පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණු බෝම්බකරුවකුට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 09 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා ඇති බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරන ආකාරයට එම සැකකරුවන් මුදා හැරුණේ වැල්ලම්පිටිය පොලීසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමේදී සිදුවු යම් දෝෂයකින්ද නැතිනම් නිසි ආකාරව කරුණු නොදැක්වීමක්ද යන්න සම්බන්ධයෙන් මේ පරීක්ෂණ අරඹා ඇත.
මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් පවතින බවත් මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට එය හේතුවක් වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
පාස්කු දින කොළඹ සිනමන්ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්වාදියකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉම්ෂාෆ් අහමඞ් නැමැත්තාට අයත් බව කියන මෙම තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ 9 දෙනකු ප්‍රහාරයෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 9 දෙනා එදිනම කොළඹ අලූත්කඩේ අංක 2 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මැයි මස 6 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර කර තිබුණි.
නඩුව නැවත කැඳවු අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ විසින් එම සැකකාර සේවකයන් 09 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
මෙම ඇප ලබා දී වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරියකුගේ දෝෂයක් හෝ නොසලකා හැරීමක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට පරීක්ෂණයේ දී තොරතුරු හෙළි වුවහොත් එම නිලධාරියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා සදහන් කරයි.

