ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන අනෝමා රාජපක්ෂ, ඇමරිකානු පුරවැසි භාවය ලබාගෙන සිටියදීත්, ඔවුන් දෙදෙනාගේ නම්, 2005 වර්ෂයට අදාල ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන්, අනිද්දා පුවත්පතේ නියොජ්‍ය කර්තෘ ලසන්ත රුහුණුගේ විසින් , මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ වර්ෂයේ ඡුන්ද හිමි නාම ලේඛනය තුළ ගෝඨාභය රාජපක්ෂගේ සහ අනෝමා රාජපක්ෂ ගේ නම් සඳහන්ව තිබුණාට අමතරව, ඔවුන් එකී මැතිවරණයේ දී ජන්දය පාවිච්චි කර තිබේද යන්න පිළිබදව ද සොයා බැලිය යුතු යැයිද මාධ්‍යවේදී ලසන්ත රුහුණුගේ කොමිසමෙන් ඉල්ලා ඇත.
මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතාගේ මෙම පැමිණිල්ල පිළිබඳව අද හෝ හෙට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස්ව සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂගේ සහ අනෝමා රාජපක්ෂ ගේ නම් ඡන්දය සඳහා ලියාපදිංචි කර තිබෙන්නේ, මැදමුලන, අංක 114 යන ලිපිනයේ ඔවුන් දෙදෙනා පදිංචිව සිටින බව සඳහන් කරමිනි. එම නිවසේ ගෘහමූලිකයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ වන අතර, ඒ වන විටත් ඇමරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ නම අදාල ජන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටද උත්තර බැදීමට සිදවනු ඇති බවත් දැනගන්නට තිබේ.

