Image

මේ සැරේ පාස්කුවට නාට්‍යයක් පෙන්වන්නේ නැද්ද...?

මේ සැරේ පාස්කුවට නාට්‍යයක් පෙන්වන්නේ නැද්ද...?

අද මහ සිකුරාදා ලෝකය පුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ දුක්ඛප්‍රාප්තිය ස්මරණය කරන දවස.

දුක්ඛප්‍රාප්තිය කියන්නෙ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වධහිංසාවලට ලක් කරලා, කුරුසියේ ඇණ ගසලා මරණයට පත් කිරීම.

මහ සිකුරාදා මරණයට පත් කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන් දින දෙකකට පසුව - එනම් පාස්කු ඉරු දින- උත්ථාන වූ බව හෙවත් යළි පණ ලැබූ බවත්, ඉන් පසු ස්වර්ගයට වැඩම කළ බවත් කිතුණු බැතිමතුන් විශ්වාස කරනවා. ඒ දිනය ඔවුන් උත්සවාකාරයෙන් සමරණවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය රජුන් තැනීම

2019 වසරේ පාස්කු ඉරිදා යෙදුණේ අප්‍රේල් 21 දිනට යි. එදා ලංකාවේ කතෝලික දේවස්ථාන දෙකකට, ක්‍රිස්තියානි දේවස්ථානයකට සහ තරු පහේ සංචාරක හෝටල් ගණනාවකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වුණා. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන බව ප්‍රකාශ කරමින්. මේ නිසා කිතුණු සහ කතෝලික ජනතාව ගේ සහයෝගය ජනාධිපතිවරණයේ දී ඔහුට ලැබුණා. විශේෂයෙන් ම කතෝලික ප්‍රජාව ගේ නායකයා ලෙස සැලකෙන මැල්කම් කාදිනල් රංජිත් ගේ ආශීර්වාදය ඔහුට හිමි වුණා. නමුත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයා ගේ පාලනය යටතේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ ‘මහ මොළ කරු’ සොයා ගැනීමට කටයුතු නොකරන බවට කාලයා ගේ ඇවෑමෙන් මැල්කම් කාදිනල් රංජිත් ප්‍රමුඛ කතෝලික සභාව විසින් චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. 2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක බලයට පැමිණියෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන බව ප්‍රකාශ කරමින්. මේ නිසා කිතුණු සහ කතෝලික ජනතාව ගේ සහයෝගය ජනාධිපතිවරණයේ දී ඔහුට ලැබුණා. මේ අවස්ථාවේ කතෝලික ප්‍රජාව ගේ නායකයා ලෙස සැලකෙන මැල්කම් කාදිනල් රංජිත් ගේ ආශීර්වාදය ඔහුට හිමි වුණා. 

p

පිල්ලෙයාන් රිමාන්ඩ්

2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක බලයට පැමිණි වහාම 2019 දි පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩී ය භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කළා. ඒ වගේම 2019 දි පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩී යේ අධ්‍යක්ෂව සිටි විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නැවත පොලිසියට බඳවා ගත්තා. මේ පියවර ගත්තේ කතෝලික සභාවේ ඉල්ලීම පරිදි කියලා ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.

ඊයේ, එනම් මහ බ්‍රහස්පතින්දා, නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ 2006 වසරේ සිදුවුණු බව කියන පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධ චෝදනාවකටයි. මෙහෙම ඉදිරිපත් කළ පිල්ලෙයාන් ඇප පිට මුදා හරින ලෙස ඔහුගේ නීතිඥයන් විසින් ඉල්ලා සිටියත්, මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගේ උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නිසා ඔහුට ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත හෙවත් රිමාන්ඩ් කළා. මෙතෙක් දවස් 350 කට වැඩි කාලයක් ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන හිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙ යි.

පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට ඈඳෙන්නේ ඇයි...?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු රඳවා තබා ගත හැකි උපරිම කාලය ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයෙ දි මාස දහ අටක සිට අවුරුද්දක් දක්වා සීමා කළ නිසා තවදුරටත් රඳවාගෙන ඉන්න බැරි නිසා පිල්ලෙයාන් තම භාරයෙන් අධිකරණයේ භාරයට ලබා දෙන්නට එනම් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වුණා.

ගිය සැරේ එනම් 2025 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සංවත්තරය ආසන්නයේ තමයි පිල්ලෙයාන් අත්අඩංගුවට පත් වුණේ. ඒ කාලයේ ප්‍රචාරය ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ඇල්ලුවා කියලා වගේ තමයි. අන්තිමට පිල්ලෙයාන් උසාවියට ඉදිරිපත් කළේ පුද්ගල පැහැර ගැනීමක් ගැන මිසක් පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයි. පිල්ලෙයාන් නැගෙනහිර බලය අරගෙන ඉන්නකොට ඔහු ගේ බොහෝ පීඩාවලට කැෆේ සංවිධානයත්, මානව හිමිකම් කේන්ද්‍රයත්ත්, පුද්ගලික මම ත් ලක්වුණා. 2008 පළාත් සභා ඡන්දයේ දී පිල්ලෙයාන් ගෙ වැඩ බෝම්බ - පැහැරගැනීම් - ඡන්ද මගඩි කරළියට ගෙනාවේ කැෆේ සංවිධානය. 2010 දී මහා මැතිවරණය සමයේ දී මම පිල්ලෙයාන් හමුවී කතා කර තිබෙනවා.

pille

එක කාලයක් තිබුණා පිල්ලෙයාන් - කැෆේ කීර්ති කියන්නේ ඡන්ද කාලෙට නොගැළපෙන පද වගේ; ගින්දර හා වතුර වගේ.  ඒ වෙලාවෙ එවකට ඔහුගේ ලේකම් අසාද් මව්ලානා ද එතැන හිටියා. ඉන් පසුවත් මම අවස්ථා රැසක පිල්ලෙයාන් සමග කතා කරලා තියෙනවා. පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට ඈඳෙන්නේ අසාත් මව්ලානා විසින් ස්විට්සර්ලන්තයට පළා ගොස්, සරණාගත භාවය ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කොට ඒ අතර එංගලන්තයේ චැනල් 4 නාලිකාවට ලබාදෙන සම්මුඛ සාකච්ඡාවකින් පසුවයි.

සජිත් ප්‍රේමදාස ගේ නරක වෙලාව

පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නෙ හැම අතින්ම දේශපාලනීකරණය වුණු, විවිධ දේශපාලකයන් විසින් ‘ඡන්ද දිනන මන්තරය’ කර ගත්ත ප්‍රශ්නයක්.

පිල්ලෙයාන්ගේ නීතිඥයා වුණු උදය ගම්මන්පිල පාස්කු ප්‍රහාරය ගැන පොතක් ලියලා මාර්තු 31 දා හවස කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දි එය ජනගත කරන අවස්ථාව මුළු මහත් විපක්ෂයම එකට එකතු කර ගන්න වේදිකාවක් බවට පත් කර ගත්තා. එතන කට කපලා සෙනඟ පිරිච්ච තැනක් වුණා. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ කියන 2005, 2010, 2015, 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණය කරපු පුද්ගලයින් වගේ ම 2019 සහ 2024 ජනාධිපතිවරණ වලට තරග කරලා පරාජය වෙච්ච විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් (AI සජිත්)  එතැන හිටියා.

s8

සජිත් ප්‍රේමදාස ඉදලා ඉදලා විපක්ෂ ඒකාබද්ධ වේදිකාවට නැග්ගේ වැරදි වෙලාවක කියලා හිතෙන තරමට සජබ කලබල වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ එක කකුලක් තියාගෙන, තව කකුලක් සමගි ජනබලවේගයේ තියා ගෙන ඉන්න නවීන් දිසානායක ඊටත් වඩා කලබල වෙලා තියෙනවා. ආණ්ඩුව කිසිම දෙයක් කියන්නේ නැති ගානට නිශ්ශබ්ද කරන්න ‘ගම්මන්පිල ගේ පොත’ සමත් වෙලා තියෙනවා. ආණ්ඩුව දිනපතා දහසකුත් එකක් ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා, කිසිම ප්‍රශ්නයක් විසඳාගන්න බැරි තැනකට ගිහින් තියෙනවා. උද්ධමනය පැහැදිලිව වේගයෙන් ඉහළ යනවා. ආණ්ඩුව අත තියන තියන තැන ‘මොල්ගහත් පත්තු වෙන’ තත්වයකට පත් වෙලා තියෙනවා. රටට ආර්ථිකය ‘ඔටෝ මෝඩ්’ දැම්මට පස්සේ ලෝකයේ හැම පුංචි වෙනසකටම රට දෙපැත්තට පැද්දෙනවා.

නාට්‍ය බලන්න රට ම ආසයි

සුළං, සූර්ය බලය, ඩීසල් මාෆියාව හා ගල් අඟුරු ප්‍රශ්නය රට බලශක්ති අර්බුදයකට ගෙනිහින් තියෙනවා. මැද පෙරදිග යුද්ධය නිසා එහි බලපෑම තවත් තීව්රවීම නොවැළැක්විය හැකිය. හැබැයි හොරු අල්ලන්න ආපු ආණ්ඩුව අධි ‍චෝදනා එල්ලවෙච්ච බලශක්ති ඇමති තනතුරේ තියාගෙන ඉන්නවා. ඊටත් වඩා චෝදනා රැසක් තියෙන කතානායක හතර විලි ලැජ්ජාවක් නැතුව තනතුරේ තියාගෙන ඉන්නවා. අද මහ සිකුරාදා. පාස්කු ඉරිදාට තව දවස් දෙකයි.kumara

මේ සැරේ තවම ‘පාස්කු නාට්ටිය’ පෙන්නන්න පටන් අරගෙන නෑ. කාදිනල් උන්නාන්සේත් නෑ. සිරිල් ගාමිණී පියතුමත් නෑ. පිල්ලෙයාන් දැන් චෝදනාවක්වත් නැතුව රිමාන්ඩ් එකේ. සලේ ගේ නාට්ටිය විකුණාගන්න බැරි වුණා. පාස්කු ප්‍රහාරය සිදු වන විට වගකීම් දරපු ශානි සහ රවී තවම ඒ ගැන විමර්ශන කරනවා. අනෙක් අතට ශානි ට නියෝජ්‍ය පොලිස්පතිකමවත් තවම ලැබිලා නෑ. රටට ම ආසයි නාට්‍ය බලන්න. පාස්කු නාට්ටි බලන්න, රසවිදින්න ජනතාව හරිම කැමතියි. ගිය සැරේ පාස්කු නාට්ටිය පිල්ලෙයාන් පුස්ස බිඳලා අවසන් වුණා.

අර්බුදයක් තුලින් බලයට එන අය, අර්බුදය විසින්ම විනාශයට පත් කරනවා.

මේ සැරේ පාස්කුවට නාට්ටියක් පෙන්වන්නේ නැද්ද?

ranjithරජිත් කීර්ති තෙන්නකෝන්

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න