ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිල කාලය එළැඹෙන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.
ඒ අනුව තවදුරටත් ඔහු එම තනතුරේම කටයුතු කිරීමට නියමිත ය. නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සදහා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළ ව රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල වී තිබේ.
මේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකුට විදේශ රටකට පළා යෑමට මුදල් සහ වෙනත් සහාය ලබාදීම මෙන්ම ඔහුට මෙරට සැගවී සිටීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව එල්ල වී ඇත.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් නාවික හමුදා නිලධාරියෙකුට නාවික නිල නිවස්නයේදී පහර දී තර්ජනය කිරීම පිළිබදවද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
මෙසේ අපරා චෝදනා එල්ල වූ අයෙකුට තවදුරටත් සේවා දිගු ලබාදීම මගින් ජනාධිපතිවරයා වක්‍රාකාරව අධිකරණ කටයුතු වලට බාධා කරමින් සිටින බව නීති අංශ පෙන්වා දෙයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථා දෙකකදී රවීන්ද්‍ර විජේගුණරත්න තම නිල බලය භාවිත කරමින් එය මග හැර ගියේය. එක් වරක් නිල බලය භාවිත කරමින් විදේශ ගත වූයේ ජනාධිපතිවරයාගේ සහායෙන් වීමද විශේෂත්වයකි.
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා දියත් කළ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය අවස්ථාවේ ජනාධිපති සිරිසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එයින් ඉවත්කර මීගමුව කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදීමට උත්සාහ කළේද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නගේ ඉල්ලීමක් අනුව බවත් ඒ සමයේ මාධ්‍ය වාර්තා නිකුත් විය.

