මලල්ගොඩ කමිටු වාර්තාව කෝ ?

මලල්ගොඩ කමිටු වාර්තාව කෝ ?

අප්‍රේල් 21 වෙනිදා සිදුවූ ප්‍රහාර වලට හේතු වූ කරුණු සහ එහි පසුබිම සොයාබලා වාර්තා කිරීම සඳහා ජනාධිපති සිරිසේන විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව නිකුත්කර සතියකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් ඒ කිසිවක් ජනගත නොවීම ගැටළු සහගත බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

අදාළ කමිටුව ජනාධිපති සිරිසේන විසින් පත්කරනු ලැබුවේ අප්‍රේල් 22 වෙනිදා එනම් පාස්කු ප්‍රහාරයට පසු දිනය.

එහි සභාපතිවරයා වශයෙන් විනිසුරු විජිත් මලල්ගොඩ පත්කරන ලද අතර සෙසු සාමාජිකයින් වූයේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පතිවරයෙකු වන එන් කේ ඉලංගකෝන්ය.

මෙම කමිටුව සිය වාර්තාව පසුගිය ජුනි 10 වෙනිදා ජනාධිපතිවරයාට භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. නමුත් එහි අඩංගු කරුණු මෙතෙක් මාධ්‍යට හෙළි කර නොමැත.

එසේම ජනාධිපති සිරිසේන විසින් පත්කළ මෙම කමිටුවේ වාර්තාව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා ද වැදගත් බවත් විචාරක මතය වී තිබේ.

ඒ බව දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සිය සාක්ෂියේදී "කවර තත්ත්වයක් යටතේ වුවත් ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීමේ වගකීම පොලිස්පතිට බැරවෙන බව ජනාධිපති පැවසූ බව" හෙළිකළ බවත් එබැවින් ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ එවැන්නක් සිදුව ඇත්ද යන්න මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනාවරණය වූ සාක්ෂි වලට අමතර යමක් හෝ වෙනසක් එහි තිබේද නැද්ද යන්න ගැනද නිරීක්ෂණය කිරීම වැදගත් බවය.

තවද සාමාන්‍ය ත්‍රිපුද්ගල කමිටුවක් මෙන් නොව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක සාක්ෂි වඩාත් ප්‍රබල බවත් කිසිවෙකු ඒ හමුවේ බොරු සාක්ෂි ලබාදීමක් සිදුකර ඇත්නම් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ට අදාළ සටන් පාඨය යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට හිස මුදුණේ තබාගෙන පැමිණියත් මේ වන විට ඒ ගැන කිසිඳු තැකීමක් කරන බවක් පෙනෙන්නට ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න