Language Switcher

V2025

සජිත් ජාතික තලයේ ප්‍රශ්න අතට ගනියි : තෙල් මිල ගැන ආණ්ඩුවට ප්‍රශ්නයක් !

මෙතෙක් ප්‍රාදේශීය ප්‍රශ්න සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරය ලැබීමත් සමඟ ජාතික තලයේ ප්‍රශ්න කෙරෙහි වැඩි උනන්දුවක් දක්වමින් සිටියි.

පසුගියදා පාර්ලිමේන්තුව තුළ කොරානා වලක්වා ගැනීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශ්න කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) නිවේදනයක් නිකුත් ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල පහළ ගොස් ඇති පසුබිමේ ආණ්ඩුව එහි වාසිය ජනතාවට නොදීම ප්‍රශ්න කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත්කල එම නිවේදනය පහත දැක්වෙයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනවිට ලංකාවේද තෙල් මිල ඉහළ යන බවත්  ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යනවිට ලංකාවේද තෙල් මිල පහළ යන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. තෙල් ආනයනය කළ යුත්තේ ලෝකයේ පවත්නා මිල ගණන් යටතේ බව කී ඔහු  'ප්ලග්''එක ගැලවීමකින් එවැන්නක් කළ නොහැකි බවද කීවේය.

එය එසේනම් ආණ්ඩුව වහාම මේ මොහොතේ ලෝක වෙළෙඳපොළේ මේ වනවිට සිදුව තිබෙන පරිවර්තනයට අනුව කටයුතු කළ යුතුය.

ඒ අනුව මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ බැස තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය අවස්ථාව වනවිට බොරතෙල් බැරලයක මිල වූයේ ඇමරිකන් ඩොලර් 63.30කි. එය කිසියම් ඉහළ යෑමකට ලක්වූයේ ඉකුත් දෙසැම්බර් මාසයේය. ඒ අනුව ඉරාණ අමෙරිකා අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 69 දක්වා අගයකට ඉහළ ගියේය.

කෙසේ වෙතත් මේ වනවිට නැවත එය ඉතා ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර වත්මන් ලෝ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකන් ඩොලර් 57.94  දක්වා පහළ බැස තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහිද කිසිදු වෙනසක් මේ කාර්තුව තුළ සිදුව නැති අතර එය 183ක අගයක පවතී.

අද දිනයේ මිලට ගන්නා තෙල් බැරලයක් වුවද ඉහත මිල ගණන් ඔස්සේ ලබාගත හැකිය. දෙසැම්බර් මාසයේ තෙල් බැරලයක මිල ලෙස සටහන්ව තිබූ ඇමරිකන් ඩොලර් 69 මේ වනවිට ඇමරිකන් ඩොලර් 57.94 දක්වා පහළ බැස තිබීමෙන් පෙන්නුම් කරන්නේ ඒ අතර අඇමරිකන් ඩොලර් 12ක අඩු වීමක් බැලූ බැල්මටම තිබෙන බවය.

මෙය ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු තත්ත්වයක් වන අතර  තෙල් මිල පහළ යෑමේ වාසිය නොපමාව ජනතාවට ලබාදීම ආණ්ඩුවේ පැහැර හැරිය නොහැකි වගකීමකි.
වත්මන් ආණ්ඩුව ඉකුත් ජනාධිපතිවරණ සමයේදී නිරන්තරයෙන් ප්‍රකාශ කළේ  'මිල සූත්‍රය' අහෝසි කරන බවය. එහෙත් ආණ්ඩුව එසේ නොකළ අතර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මෙතරම් පහළ ගොස් ඇතත් ඒ වාසිය ජනතාවගෙන් වසන්කොට ආණ්ඩුව සුපුරුදු මිත්‍යාව සමාජගත කරමින් සිටී. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ අසාර්ථක බදු ප්‍රතිපත්තියෙන් සිදුවූ බරපතල අත්වැරැද්ද තෙල් මිලෙන් සඟවා ජනතාව වෙත ඒ බරද පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි.

අනවශ්‍ය  බදු කප්පාදු කරන බවට යෝජනා ගෙන එමින්ද ජනතාවට සහන සලසන බවට කයිවාරු ගසමින්ද සැබෑ තත්ත්වය වසන් කරමින් ආණ්ඩුව ගෙනයන ජනතාවාදී නොවන ක්‍රියා කලාපය කෙරෙහි අපගේ බලවත් විරෝධය පල කරන අතර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය නොපමාව ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.