Image

අමුතු සංහිඳියාව; "ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්''

අමුතු සංහිඳියාව; "ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්''

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද - යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ලියැවුණ කවි ඇතුළත් “සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්” කෘතිය ෆේස්බුක්හි ෂෙයා වනු දැක මම මීට මාස කිහිපයකට පමණ පෙර දවසක ප්‍රින්ට් කරගෙන ආවෙමි.

යාපනේ විසිර ගිය නිවෙස් නටඹුන්වල පෞරාණික බව මත ඇඳෙන කවි සිතුවම් කළු-සුදු මුද්‍රිත කඩදාසියක මවන පඨිතමය ලෝකය ගැන සිතමින් - මේ පොත ගැන සටහනක් ලියන්නට බොහෝ වර මට සිත් විය. එහෙත් සිංහල සාහිත්‍ය සමාජය හා බෙදාගන්නට මා සිතමින් සිටින අනෙක් සැලසුම් අතර මේ පොතත් කාල ගැටලුවේ පැරණි වෙමින් තිබිණි. ගිම්හාන නිවාඩුවට පෙර යෙදෙන තරමක් විවේකී මේ ඉරිදා, මා යළිත් 'සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්' කෘතිය තැනින් තැන පෙරළා බලන'තර මේ සටහන ලියන්නට සිත් විය.

683879369 27041423595462506 2061943241042417056 n

සිංහල බෞද්ධ සාලයක

ඔප දැමූ ආර් පී ජී - ආර්ටි

පිත්තල පතුරම් කොපු අතර

නූතන විසිත්ත කාමර කැටයමක් ව

සුන්දරම්පුර ජනෙල් පියන් පත

අමුතු සංහිඳියාවක..

හිනිදුම සුනිල් සෙනෙවි

(01.31.2021)

“මීට වසර 05කට පමණ පෙර බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ -ඇන්ටික් ෂොප්- එකක විකිණීමට තබා තිබුණු උළුවහු ජනෙල් දැක කම්පා වූයෙමි. ගෘහනිර්මාණ ශිල්පීන් ඒවා කඩිමුඩියේ මිලදී ගන්නා අයුරු ද දුටුවෙමි. මේ කම්පාව දිනක් මා සරත් චන්දුජීවයන් හා පැවසුවෙමි. ඔහු යාපනයට ගිය වෙලේ ගැලවූ උළුවහු ජනෙල් තිබුණු නිවෙස්වල ඡායාරූප 50ක් පමණ මට ගෙනැවිත් දුන්නේය. තවමත් මේ ලොඹු කටවල් එහි තිබෙනු ඇත.”

681231784 27041423685462497 7528329737511430970 n

ලාල් හෑගොඩ

“යාපනේ දොර ජනෙල් විශේෂ අනන්‍යතා සහිත සංස්කෘතික ලක්ෂණ හෙවත් වාස්තු උපාංග හා හැඩතල හා වර්ණවලින් යුක්තයි. මේ පොතට “සුන්දරපුරම් ජනෙල් පියන්පත්” යනුවෙන් නම යොදා ගත්තේ පළමු කවිය ලියූ ලාල් හෑගොඩගේ කවියෙනුයි. එහි දෙමළ පාඨය ලෙස “අවතැන් වූ දොර ජනෙල්” යනුවෙන් යෝජනා කළේ සාමිනාදන් විමල්. ඉංග්‍රීසි බසින් “ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්” යනුවෙන් ඒවා විකුණන නාමයෙන්ම තිබෙන්නට හැරියා.”

සරත් චන්ද්‍රජීව

කෙටියෙන් ලියන්නට සිතා සිටි නමුත් රචනය තරමක් දිගට ඇදී ගිය නිසා එය, ගිම්හාන නිවාඩුව පැමිණෙන තුරු බලා සිටින Archipelago වෙබ් අඩවියෙහි පළ කරමි. දීපචෙල්වන්ගේ පොත් ගැන උනන්දු අයත් කියවා බලන්න.

"එක් සිංහල කවියකු උද්වේගකර ලෙස දෙමළ කථක චරිතයකට ඇතුළු වී හෝ නාභිගතව මේ යුද්ධයේ කුරිරු මතක පින්තූර ඔස්සේ වේදනා පිටකරන අතර තවත් කවියකු මෙහි අධිපති දේශපාලනික යථාර්ථය – සමාජය වැසී ඇති ව්‍යුහාත්මක දෘෂ්ටිවාද විචාරාත්මකව විමසයි. ඒවායෙහි උක්ප්‍රාසවත් බව විනිවිඳියි. හිනිදුම සුනිල් සෙනෙවි ගේ සම්පූර්ණ කවිය කියවා බලන්න. (පි. 104-105) ඔහු කොළඹ සමාජයේ මධ්‍යමපාන්තික නිවෙස්වල ආඩම්බරයට තබා ඇති – යුද්ධයේ ජය සංකේත, ආර් පී ජී ආර්ටි ආදිය පිරි ආලින්දයේ යාපනේ දොර ජනෙල් සවි කර මවන සාඩම්බරකාර සිංහලකම උපහාසයෙන් පෙන්වයි. නිවසේ -වැඩකාරිය- සේ සිටින්නේද දෙමළ තරුණියකි. කෝකිලා. මේ කවියේ අග කොටස;

“එම්ප්ටි ආර්ටි දෙකකට

පිළිමතලා පිත්තල පහන් එකයි”

මධුසාද රැයේ යුනිෆෝම් සිනා හඬ අතරේ

පශ්චාත් යුද පැතුම් ඉතිරේ

සුන්දරම්පුර අපේ ගම් කොරටුව

විසිණු කළ එම්ප්ටි ආර්ටිය ද මේ

දෙසවන් වසා ගති කෝකිලා දෑතින් ම

මිග් මිගිදු ගෝරනාඩුව සිහි වී

සිංහල බෞද්ධ සාලයක

ඔප දැමූ ආර් පී ජී - ආර්ටි

පිත්තල පතුරම් කොපු අතර

නූතන විසිත්ත කාමර කැටයමක්ව

සුන්දරම්පුර ජනෙල් පියන් පත්

අමුතු සංහිඳියාවක (පි. 105)

"සුනිල් සෙනෙවි කවියා මෙහි මතුකරන “අමුතු සංහිඳියාව” කදිම යෙදුමකි.681235047 27041423642129168 6292400788714521269 n

-ජැෆ්නා ඩෝස් වින්ඩෝස්- ඇසුරින් උපදින අන්තර්දෘෂ්ටිකවත් රූපකය මගින් ඉඟි කරන තවත් අර්ථ තල ගණනාවක් මේ කෘතිය සමීපව කියවන කෙනකුට හසුවිය හැකි ය. මේ කෘතියෙහි එන ඇතැම් කවි කියවන කෙනකු මේවා මිනිස් ඛේදය, කම්පාව මාකට් කිරීමක්දෝයි සැක පහළ කරන්නටත් පුළුවන. විශේෂයෙන් ම ඇතැම් කවි මෙවැනි කම්පනයක් හරහා ගමන් කරන (working through) කෘතියක් තුළ හමු වුණද කම්පනය යළි යළි ප්‍රතිරාව කරනු (acting out) විනා කම්පිත ආත්මය ඉන් මුදවාගැනීමේ කිසිදු ආවේදනාවක් නූපදවන කවි බවට තර්ක කරන්නටත් පුළුවන. එවැනි දේ ගැන න්‍යාය-නිදර්ශනාත්මක සාකච්ඡා කරන්නට දැනටමත් සෑහෙන තරම් දික්ගැසී ඇති මේ රචනයෙහි ඉඩ නැත. කෙසේවෙතත් මේ අගනා අර්ථ තල ඉඟි කෙරෙන -ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්- රූපකයේ තවත් තලයක් වෙත දැන් අපි එමු. ආචාර්ය සුනිල් සෙනෙවිගේ කවියෙහි -අමුතු සංහිඳියාව- පිළිබඳ එළඹුම ඒ සඳහා කදිම ප්‍රවේශයක් සපයයි. එනම්; මෙවැනි කම්පන හරහා ගමන් කරන්නාක් මෙන් පෙනෙන සාමූහික ප්‍රයත්නයන් පවා යළි ප්‍රතිකම්පනය ඇති කරවන සංසිද්ධි බවට පත්වීමේ අනතුරයි."

''රේගුවේ තීරණය හා ඒ පසුපස ඇති අනර්ථකාරී ව්‍යුහාත්මක අගතීන් පරීක්ෂා කරමින් ඒවා නිවැරදි කරගෙන මේ යුද කම්පනය හරහා සමාජය සමග සාමූහිකව ඉදිරියට ඇවිදයාමට තිබූ ඉතා වැදගත් Working Through අවකාශය, මේ අය ආණ්ඩුවේ නාමයෙන් සටකපට ලෙස අපට අහිමි කළහ. එහි වරදකාරීත්වයේ වගකීම මේ අයට ඉතිහාසය විසින් පවරනු ඇත.''

අද මේ ආණ්ඩුව වටා එක් වී සිටින බොහෝ අය මීට පෙර රාජපක්ෂවාදයේ ඇති නරුමත්වයක් සහ සීමාවක් ලෙස එරෙහි වූ ප්‍රධාන සංසිද්ධියක් වූයේ බුද්ධිමතුන්, කලාකරුවන් ලැජ්ජාසහගත ලෙස ආණ්ඩුවාදීන් බවට පත්වීමයි. රාජ්‍යය ආණ්ඩුව බවට ඌණනය වීමේ සීමාන්තිකතා බොහෝමයක්, දැන් ආණ්ඩුව නියෝජනය කරන බොහෝ ‘විකල්ප’ බුද්ධිමතුන් එකල පෙන්වා දුන්හ. දැන්, මේ ඒ අයමදැයි සිතන්නට බැරි තරමට ඒ බොහෝදෙනා ආණ්ඩුකරණය වීම අප ලද සාමූහික පරාජයක් බව මම බිඳුණු හඬින් යළිත් කියමි.

මහාචාර්ය චන්ද්‍රජීවගේ කෘතිය ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සොයාගන්නට ඔබට පුළුවන්.

මා ලියූ සම්පූර්ණ ලිපිය කියවන්න

සුදර්ශන සමරවීර 1Sudarsana Samaraweera

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න