පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සුවිශේෂී කාරනා කිහිපයක් සම්බන්ධව සාක්ෂි ලබාගැනීමට තීරණාත්මක අවශ්‍යතාවයක් ඇති රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීමේ අර්බුදයක් මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ අදාළ බුද්ධි අංශ ප්‍රධානියා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට නොඑවන බවට ජනාධිපති සිරිසේන දැනටමත් ප්‍රකාශ කර ඇති නිසාය.
මේ හේතුවෙන් තේරීම් කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම අර්බුදයක් වී ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ලැබී ඇති වැඩිදුර තොරතුරු වලට අනුව මේ සම්බන්ධව තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හෙට (18) පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීළඟට රැස්වීමට නියමිතව ඇත්තේද හෙට පස්වරු 2.00ටය.
එම සාකච්ඡාව වඩාත් තීරණාත්මක වනු ඇති බවත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරිපත් කෙරුණු සාක්ෂි මගින් අනාවරණය වූ තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කැඳවීමකින් තොරව කාරක සභාව පවත්වාගෙන යාම තේරුමක් නොමැති බව එහි සාමාජිකයන්ගේ අදහස වී ඇති බවත් දැනගන්නට ඇත.
නිලන්ත වැදගත් ඇයි ?
වාර්තා වන ආකාරයට මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට කැඳවීම තීරණාත්මක වී ඇත්තේ, පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව ලැබී තිබුණු බුද්ධි තොරතුරු නිසි ලෙස ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම නීතිය හා සාමය අමාත්‍යවරයා ද වන රටේ ජාතික ආරක්ෂාව සියළු වගකීම් ඇති ජනාධිපතිට දැන්වුයේද නැද්ද යන්න තහවුරු කර ගැනීමටය.
මේ කාරණය පිළිබඳ අනාවරණය කර ගැනීම තීරණාත්මක සාක්ෂියක් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිවක් ගැන තමන්ට දැනුම්දී නොතිබුණු බව ජනාධිපති සිරිසේන මේ වන විටත් රට හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇති නිසාය. ඒ සත්‍යක් වන බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය සාක්ෂියේ දී පිළිගත හොත් පාස්කු ප්‍රහාරය හමුවේ විනාශවී ගිය මිනිස් ජීවිත මෙන්ම දේපළ සම්බන්ධව දැඩි වගකීමක් ඔහුට පැවරේ.
නමුත් තමන් නිසි ලෙස අදාළ බුද්ධි වාර්තා ජනාධිපතිට දැන්වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය සාක්ෂියේදී අනාවරණය කළහොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වන තෙක් ජනාධිපති සිරිසේන කළ කී දේ සියල්ල පාහේ බොරු වෙනවා පමණක් නොව චෝදනා රැසක් සම්බන්ධව වගකියන්නටද ජනාධිපති සිරිසේනට සිදුවීම වැළක්විය නොහැකිව පවතී.
නිලධාරීන් අමාරුවේ !
මේ අතර බුද්ධි ප්‍රධානීන් හෝ ආරක්ෂක ප්‍රධානීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට නොයැවීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණයත් සමඟ එම නිලධාරීන්ද බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බවත් වාර්තා වෙයි. ඔවුන් "යාදෝ නොයාදෝ" යන දෙගිඩියාවකට පත්ව සිටින බව දැනගන්නට ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි (CNI) සිසිර මෙන්ඩිස් හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙතින් ඉකුත් දා එම කමිටු හමුවට කැඳවා ප්‍රශ්න කළේය. දැනට සක්‍රීය සේවයේ සිටින බුද්ධි අංශ නිලධාරීන් මින් ඉදිරියට කමිටුව හමුවට නොඑවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේ ඒ සිද්ධියෙන් අනතුරුවය.
පාර්ලිමේන්තුවට නින්දාවක් !
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඕනෑම නිලධාරියකු කැඳවීමේ බලය තිබෙන අතර එසේ කැඳවා තිබියදී පැමිණීම මගහරින නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කර දඬුවම් කිරීමේ හැකියාව ද ඊට ඇත.
ඒ අනුව යම් කිසිහෝ හේතුවක් මත රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොකැදවා සිටියහොත් එය පාර්ලිමේන්තු ඉතිහාසයේ බරපතළ කළු පැල්ලමක් ලෙස සටහන් වන්නේ පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරගත් නින්දාවක්ද සමඟින්ය.
ඒ අනුව දැඩි දේශපාලන උණුසුමක් මතුව ඇති අතර මේ අභියෝගාත්මක අවස්ථාව මඟහැරීමට දැන් පාර්ලිමේන්තුවටද නොහැකිව ඇත. එසේම මෙතෙක් කළක් පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන බව පවසමින් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරගෙන නැටුවේ ජනතාව නොමග යැවූ නාඩගමක් බවත් එහිදී තහවුරු වන අතර එය එක්සත් ජාතික පෙරමුණට ඉතාම අහිතකර දේශපාලන බලපෑමක් වීමද වළක්වාලිය නොහැක.

