Language Switcher

V2025

TNA සමග රහස් ගිවිසුම් නැහැ, සියලු අන්තවාදීන් ගෝඨාබය සමග' - මුදල් ඇමති කියයි (VIDEO)

'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට සහයදෙන සියලු දෙනාම අන්තවාදීන් බවට මුදල් ඇමති මංගල සමරවීර චෝදනා කරයි.

ටීඑන්ඒ සංවිධානය විසින් ඉදිරිපත්කර ඇති අන්තවාදී යෝජනා මාලාවකට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා එකඟවී ඇතැයි 'පොහොට්ටුවේ' ඇතැමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉහත ප්‍රකාශය කළ ඇමතිවරයා, තවදුරටත් මෙසේද පැවසිය.

''මේ අය ලඟ ඉන්නේ ඔක්කොම අන්තවාදීන්. ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ දිගින් දිගටම කටයුතු කරන ටීඑන්ඒ සංවිධානයත් එක්ක එකතුවෙලා අපි විවෘත ප්‍රසිද්ධ දේශපාලනයක් කරගෙන යනකොට අද ගෝඨාභය රාජපක්ෂට උදවු කරන අන්තවාදීන් අපට චෝදනා කරනවා.

මේක අද ඊයේ එකතුවීමක් නෙවෙයි 2014 ඉඳලම එකට ආපු ගමනක් මේ ගමන ඉස්සරහට යනවා, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නායකයෝ එකතුකර ගන්නවා. මේ රටේ සියලු ජාතීන් එකතුකරන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය.

ඊළාම් කොඩිය ඔසවපු වර්ධරාජා ?

නමුත් ඒ සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලන පොහොට්ටු කාරයෝ අද කා එක්කද එකතුවෙලා ඉන්නේ. එක පැත්තකින් මේ රට වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටෙව්වයි කියලා එක්දහස් නවසිය අසූ ගණන්වල ඊළාම් කොඩිය තිරිකුණාමළේ ඔසවපු ඊපීආර්එල්එෆ් සංවිධානයේ එවකට මහ ඇමති වර්ධරාජා පෙරුමාල්.

කිසිම විටෙක සම්බන්ධන්ලා, සුමන්දිරම්ලා, මාවෙයි සේනාධිරාජලා කවදාවත් මේ රට තුළ ඊළාම් කොඩිය ඉස්සුවේ නැහැ.

නමුත් ඊළාම් කොඩිය උස්සලා වෙනම නිලනොවන ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද? අද ප්‍රසිද්ධියේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයේ.

කරුණා -පිල්ලෙයාන් -හිස්බුල්ලා?

අනිත් පැත්තෙන් අපේ පොලීසියේ සෙබළුන් 600ක් මරණකොට එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ කණ්ඩායමට නායකත්වය දුන් කරුණා අම්මාන් ඉන්නේ කොහෙද අද? ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ.

ඒවගේම නැගෙනහිර පළාතේ එල්ටීටීඊ සංවිධානය මෙහෙයවපු පිල්ලෙයාන් ඉන්නේ අද කොහෙද? මහින්ද රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරේ.

අනික් පැත්තෙන් ඒ අයම මුස්ලිම් අන්තවාදය කියාගෙන සයිටම් ආයතනය හරහා මේ රටේ අන්තවාදය වපුරනවායි කියලා චෝදනා කරපු හිස්බුල්ලා ඉන්නේ කොහෙද 'පොහොට්ටු' කඳවුරේ.

කඳවුරු දෙක පැහැදිලියි !

අන්න එහෙමනම් ඇත්ත වශයෙන්ම කඳවුරු දෙක පැහැදිලියි. මේ රට එකතු නරන්න කැමති මේ රටේ සියලුම මධ්‍යස්ථ බලවේගයන් එක්සත් ජාතික පෙරමුණ පක්ෂය වටා, සජිත් ප්‍රේමදාස මහතා වටා එකතු එකතුවෙනකොට, අද මේ රටේ සියලුම ත්‍රස්ථවාදී අන්තවාදී බලවේගයන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා වටේ එකතුවෙලා තියෙනවා.

ඒ නිසා ජනතාව මේ ගැන හොඳින් කල්පනා කරලා විවෘතව හිතලා ඇස්බැන්දුම් නැතුව තීන්දුවක් ගන්න ඕනේ වෙලාව දැන් ඇවිල්ලයි තියෙන්නේ.

TNA : 'අසාධාරණ ඉල්ලීමක් ඉල්ලලා නැහැ'

එක්සත් ජාතික පක්ෂයේ අපි 2015 ඡන්දෙදිත් ඡන්දෙන් පස්සෙත් ඔය කියන දෙමල, මුස්ලිම් පක්ෂ එක්ක දිගින් දිගටම වැඩ කරා මේක අලුත් දෙයක් නෙවෙයි. මුස්ලිම් කොන්ග්‍රසය වෙන්න පුළුවන් අනෙකුත් මුස්ලිම් පක්ෂ වෙන්න පුළුවන්, මනෝගනේෂන් මැතිතුමාගේ පක්ෂය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දිගම්බරම් මන්ත්‍රීතුමාගේ පක්ෂය වෙන්න පුළුවන් ඒ අය සියලු දෙනාම එක්සත් ජාතික පෙරමුණේ නිල සාමාජිකයෝ.

අනික් පැත්තෙන් අපි පසුගිය මැතිවරණයෙන් පස්සේ අපි ටිඑන්ඒ සංවිධානයත් එක්ක විවෘතව එලිපිටම වැඩ කරා, වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා ඒ අයත් එක්ක අලුතෙන් ගිවිසුම් ගහන්න අපිට උවමනාවක් නැහැ.

මොකද එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ සියලු ජාතීන් සියලු ආගම් සියලු භාෂා එකතුකරන්න පුළුවන් ආණ්ඩුව. ඒක අපි ඔප්පු කරලා තියෙනවා.

මේ රටේ බෙදී වෙන් වෙලා හිටපු ජාතීන් ඒකතු කරන්නේ අපි. නමුත් රට බෙදන්නේ රට කඩන්නේ ඔය පොහොට්ට්වේ ඉන්න අය. මේ අය නහයෙන් අඩන්නේ මේ අයට සම්බන්ධන්ලා හකීම්ලා රිෂාඩ්ලා එකතු කරගන්න බැරි නිසා..

මේ අය ටීඑන්ඒ සංවිධානයට ඇඟිල්ල දික්කරාට ඒ අය කිසිම අසාධාරණ ඉල්ලීමක් ඉල්ලලා නැහැ. අපේ සම්බන්ධන් මැතිතුමා අපිට මතකයි දෙමළ නායකයන්ගෙන් වේදිකාවට ඇවිල්ලා සිංහ කොඩිය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරපු එකම දෙමළ නායකයා අපිත් එක්ක වැඩ කරනවා.

නමුත් අනික් පැත්තෙන් මේ අය ගන්න බැරි වුණාට මහින්ද රාජපක්ෂත් එක්ක ඉන්නේ කවුද? මේ රට බෙදන්න කටයුතු කරපු අන්තවාදී නායකයෝ.

වීඩියෝ