ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි !

ගෝඨාගේ පෙත්සම් දෙකම විසිවෙයි !

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ ප‍්‍රතිශෝධන පෙත්සම සහ අභියාචන රීට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.

ගෝඨභාය රාජපක්ෂ ගේ නඩුව විභාගයට ගැනීමට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මේ බව දැනුම් දෙන ලදී.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

අභියාචනාධිකරණ්‍ය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වන ප‍්‍රතිශෝධන පෙත්සමේ සහ අභියාචන පෙත්සමේ විභාගය කරමිනි.

තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබිණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු වැඩිදුරටත් කියාසිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු පෙන්වාදී තිබිණ.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා ඇත.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, නීතීඥ සුගත් කල්දේරා සහ නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක පෙනී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න