Image

නුවරඑළිය නගර මැද සහ නගරය අවට කසල විමානයක් කළ කොවුල් වසන්තය

නුවරඑළිය නගර මැද සහ නගරය අවට කසල විමානයක් කළ කොවුල් වසන්තය

2026 නුවරඑළිය මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වසන්ත සැණකෙළියේ තාවකාලික කඩ කාමරවලින් ඉවත් කරන සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් මහ නගර සභාව විසින් සකස් කර නොමැති

අතර පානීය ජලය සහ වැසිකිළි කැසිකිළි පහසුකම් නිසි ලෙස සපයා නොමැතිකමින් නුවරඑළිය නගර මධ්‍යයේ කොටසක් මිහිපිට අපායක් බවට පරිවර්තනය වී ඇති බව පාර්ශව රැසක් චෝදනා කරති.

සෑම වසරක ම අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව සංවිධානය කරන වසන්ත සැණකෙළිය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කඩකාමරවලින් ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ එම කඩකාමර පවත්වාගෙන යන අය ගේ පානීය ජල අවශ්‍යතාව මෙන්ම සනීපාරක්ෂක පහසුකම් නිසි අන්දමින් සැපයීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කරයි.

පසුගිය වසරවල තත්ත්වය එසේ නමුත් මෙම වසරේ දී කසල කළමනාකරණය පිළිබඳ නුවරඑළිය මහනගර සභාව අවධානය යොමු කර නැති අතර සනීපාරක්ෂක පහසුකම් ද සපයා නොතිබීම කණගාටුවට කරුණක් බව ටෙන්ඩර් පදනම මත කඩ කාමර කුලියට ගෙන පවත්වාගෙන යන වෙළෙන්දෝ චෝදනා කරති ,

එම වෙළෙඳ ප්‍රජාව වැඩිදුර අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

''අපි මේ කඩ අවුරුදු ගාණක් තිස්සේ ගන්නවා. නිකන් නෙමේ අපි මේ කඩ අරන් තියෙන්නේ ලොකු මුදලක් යට කරලා. අපිට බොන්න වතුර ටිකක් වත් මහ නගර සභාවෙන් මේ වර සපයලා නැහැ. ඒ විතරක් නෙමේ අපිට පහසුකම් හරි විදියට සපයලත් නැහැ. අඩුම තරමේ වැසිකිළියටවත් යන්න බැහැ. පුදුම අප්‍රසන්නකමක් දැනෙන්නේ පිරිසිදුකම ගැන හිතද්දී.

අපි මේ කඩකාමර හදල තියෙන තැන්වලින් කසළ එකතු කරන්න නගර සභාවෙන් එන්නේ නැහැ. ඒ කසළ තැන් තැන්වල ගොඩගහලා තියෙන නිසා මිනිස්සු එන්නෙත් නෑ බඩු ගන්න. ඒ මදිවට වැසිකිළ වළ උතුරලා මේ පැත්තෙ ඉන්න බැහැ ගඳයි. මෙම තාවකාලික වෙළඳසැල් තුළ පවත්වාගෙන යන සුවඳ විලවුන් කඩේ ගාවින් යනකොටවත් ඒවායේ සුවඳ එන්නේ නැහැ මේ වැසිකිළි ගඳට. මහ නගර සභාව ආදායම් උපයන එක පමණක් ඉලක්ක කර ගනිමින් මේ අහිංසක අපිට කරන්නේ ඇත්තට ම ලොකු අසාධාරණයක්. අවුරුදුවල අපිට මේ සේවාව හරියට දුන්නනම් ඇයි මේ අවුරුද්දේ විතරක් මෙහෙම කරන්නේ...?'' යනුවෙන් ඔවුන් විමසී ය.

වෙළඳුන් නගන චෝදනා පිළිබඳ අප සොයා බැලූ විට නුවරඑළිය අතිශය ආකර්ෂණය දිනාගත් ගොල්ෆ් ක්‍රීඩා පිටිය අවට ඇති මෙම  වෙළඳ සල් ඉදිකර ඇති භූමිය පුරාවට කැළිකසළ විශාල ප්‍රමාණයක් එකතු වී ඇති අතර ඒ අවට තිබෙන වැසිකිළිය වළ ද උතුරා යෑමක් අවධානයට ලක් විය.

කාරක සභාවේ සභාපති ගොළු වෙලා

වෙළඳ ප්‍රජාව විසින් නගන චෝදනා සහ අදාළ ප්‍රදේශය තුළ දක්නට ලැබෙන තත්ත්වය පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ කාරක සභාවේ සභාපති නාගරික මන්ත්‍රී උදංග බුද්ධික ගෙන් මේ පිළිබඳ විමසීම සඳහා කිහිප වතාවක් උත්සාහ කළ ද ඔහු පිළිතුරු ලබාදීමට ප්‍රතික්ෂේප කළේ ය.

එම කඩවලටයි නුවරඑළිය මහ නගර සභාවටයි කිසි සම්බන්ධයක් නැහැ - නාගරික කොමසාරිස්

ඉන් අනතුරුව නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විජේකෝන් බණ්ඩාර ගෙන් අප සිදු කළ විමසුමට ඔහු කියා සිටියේ එම කඩවලටයි නුවරඑළිය මහ නගර සභාවටයි කිසි සම්බන්ධයක් නොමැති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ටෙන්ඩර් මත ලබා දුන් එම කඩ කාමරවල කසළ ඉවත් කරන්න මහ නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා ඇති බවයි. වැඩිදුර අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ මහ නගර සභාවේ කිසිදු අනුමැතියකින් තොරව මාර්ග සංවර්ධන අධිකාරිය එම තාවකාලික කඩ ටෙන්ඩර් මගින් ලබා දී ඉදිකර ඇති බවය.

වසර ගණනාවක් කසළ ඉවත් කළේ නගර සභාව - මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉන්ජිනේරු

මහ නගර සභාවේ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධව නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉන්ජිනේරු සම්පත් සමරනායක ගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ වසර ගණනාවක්  තිස්සේ වසන්ත සමය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ බිම් කොටස් තාවකාලික පදනම මත වෙළඳ සැල් ඉදිකිරීම සඳහා ලබා දෙන අතර එහි එක් රැස් වන කැළි කසල මහ නගර සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

නගර සභාව මුදල් ඉල්ලලා

කෙසේ වෙතත් මෙවර පසුගිය වතාවන්වලට පරිබාහිරව තාවකාලික වෙළඳ සල්වලින් ඉවත් කරන කැළිකසළ එකතු කිරීමට සහ පහසුකම් සැපයීම සඳහා බිම් කොටස් ලබා දී මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලැබුණු   ටෙන්ඩර් මුදලින්  සියයට 25ක මුදලක් නුවරඑළිය මහ නගර සභාව වෙත ලබා දෙන ලෙස පවසමින් හා ඉන් පසුව කසළ ඉවත් කිරීම ඇතුළු පහසුකම් ලබා දෙන බවට පවසා නාගරික කොමසාරිස්වරයා විසින් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. එලෙස නාගරික කොමසාරිස්වරයා ඉල්ලීමක් සිදුකළ ද තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ටෙන්ඩර් මුදලින් එවන් මුදලක් වෙන්කර මහ නගර සභාවට ලබාදීමට බලතල නොමැති බැවින් උක්ත ලිපිය ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ඉහළ නිලධාරීන්ට යොමු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා පැවසීය ,

කෙසේ වෙතත් අදාළ වෙළඳ සල්වලින් ඉවතට කසළ එක් රැස් කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැතිකමින් වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව තමන් වෙත පැමිණිලි කර ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

නාලක රත්නායක - නුවරඑළිය

 

nuwaraeliya

 

මෙතැනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න