ආර්ථික නවීකරණය සදහා ශ්‍රමිකයන් සූදානම් කරමු - අගමැති

ආර්ථික නවීකරණය සදහා ශ්‍රමිකයන් සූදානම් කරමු - අගමැති

මෙරට ශ්‍රමිකයන් ආර්ථික නවීකරණය සඳහා සූදානම් කළ යුතු බවත් නවීකරණය යොදා ගෙන මෙරට අපනයන ආර්ථිකයක් බවට පත්කරන බව පවසයි.

දැනට පවතින ප්‍රමාණයට වඩා සේවක ආදායම් ඉහල නැංවිය යුතු බවත්, ඒ සඳහා සේවකයන්ගේ ශිල්පීය ඥානය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවත්, වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (20) නාරාහේන්පිට පිහිටි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේ ඉදිකරන ලද "මෙහෙවර පියස" කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ සහයෝගය නොමැතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකියි. විශාල සේවක පිරිසක් වෙනුවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කම්කරු ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ ලබාදීම වැනි වැඩකටයුතු සිදු නොවුනහොත් කාර්මික හා සේවා ක්ෂේත්‍රවල ගැටලූ ඇතිවිය හැකියි.

වර්තමානය වන විට අඩු වේතන ලබන ආර්ථිකයකින් අප බැහැර වෙමින් පවතිනවා. මෙරට ශ්‍රමිකයින්ගේ ශිල්පීය ඥාණය වැඩි කරමින් ඔවුන්ගේ ආදායම වැඩි කළ යුතුව තිබෙනවා. එලෙස ආදායම වැඩිකිරීමට නොහැකි වුවහොත් රටේ ශ්‍රම බලකාය වෙනත් රටවල සේවයට පිටත්ව යාම සිදුවෙනවා. ඒ නිසා ආදායම් වැඩිකර ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා.

මෙරට අපනයන ආර්ථිකයක් බවට පත්කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අපනයන ආර්ථිකයක් බවට මෙරට පත්වීමෙන් වැඩ කරන සේවක සංඛ්‍යාව ඉහල නැංවෙන බව සඳහන් කළ යුතුයි. ඒ සමඟම සේවකයින් හා හිමිකරුවන් අතර සහයෝගය වර්ධනය කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මේ අමාත්‍යාංශය මගින් විශාල දායකත්වයක් එක්කළ යුතු වෙනවා.

අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදුවූවත් හතරවන කාර්මික විප්ලවයේදී යන්ත්‍ර සූත්‍ර වැඩි වශයෙන් යොදා ගැනීම සිදුවන නිසා රැකියාවල ඇතිවන අවධානම් තත්වය ඇතුළු අනෙකුත් කාරණා පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. පසුගිය වසර කිහිපය තුල ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් කටයුතු කළ නිසා අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමට අපට හැකිවී තිබෙන බව කිව යුතුයි.

කම්කරු අභිවෘද්ධියට අවශ්‍ය අණපනත් ගේනවා !

කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා අපි අණපනත් කිහිපයක් අමාත්‍යා මණ්ඩලයේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ කැබිනට් නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා එම අණපනත් මගින් සේවකයන්ට වාසි රැසක් අත්වන බව ද පැවසීය. එහිදී විශේෂයෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙකුට තමා විශ්‍රාම ගොස් දින 60ක් තුල තම පළවන විශ්‍රාම වැටුප ලබාගත හැකි වන පරිදි කටයුතු යොදා තිබෙන බව පැවසූ අමාත්‍යවරයා කම්කරු අයිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම මෙම අණපනත් වලින් සිදුකෙරෙන බව ද පැවසිය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ආර්. රාජපක්ෂ, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න