Language Switcher

V2025

අලුත් සන්ධානයක්, නව නායකත්ව මණ්ඩලයක්, අලුත් වැඩපිළිවෙළක් වහා අවශ්‍යයි - පාඨලී

අලූත් සන්ධානයක්, නව නායකත්ව මණ්ඩලයක් සමග රටට අලූත් වැඩපිලිවෙලක් වහාම අවශ්‍ය බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳව පුළුල් ජාතික සන්ධානයක් බිහිකිරීම සඳහා මේ වන විට ඇතිකරගෙන ඇති එකඟතාවයන් පිළිබඳවත්, රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

2014 නොවැම්බර් මතකය !

‘පක්ෂයක් හැටියට 2014 නොවැම්බර් මාසේ 18 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපි එවකට පැවතිච්චි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වුණා. අනතුරුව ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදුන්නා. ඒකට ප‍්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ මහත්මයා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අප විරුද්ධ වූ නිසාවත්, ඔහු විසින් රටේ ගෙන ගිය සංවර්ධනය හෝ ඔහුගේ කාර්ය සාධනයේ අඩුපාඩුවක් නිසා නොවෙයි.

අපි ප‍්‍රධාන වශයෙන් කරුණු ගණනාවක් දැක්කා, එකක් තමයි ප‍්‍රධාන වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී තිබූ තර්ජනය. එතුමා හා එතුමාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් රාජ්‍ය මූල්‍ය තමන් අතට අරගෙන තමන්ට රුචි විදිහට අධික පොළියට ණය අරගෙන අනාගත පරපුර බරපතල ණය අර්බුදයකට දමමින්, ඒ වගේම කිසිම විනිවිද පෙනෙන ස්වභාවයකින් තොරව අති විශාල ධනසක්න්ධයක් මේ සංවර්ධන ව්‍යායාමය පිටුපසට දාගෙන මංකොල්ල කන බව අපට හැඟී ගිය නිසා.

ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක අවශ්‍යතාව !

ඒ වගේම මේ රටට අප විශ්වාස කළා යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් අවශ්‍යයි. විශේෂයෙන්ම එවකට පැවතිච්ච අත්තනෝමතික ජනාධිපති බලතල ඉවත් කරලා රට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළ යුතුයි. රටේ බිය සැක දුරු කළ යුතුයි, සමාජය බලාත්මක කළ යුතුයි කියලා අප විශ්වාස කළා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වී තිබූ යම් යම් වටලෑම්වලට බුද්ධිමත්ව මුහුණ දී ඒවයින් රට ගලවා ගත යුතුයි කියලා අපි කල්පනා කළා. ඒ වගේම අපි විශ්වාස කළා දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් විවෘත නීති රීති පද්ධතියක් ගෙනල්ලා රට විනය ගරුක රටක් බවට පරිවර්තනය කරන්න ඕනේ කියලා. එම සියළු බලාපොරොත්තු ඇතිව තමයි අපි එම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක, පොදු පක්ෂයකින්, පොදු ලාංඡනයකින් පැමිණිච්ච මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට පොදු ප‍්‍රතිපත්ති මාලාවක් එක්ක ඡන්දය ජයග‍්‍රහණය කරන්න කටයුතු කළේ.

අනන්‍යතාවය පවත්වාගෙන එජාපෙට !

ඉන් පසුව පැවතිච්ච මහා මැතිවරණයේදී අප අපේ අනන්‍යතාවය පවත්වාගෙන එක්සත් ජාතික පෙරමුණට එකතු වෙලා ඒ මැතිවරණය ජයග‍්‍රහණය කරන්න කටයුතු කළා. අද දේශපාලන වේදිකාවේ ඒ බලමුළු බලකඳවුරු ඉතාම පැහැදිලියි. එක පැත්තකින් රාජපක්ෂවරු කිසිම වෙනසක් නැතිව පැරණි මිනිස්සු, පැරණි තාලවලින්, පැරණි ආකාරයට, සමහරවිට ඊටත් වඩා නරක ආකාරයට අද කරලියට ඇවිල්ලා තමන්ට මේ රට ගලවාගත හැකියි. මේ රටේ ආරක්‍ෂාව තහවුරු කළ හැකියි,තමන්ට මේ රට ඉදිරි මගක ගෙන යා හැකියි, තමන් මේ රට බලගතු ඊශ‍්‍රායලයක් වගේ, එහෙම නැත්නම් සිංගප්පූරුවක් වගේ, ඇමරිකාවක් වගේ තත්වයකට පරිවර්ථන කරනවාය කියලා පොරොන්දු දෙමින් යන බව අපට පේනවා. ඒ කඳවුර පැත්තෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසටවත් මේ රටේ රාජ්‍ය මූල්‍ය මුහුණ දෙන ණය බර ප‍්‍රශ්නය පිළිබඳවත් මේ රටේ කුසලතාවයට මුල්තැන දීම පිළිබඳවවත් අපට බලාපොරොත්තු තියා ගන්න බැහැ. 2015 තිබුණටත් වඩා නරක තත්වයක් තමයි එතැන අපට පේන්න තිබෙන්නේ.

විකල්ප අපේක්ෂකයාගේ බැරි දේ !

ඊළඟට විකල්ප අපේක්‍ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ පොදු ලකුණකින්,පොදු පක්ෂයකින් පොදු අපේක්‍ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා දැන් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන අපි සතුටුවන අතර එතුමාට සුභ පතනවා. නමුත් අප තවමත් විශ්වාස කරනවා ඒ පොදු අපේක්‍ෂකයාට රාජපක්ෂ පවුල්වාදී කල්ලිය මේ රට තවත් භයානක අනතුරකට යාමෙන් ගලවා ගන්න හැකියාව නොමැති බව. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක්, ශක්තිමත් වැඩපිළිවෙලක්, ශක්තිමත් න්‍යාය පත‍්‍රයක්, ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතුයි කියා අප විශ්වාස කරනවා. ඒ නිසා තමයි අප ගිය වසරේ සිට උත්සාහ කළේ. 2018 මැයි 1 වන දා සිට පුළුල් පොද සන්ධානයක් ගොඩ නගා ගැනීමට අපි උත්සාහ කළා. මොකද අපි ඡුන්දය ඉදිරිපත් උනේ එක්සත් ජාතික පෙරමුණ හැටියට උනත් අපට බැරි උනා මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත්ත පුළුල් සංධානයක් පිහිටුවා ගන්න. ඒ නිසා පුළුල් සන්ධානයක් බිහිකර ගැනීම වෙනුවෙන් අප උත්සාහ කළා. අප මේ මැයි පළමුවෙනිදා එය ප‍්‍රකාශයට පත් කරන්න හිටියා. නමුත් සහරාන් හෂීන්ගේ පාස්කු ප‍්‍රහාරය නිසා එය කරගන්න බැරි උනා විතරක් නෙමෙයි රටේ දේශපාලන තත්වයක් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා.

පුළුල් පෙරමුණක් නැතුව දිනන්න බෑ !

දැන් නොයෙක් දෙනා ප‍්‍රකාශ කළා මේ සන්ධානය හදන්න එක්සත් ජාතික පක්ෂය දිය කරන වැඩපිළිවෙලක් කියා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැති කරන වැඩපිළිවෙලක් ආදී වශයෙන් ඇතැම් අය ප‍්‍රකාශ කළා. තවත් අය මේක වෙන කිසිම අපේක්‍ෂකයෙකුට දිනන්න බැහැ. එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා අදහස් පළ කළා. එහෙම අදහස් පළ කරන්න අයිතිය තිබෙනවා. නමුත් මේ රටේ ඡන්ද සංයුතිය සහ ඒ කි‍්‍රයාකාරීවන ආකාරය දෙස බැලූවහම විශේෂයෙන්ම 2015 නොහිටපු ලක්ෂ 10 ක පමණ නව තරුණ ඡන්ද ප‍්‍රමාණයක් තිබෙන අවස්ථාවක හා අද වන විට ලක්ෂ 40 ක පමණ කාටවත් නොබැඳි, කොයි පක්ෂයකටවත් අයත් නැති ඡන්ද දායක ප‍්‍රමාණයක් සිටින අවස්ථාවක, ඊළඟ මැතිවරණයේදී ලක්ෂ 130 ඉක්මවා ගිය වලංගු ඡන්ද වලංගු ඡන්ද සංඛ්‍යාවක් තිබෙන තත්වයකදී අපි විශ්වාස කරන්නේ නැහැ පුළුල් සන්ධානයකින් ඉදිරිපත් නොවන අපේක්‍ෂකයෙකුට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරෙන් ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙයි කියා. ඒ නිසා තමයි අපි එම පුළුල් සන්ධානය යෝජනා කළේ. දැන් අපට සතුටින් කියන්න පුළුවන් ගිය සෙනසුරාදා අපි ඉතාම සාර්ථක සාකච්ඡා වටයක් පවත්වලා සියළු පක්ෂ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයොත් සමග ඒ සන්ධානය සම්බන්ධයෙන් තිබූ සෑම ගැටළු සහගත තත්වයක්ම අප ලිහා ගත්තා. විසඳුම් ලබාගත්තා.

නව සන්ධානයේ ප්‍රශ්න අවසන් : අපේක්ෂකයා නම් කරනු !

දැන් එම සන්ධානයේ නාමය, ලකුණ, කාර්යාලය ලේකම්වරයා, නායකත්වය හෝ නායකත්ව මණ්ඩලය හෝ අපේක්‍ෂකයා තෝරන ආකාරය පිළිබඳව අනාගත මහ මැතිවරණ තරඟ කරන අවස්ථාවලදී කි‍්‍රයා කරන ආකාරය ගැන ගැටළු ඇත්තේ නැත. ඒ පිළිබඳව අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙන්නේ. මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒ ඒ පක්ෂ ඒ ගැන දැනුවත් ද කියලා. ඒ නිසා අපි දැන් යෝජනා කරනවා කල් නොයවා මේ සන්ධානයෙන් ජනාධිපතිවරණයට එන අපේක්‍ෂකයා වහාම ප‍්‍රකාශයට පත් කළ යුතුයි. කවුරුන් හෝ මේක කල්දානවා, කල්මරනවා කියන්නේ ප‍්‍රශ්න ඇති කරන්න කි‍්‍රයාකරනවා කියන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලකඳවුර පරාජයට පත් කිරීම සඳහා කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අපට පේන්නේ. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල කඳවුර ශක්තිමත්වන ආකාරයට ඒ කටයුත්ත කළ යුතුයි.

යහපාලනයත් වැරැදි කළා !

ඒ වගේම පසුගිය අවුරුදු 5 ක පමන එම පාලන කාලය තුළ මේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, අප ඇතුළු ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම අපට අත්දැකීමක් තිබෙනවා මේ රජය කරගෙන ගිය දේවල් පිළිබඳව. ඇතැම් දේවල් රජය සාර්ථකව කලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස පුළුල් කිරීම ආදී ක්‍ෂෙත‍්‍රවල. තවත් ක්‍ෂෙත‍්‍රවල දූෂණය මර්ධනය කිරීමේ සහ දූෂකයින්ට දඬුවම් කිරීම කියන කි‍්‍රයාවලිවල ජනතා අපේක්‍ෂාවන්වලට පටහැනිව කි‍්‍රයා කළා. ජනතාව අපෙන් දුරස්වන තත්වයට, ජනතාව අප කෙරෙහි කේන්ති ගන්න තත්වයට පත් වුණා. ඒ වගේම මේ සහරාන් හෂීම් ගේ ප‍්‍රහාරත් සමග ආගමික ආතතීන් ඇතිවන අවස්ථාවලදී ඒවා සම්බන්ධයෙන් නිෂ්චිතව වේගයෙන් කටයුතු කළේ නැහැ. අද මේ වනකනුත් ඒ නීති පද්ධති සම්මත කිරීම බොහොම පමාවෙලා එකින් එක හිමිහිට තමයි යන්නේ. ඒ නිසා ඒ බියසැක, අවිශ්වාසය, ආතතිය තවම තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ යටතේ හා රාජ්‍ය මූල්‍ය මුහුණ දී තිබෙන භයානක අභියෝගය ආජන්ටිනාවේ වගේ රට බංකොලොත් නොවී ඉදිරියට ගෙනයන්න පුළුවන්ය කියන විශ්වාසය සහිත ආර්ථික වැඩපිළිවෙලක්. ඒ වගේම රට දාල යන්නේ නැති, රටේ නැවත කැරළි ඇති වෙන්නෙ නැති ආගමික ගැටුම් ඇති වෙන්නැති සමාජ වාතාවරණය ඇති කරගන්න පුළුවන් ප‍්‍රජාතාන්ත‍්‍රික වැඩපිළිවෙලක්. ඒ නිසා නිකම්ම නිකං හුදු සන්ධානයක්,අපේක්‍ෂකයෙක් නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ අලූත් සන්ධානයක්, අලූත් වැඩපිළිවෙලක්, අලූත් නායකත්වය කණ්ඩයමක් සමග රටට අලූත් බලාපොරොත්තුවක් තමයි අපගේ ඉල්ලීම.

අපේ යුතුකම ඉටුකළා : දැන් තියෙන්නේ බලගතු දේශපාලන ආයාචනයක් !

ඒ නිසා අපි මේ පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීන්ගෙන් අප ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මේ කටයුත්ත කරන්න නොඑසේනම් මේ බලකඳවුර ඉදිරි දේශපාලන ආර්බුදයකට යාම පිළිබඳ වගකීම පැටවෙන්නේ ඒ පිරිසටයි. මේ සම්බන්ධයෙන් මේ රජය බලයට පත් කරන්න, මේ රජයට අභියෝග එල්ල වූ ඔක්තොම්බර් මාසයේ කුමන්ත‍්‍රණය වැනි අවස්ථාවේදී ඒවාට නිර්භයව මුහුණ දී ඉදිරියට යන්න කටයුතු කළ පිරිසක් හැටියට, ඒ වගේම මේ රජය කිසිම ආකාරයකට, මේ ආණ්ඩුව මොනම විදිහකටවත් අපකීර්තියට පත් වන විදිහට, අපහසුවට පත්වෙන විදිහට කිසිම ප‍්‍රකාශයකින් හෝ කි‍්‍රයාකාරකමකින් දායක නොවිච්ච පිරිසක් හැටියට අපි බොහොම බලගතු දේශපාලන ආයාචනයක් කරනවා. ඒ වගේම අපි එක දිගටම මේ රටේ දේශපාලන බලය පවුල්වාදී කණ්ඩායම විසින් ගසා ගන්නකන් ඉවසිලිවන්තව බලා ඉන්න පිරිසකුත් නෙමෙයි. ඒ නිසා ඉතා ඉක්මනින් ඒ පිළිබඳ තීරණ අරගෙන මේ පොදු ජනතාවගේ ප‍්‍රාර්ථනය ඉෂ්ට කරන්න කියලා අපි ආයාචනා කරනවා. එසේ නොවුණහොත් අපට විකල්ප පියවරක් ගැනීමට සිදුවන බවත් ප‍්‍රකාශ කළ යුතුයි.

අලුත් සන්ධානයක් අවශ්‍යයි !

ඒ නිසා මේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනතාවට අලූත් සන්ධානයක් අවශ්‍යයි ඒකට අවශ්‍ය කරන සියළුම පසුබිම,නීත්‍යානුකූල ලියවිල්ල සූදානම්. අපට අවශ්‍යයි අපේක්‍ෂකයෙක්. ඒ අපේක්‍ෂකයා ඉදිරියට ගෙන යන අලූත් වැඩපිළිවෙලක්, ඒ වගේම එම අලූත් වැඩපිළිවෙල සමග රටකරවන අලූත් කණ්ඩායමක්, ඒ වගේම අලූතින් ඡන්දය ලබාදෙන දශ ලක්ෂයක් වූ තරුණ පරම්පරාවට පොදුවේ සියළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විශ්වාසයන් සහිත දේශපාලන පක්ෂවලටත්, නොබැඳි ඡන්ද දායකයින්ටත් මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියළුම ආගමික නායකයින්ටත් සමාජ කි‍්‍රයාකාරීන්ටත් අලූත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. එය ඉටු කරලීමට කි‍්‍රයාකරන හැටියට අප ප‍්‍රකාශ කරනවා’ ය