එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැනින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (16) ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර කොළඹ අරලියගහ මන්දිරයේ ඉකුත්දා පැවැති සාකච්ඡාවෙන් පසු මෙම කමිටුව පත් කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරු එම කමිටුවේ සාමාජිකයන් වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත්තේ ජනාධිපති සිහිනය බොහෝ දෙනෙක්ට තිබෙන නමුත් දිනන අපේක්ෂකයා කවුදැයි හඳුනා ගෙන ඔහුට සහයෝගය ලබාදිය යුතු බවයි.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ලංකාදීපයට අදහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කීවේ අපේක්ෂකයන් නම් කිරීම ප්‍රමාද කරන්නේ අගමැතිවරයා නොව ජනාධිපති සිහින ඇති ඇමතිවරුන් කීප දෙනෙකු බවයි.
ඇමතිවරුන්ගේ සිහිනවලට වඩා මුල් තැන දිය යුත්තේ පාක්ෂිකයන්ගේ සිහිනවලට බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් මේ ප්‍රශ්නය ඇදගෙන යනවා නම් එලෙස ප්‍රමාද කරන්නේ කවුදැයි රට හමුවේ හෙළි කරන බවද පැවසීය.

