ජාතික ධජය ලෙලදෙන අයුරු දක්වා ඇත.

විවිධ රටවල ඓතිහාසික අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා ගූගල් වරින් වර එහි ඩූඩලය වෙනස් කරයි.
ඒ අනුව, පරිශීලකයාට ශ්‍රී ලංකාවේ google.lk සහ google.com මුල් පිටු නැරඹිය හැකිය.

1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය. ඒ අනුව 1998 සැප්තැම්බර් 4 වැනිදා ගූගල් සමාගම නිල වශයෙන් ආරම්භ විය.

ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.

එසේම ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 76 වන නිදහස සංකේතවත් කොට තිබේ.

ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි.

එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodle ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.

දිනමිණ

ශ්‍රේෂ්ඨාධිකරණය, යුද හමුදාපතිගේ අභියාචනය විසිකරයි

යුද හමුදා පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදී ඇති මැන්ඩාමුස් ආඥාව ක්‍රියාත්මක

කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යුද හමුදාපති විකුම් ලියනගේට නියෝග කර තිබේ.

ඒ බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් ඔහුට සිදු කළ අසාධාරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව අභියෝග යට ලක්කරමින් යුධ හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ 4/24 විශේෂ පෙත්සම සම්බන්ධයෙන් පෙබරවාරි 01 දින තීන්දුව ලබා දෙමින්ය.

අභියාචනාධිකරණය සිය තීන්දුව මගින් නියෝග කර තිබුණේ බ්‍රිගේඩියර් චන්දන රණවිර 2021 ජනවාරි 01 වැනිදා සිට මේජර් ජෙනරාල් නිලයට උසස් කිරීම සඳහා ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම, ඒ අනුව ඔහුට හිමි ජ්‍යෙෂ්ඨත්වය පිහිටුවීම. ජ්‍යෙෂ්ඨත්වය අනුව පාබල රෙජිමේන්තු අධිපතිකම ලබාදීම, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව යුද හමුදාවේ සුදුසු ධුරයකට පත් කිරීම, ඔහුට හිමි වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබා දෙන ලෙසය.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් ලබා දී තිබෙන අතර අභියාචනාධිකරණ නියෝගය එම දින සිටම ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇත.

අභියාචනාධිකරණය බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව 2023 නොවැම්බර් 23 වනිදා ලබාදී තිබූ අතර එය අභියාචනා නොකරන ලෙස නීතිපතිවරයාගෙන් මෙන්ම යුද හමුදා නීති ප්‍රධානියාගෙන් උපදෙස් ලැබී තිබුණත් යුද හමුදාපතිවරයා සිය තනි මතය අනුව එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

 (anidda.lk -ලසන්ත රුහුණගේ)

කෙහෙළිය බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණි.

ජනපති සහ තායි අගමැති අතර හමුවක් : ශ්‍රී ලංකා – තායි නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කරයි

76 වන ජාතික නිදහස් සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අතර නිල හමුව අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් ඉතා මිත්‍රශීලී ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණු අතර ථෙරවාදී බෞද්ධ සබඳතා සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා මත පදනම් වූ දෙරට අතර සමීප සහ ඓතිහාසික මිත්‍රත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එහිදී සිහිපත් කළේය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කරයි

Free Trade Agreement 06ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්  ඉදිරියේ අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන අය විසින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මිලියන 22ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ 37 වන අපනයන ගමනාන්තය වන තායිලන්තය මිලියන 71.6ක ජනගහනයකින් සමන්විත වේ. තායිලන්තය විසින් භාණ්ඩ සඳහා තීරුබදු අනුපාත කෝටාව වැනි වෙළෙඳ සිමාවන් පනවා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනයන් වන තේ, ගම්මිරිස් සහ පොල්තෙල් ද ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව විසින් 2022 වර්ෂයේ දී ඇ.ඩො.මි. 58.82ක් වටිනා භාණ්ඩ පමණක් තායිලන්තයට අපනයනය කර ඇත. 2022 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො.බි. 495ක් වූ තායිලන්තය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) දෙවන විශාලතම ආර්ථිකය හිමි රට වේ.

තායිලන්ත සමාගම් විසින් ඇ.ඩො.බි. 17.3ක් විදේශයන්හි ආයෝජනය කරමින් 2021 වර්ෂයේදී ආසියානු සංගමයේ විශාලම ආයෝජක රාජ්‍යයක් බවට පත්විය. 2005 සිට 2022 දක්වා කලය තුළ ශ්‍රී ලංකාව තුළ තායිලන්තය විසින් ඇ.ඩො.මි. 92කට අධික සෘජු විදේශ ආයෝජන සිදු කර ඇත. 2018 වසරේදී එවකට පැවති ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම (ඇ.ඩො.මි. 550) වසර හතරක් ඇතුළත ඇ.ඩො.බි. 1.5 දක්වා තුන් ගුණයකින් වැඩි කිරීම අපේක්ෂා කෙරිණි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ ශක්‍යතාව තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ ප්‍රමුඛ අරමුණක් විය.

මෙම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාම, ප්‍රභවස්ථාන රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධක, වෙළෙඳ ප්‍රතිකර්ම, සේවා වෙළෙඳාම, ආයෝජනය, රේගු ක්‍රියාපටිපාටිය සහ වෙළෙඳ පහසුකරණය, ආර්ථික සහයෝගීතාව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, මූලික ප්‍රතිපාදන, ආයතනික හා අවසාන ප්‍රතිපාදන, විනිවිදභාවය සහ ආරවුල් විසඳිම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද 14කින් සමන්විත වන අතර පුළුල් සාකච්ඡා වට නවයකින් පසු වෙළෙඳ සාකච්ඡා නිම කර ඇත.

මේ අතර, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. 1950 වසරේ එළැඹි ගිවිසුම ශක්තිමත් කරමින් මෙම නව ගිවිසුමට අත්සන් තැබුණු අතර දෙරට අතර ගුවන් සේවා සබඳතා සහ නියාමන රාමු වැඩිදියුණු කිරීම මෙමඟින් සිදු වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ තායිලන්තය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජකපොන්ග් සංග්මනී (Jakkapong Sangmanee) යන අය ඊට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට ඉන් අනතුරුව අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව සතු ඉතා උසස් තත්ත්වයේ මැණික් ජාත්‍යන්තරය තුළ මහත් ප්‍රසිද්ධියක් උසුළන අතර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දැනට සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටින තායිලන්තය එම සහයෝගීතාවයේ වැදගත්කම හඳුනා ගෙන තිබේ. ඒ අනුව දෙරටෙහි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම මඟින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ සහ පුහුණු ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් බී.ජී.ආර්.ඩබ්ලිව්. ගම්ලත් සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අධ්‍යක්ෂ සුමෙද් ප්‍රසොන්ග්පොන්ග්චායි (Sumed Prasongpongchai) යන අය ඊට අත්සන් තැබූහ.

කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ලව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

නිදහස වෙනුවෙන් සිරකරුවන් 700කට ජනාධිපති සමාව

76 වැනි නිද­හස් දිනය නිමි­ත්තෙන් ජනා­ධි­පති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිර­ක­රු­වන් 700ක පමණ පිරි­සක් නිද­හස ලැබී­මට නිය­මි­තව ඇත.

මේ ජනා­ධි­පති සමාව ප්‍රදා­නය කිරීම සඳහා හෙට (4) සමා­වට සුදු­සු­කම් ලබන සිර­ක­රු­වන් මෙරට සෑම බන්ධ­නා­ගා­ර­ය­කින්ම නිද­හස් කිරී­මට නිය­මි­තව ඇති බව බන්ධ­නා­ගාර කොම­සා­රිස් මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණි දිසා­නා­යක  පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් පැවරී ඇති බල­තල අනුව බන්ධ­නා­ගා­ර­ගත සිර­ක­රු­වන් හට මේ විශේෂ රාජ්‍ය සමාව හිමි වේ.

ඒ අනුව බන්ධ­නා­ගා­ර­ග­තව 2024.02.04 වන දිනට සිර දඬු­වම් විඳි­මින් සිටින සිර­ක­රු­වන් හට ගත කරන ලද වස­ර­කට හෝ ඉන් කොට­ස­කට මාස­යක සමා­වක් දීම, දඩ මුදල් නොගෙ­වීම මත 2024.02.04 දින වන විට සිර දඬු­වම් විඳි­මින් සිටින සිර­ක­රු­වන්ගේ ගෙව­මින් පව­තින දඬු­වමේ ශේෂය අහෝසි කිරීම, 2024.02.04 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බ­න්ධ­යෙන් වර­ද­ක­රු­වන් වී, ඒ සඳහා (දඩ මුදල් නොගෙ­වීම මත නිය­ම­කර ඇති සිර දඬු­වම්ද ඇතු­ළත්ව) පුන­රු­ත්ථා­ප­න­යට යොමු කර ඇති සිර­ක­රු­වන්ගේ නියම කර ඇති පුන­රු­ත්ථා­පන කාල­යෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාල­යක් ගෙවා අව­සන් කර ඇති රැඳ­වූ­වන්ගේ පුන­රු­ත්ථා­පන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝ­ධන නිල­ධා­රි­ය­කුගේ අධී­ක්ෂ­ණය යටතේ ගත කිරී­මට යටත්ව අහෝසි කිරීම සිදු කර ඇත.

ජනපති ප්‍රධානත්වයෙන් මාතර කලා උළෙල ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි.

ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාව ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල අද සිට පෙබරවාරි 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.

ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදෙස් සංචාරකයන්ට ද සුවිශේෂ අත්දැකීමකි. චිත්‍ර සහ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, වැඩමුළු සහ සාකච්ඡා, ප්‍රජා වෙළෙඳපොළ ඇතුළු සංස්කෘතිකාංග රැසකින් මෙය සමන්විතය.

මෙහි චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ ජනාධිපතිවරයා සිතුවම් නිර්මාණය කරන ස්ථානයේ දී පින්තාරු සටහන් දෙකක් තබා සමරු සටහනක් ද තැබීය.

UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ සම්ප්‍රදායික කලා අංග, මෙරට ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් සපයන අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.

දිවංගත මංගල සමරවීර මහතාගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන යන මහත්මීන්ගේ හා මහාචාර්ය ජගත් වීරසිංහ මහතා ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කලාකරුවකු සහ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයකු හා අධ්‍යාපනඥයකු වන ආචාර්ය සුමුදි සුරවීර යන මහත්වරුන් විසිනි.

ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන ඉදිරිපත් කිරීමකින් සහ මහාචාර්ය ජගත් වීරසිංහගේ මඟපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා වැඩසටහනක් මෙය සමන්විතය.

පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සහ ඇමරිකාවේ රැප් (Rap) සහාකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රාසාංගික කලා දැක්ම සඳහා සහභාගී වේ.

ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය.

මාතර කලා උළෙලට සහභාගීවීමෙන් අනතුරුව නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද සොයා බැලීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණා කොඩිතුවක්කු, නිපුණ රණවක, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චැංග් යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදීයි.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම, කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් ද පනවමින් ඊයේ නියෝග කළේ, අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙසයි.

ඒ අනුව අද උදෑසන 9යට පමණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණියේ ය.

එහිදී කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.


සෞඛ්‍ය වැඩ වර්ජනය හෙටින් අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසති.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මේ බව අවධාරණය කර ඇත.

අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණ බව අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව ද වෘත්තීය සමිති සමාජිකයෝ වැඩිදුරටත් පවසති.

ග්‍රාමීය කෘෂි හා පශු නිෂ්පාදන ඉහළ නැංවීමට ජාත්‍යන්තර සහාය

දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම සහ ස්වභාවික සම්පත් වැඩිදියුණු කිරීම සඳහා කැපවී සිටින ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR ) සිය නිෂ්පාදන හවුල්කාරිත්වයේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් මේ වසරේ ශ්‍රී ලංකාව තුළ නව වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායමෙහි (CGIAR) විධායක කළමනාකාර අධ්‍යක්ෂ ඉස්මහානේ එලෝවාෆි මෙනෙවිය සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි ( IWMI) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාර්ක් ස්මිත් මහතා අතර හමුවක් අද (02) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

කෘෂිකාර්මික නිෂ්පාදන, ධීවර හා කුකුළු මස් නිෂ්පාදන වැඩි කිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ අපනයන ව්‍යාපාර මෙන්ම පෝෂණය ඉහළ නැංවීමේ නව ක්ෂේත්‍ර පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායමෙහි (CGIAR ) විධායක කළමනාකරණ අධ්‍යක්ෂ පැවසුවේ, ශීඝ්‍රයෙන් වෙනස් වන පසුබිමක් තුළ සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රවේශයන් විකල්පයක් නොවන අතර ඒ සඳහා නව ව්‍යාපාරික ප්‍රවේශයන්ගේ අදාළත්වය සහ බලපෑම වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව සිය අවධානය තවදුරටත් යොමු කරන බවයි. ඒ අනුව එම සංවිධාන දෙක ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සඳහා නව ක්‍රමවේදයක් යෝජනා කිරීමට නියමිතය.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෙන්යාවේ සහ ඉතියෝපියාවේ ජාත්‍යන්තර පශු සම්පත් පර්යේෂණ ආයතනය සමඟ එක්ව අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම (CGIAR) ඉතා සාර්ථක වැඩසටහනක් දියත් කර ඇති බවත්, එම රටවල සියලුම පාසල් දරුවන්ට ඔවුන්ගේ ආහාර වේල සමඟ දිනකට බිත්තරයක් මෙම සැලැස්ම යටතේ ලබා දෙන බවත් ඇය පැවසුවාය. එවැනි වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කළ හැකි බව ඇය සඳහන් කළාය.

වසර ගණනාවක් පුරා ජලය, වාරිමාර්ග සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පිළිබඳ උපදේශක කණ්ඩායම ( CGIAR) වෙත ස්තුතිය පුද කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙහි (IWMI) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සියොන් නියෝගි (Syon Niyogi )යන අය  මෙම අවස්ථාවට සහභාගි වූහ.

සජබ බුද්ධි අංශ පොරටෝක් අස්සේ හිරුණිකා බොරු විදලා මාට්ටු !

සමගි ජනබල වේගය විසින් පවත්න ලද විරෝධතා පාගමනට පහර දෙන ලද සියලුම පොලිස් නිලධාරීන් තම පක්‍ෂයේ බුද්ධි අංශය විසින් මේ වන විට හඳුනාගෙන ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එම සියලු දෙනාටම එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරා අධිකරණයට ගෙන යන බවද ඇය සඳහන් කළාය.

හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මේ ආකාරයේ ප්‍රහාරයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ සජබ සතුව වෙනම බුද්ධි අංශයක් පැවතීම කෙසේ වෙතත් සජබ නායක නායිකාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බවය.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය පැවැත්වූ උද්ඝෝෂණයක් පාලනය කිරීමට පොලිස් මැදිහත්වීමක් සිදුකෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නම් චන්ද්‍රිකා පාලන සමයේ එක්සත් ජාතික පක්ෂය දියත්කළ ජනබල මෙහෙයුම ට එල්ල කෙරුණු ප්‍රහාරය කුමක්ද යන්නත් ඔවුන් ප්‍රශ්න කරයි.

එසේම එදා පැවති ජනබල මෙහෙයුම ට සාපේක්ෂව සජබ උද්ඝෝෂණය ඉතාම ප්‍රාථමික බවද විචාරක මතය වී තිබේ.

විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි !

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචනාත්මක ප්‍රකාශ සිදුකළත් ඒ සියලූ ප්‍රකාශ පදනම් විරහිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පැවසීය.

ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකි බවත්, රට සංවර්ධනය කරා ගෙන යාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීමට නම් විදේශ නිල සංචාර අතිශය වැදගත් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වුණා. එහිදී ව්‍යාපාරික ප්‍රජාව ද හමු වුණා. ලංකාව නැවත ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් එහිදී ගැඹුරින් සාකච්ඡා කලා. ලංකාවට ආයෝජකයින් කැඳවන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කලා.

ඒ වගේම උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේදී ලෝකයේ පවතින බල කඳවුරු සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා සාකච්ඡා කලා. 2050 වසරේ දී ලෝක ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

අනතුරුව G77 සහ චීනය සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී කාලගුණ විපර්යාස සහ වසංගත තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. එම තත්ත්වයන් අප වැනි රටවල්වලට බලපාන ආකාරයත්, ඒ හමුවේ ආර්ථිකමය හසුරුවා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ද විශේෂත්වයක් වුණා. හරිත ආර්ථිකයක් කරා යොමු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද අදහස් හුවමාරු වුණා.

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන සිදුකළත් ඒ සියල්ල පදනම් විරහිත බව මගේ අදහසයි. මෙවැනි ජත්‍යන්තර සමුළුවලට සහභාගී වීමේ වාසිය නම්, අප සහ ලෝකය අතර සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හැකිවීමයි. ශ්‍රී ලංකාවට හුදෙකලා දූපතක් ලෙස පැවතිය නොහැකියි. රට සංවර්ධනය කරා ගෙනයාමට නම් තිබෙන විදෙස් සබඳතා ශක්තිමත් කර ගනිමින් නව විදෙස් සබඳතා ඇති කරගැනීම ද අවශ්‍යයි. ඒ සඳහා විදේශ නිළ සංචාර අතිශය වැදගත් වනවා.

දේශපාලන නායකයන්ට පෞද්ගලික අංශයේ සිටින ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සමඟ කටයුතු කිරීම සහ සංවර්ධනය පිළිබඳව විශේෂ තීන්දු තීරණයන්ට එළඹීමට ද මෙමඟින් හැකියාව ලැබෙනවා.

එමෙන්ම නොබැඳි ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කිරීමට ද පසුගිය සංචාරයන් අපට ඉවහල් වුණා. යුක්රේන සහ මැද පෙරදිග යුද්ධ ආසියානු කලාපයට පැතිරීම වැළැක්වීමට ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් ද එහිදී විශේෂ සාච්ඡාවට බඳුන් වුණා. රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තත්ත්වයක් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සාමකාමී ලෝකයක් පවත්වා ගැනීමට මෙම සාකච්ඡාවන් ඉවහල් වූ බව ද සඳහන් කළ යුතුයි.

ඒ වගේම ආර්ථික සහ සාමාජීය වශයෙන් ගත යුතු පියවර පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ලංකාවට පැමිණෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් විදෙස් රාජ්‍ය නායකයින් වෙත ආරාධනා කළා.

ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට රජයෙන් දිවා ආහාරය !

මෙරට පාසල්වල 1-5 ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට ඒ වෙනුවෙන් වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩිකරමින් එළඹෙන මාර්තු මාසයේ සිට එම ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විදේශීය භාෂා ඉගෙනීම සඳහා මේ වනවිට සිසුන් තුළ පවත්නා වැඩි නැඹුරුව සහ ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් ද මෙරට වත්මන් ආර්ථික ප්‍රමුඛතාවන් ද සැලකිල්ලට ගෙන දැනට පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කරගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී.

නව මහකොමසාරිස්වරයෙක් සහ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති !

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව මහකොමසාරිස්වරයෙකු සහ තානාපතිවරු තිදෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

එස්වාටිනි රාජධානිය සඳහා නව මහකොමසාරිස්වරයෙක් සහ රුමේනියාව, කිර්ගිස් ජනරජය සහ තුර්ක්මේනිස්ථානය සඳහා නව තානාපතිවරු මෙලෙස පත්ව සිටිති.

අද අක්ත පත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නම් පහත පරිදි වේ.

01- මෙන්සි සයිෆෝ ද්ලමිනි මහතා - මහකොමසාරිස් - එස්වාටිනි රාජධානිය
Mr. Menzie Sipho Dlamini High Commissioner of the Kingdom of Eswatini)

02- ස්ටෙලුටා ආහයර් මහත්මිය - තානාපති - රුමේනියාව
Ms. Steluta Arhire Ambassador of Romania

03- අස්කාර් බෙෂිමෝව් මහතා - තානාපති - කිර්ගීස් ජනරජය
Mr. Askar Beshimov Ambassador of the Kyrgyz Republic

04- ශලාර් ගෙල්ඩිනසරොෆ් මහතා - තාතාපති - තුර්ක්මේනිස්ථානය
Mr. Shalar Geldynazarov Ambassador of Turkmenistan

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අද පත්වීම් ලැබු නව මහකොමසාරිස්වරයා සහ තානාපතිවරු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ කෙටි සාකච්ඡාවකට ද එක් වූහ.

ඩීසල් වැඩි වුණාට බස් ගාස්තු වැඩි වෙන්නේ නෑ !

ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ශෂී වෙල්ගම පවසා ඇත්තේ ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බවයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමිමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

අමරවීර ඉල්ලා අස්වුණත් තිලංග ඉල්ලා අස්වුනාද ? සැකයක් !

අමාත්‍ය මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූරයක් ලබාගැනීම පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර එහිදී පුරප්පාඩු වූ මහ ලේකම් ධූරය සඳහා පත්කරනු ලැබුවේ තිලංග සුමතිපාලය.

ඊට එරෙහිව අමාත්‍ය මහින්ද අමරවීර නීති මාර්ගයට ගිය අතර ඒ පදනම් කරගෙන මැතිවරණ කොමිසම දැනුම්දී සිටියේ දෙදෙනාවම මහ ලේකම්වරු ලෙස පිළිනොගැනීම කොමිසමේ තීරණය බවයි.

මේ අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සහ ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යොදා ගන්නට ශ්‍රීලනිපය පසුගියදා තීන්දු කළත් මෙම නඩු කටයුත්ත ඊට බාධාවක්වී තිබේ.

ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදෙනාටම ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ ඒ අනුවය.

මේ සම්බන්ධව එකඟතාව දක්වමින්අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනා ඉල්ලා අස්වූ බවට දේශපාලන ආරන්චිමාර්හ දක්වා සිටියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ජනවාරි 31 වැනිදා යනව ලද ලිපියේ මෙසේ දැක්වේ.

“එකී නීති කෘත්‍යය අධිකරණය ඉදිරියේ විවාදයට තුඩු දී ඇති කරුණක් බැවින් ගරු අධිකරණයේ කටයුතුවලට බාධාවක් නොවන පරිදි එකී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඉහත අංක දරණ නඩුවේ මහින්ද අමරවීර මහතා හා අනෙකුත් වග උත්තරකාර පාර්ශ්වයන්ද එකඟ විය යුතුය.”

“ඉහතින් සඳහන් කරන ලද කරුණු වලට යටත්ව ගරු අධිකරණයේ අවසරය මත නීති කෘත්‍යය ඉල්ලා අස්කර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමට මා කටයුතු කරන බව ඔබතුමා වෙත කාරුණිකව දැනුම් දෙමි.” යයිද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

ඒ අනුව තවත් දේශපාලන තොරතුරු ලැබෙන මුලාශ්‍රයක් පවසන්නේ තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත් අදාළ නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගැනීමට මහින්ද අමරවීර අමාත්‍යවරයා කටයුතු කළොත් පමණක් එම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවත්ය.

ONLINE පනත ගැන මල්වතු නායක හිමියන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් !

දිගු කලක පටන් සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමි පවසති.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.

කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවද එහිදී උන්වහන්සේ පැවසුහ.

සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු නමුත් එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කළෝය.

හිමි නැති දීමනාවක් ඉල්ලා දියත්කල සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව !

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් අද (01) උදෑසන 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේද සිදුකරන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වන අතර මේ හේතුවෙන් අද දිනයේ රෝහල් කටයුතු අඩපණව තිබිණ.

ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවද කැඳවා තිබුණි.

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ රජයෙන් තම ඉල්ලීම පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වුවත් වර්ජනය සඳහා නිමිත්ත කරගෙන තිබෙන ප්‍රවාහන පහසුකම් දීමනාව වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩලයට කොහෙත්ම අදාළ නොවන්නක් වන අතර එය රජයේ මාණ්ඩලික නිලධාරීන්ට පමණක් හිමිවන දීමනාවකි.

Page 125 of 483