Image

කෝටි 4620ක් බැඳුම්කර නීතියට පිටින් දීලා !

කෝටි 4620ක් බැඳුම්කර නීතියට පිටින් දීලා !

වර්ෂ 2012 සහ 2014 අතර කාලයේදී මහාභාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකා බැංකුව හරහා රුපියල් කෝටි 4620 ක භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිකුත් කර ඇත්තේ නීතියට අනුකූලව නොවන අයුරින් බව ඊයේ (31දා) අනාවරණය විය.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ශ්‍රී ලන්කන් - මිහින් ලංකා ගුවන්සේවා සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේය.

එහිදී ලංකා බැංකුව හරහා අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇත්තේ කවර නීතියකට අනුවදැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව විසින් ප්‍රශ්න කරසිටි අතර එහිදී මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ තමා ඒ පිළිබඳව නොදන්නා බවත් එය ප්‍රශ්න කළ යුතු වන්නේ මහා භාණ්ඩාගාරයෙන් සහ එවකට සිටි මහ බැංකු නිලධාරීන්ගෙන් බවත්ය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ වන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥපනතේ විධිවිධාන මෙහිදී අනුගමනය කර නැති බවද මෙහිදී මහ බැංකු අධිපතිවරයා පිළිගෙන ඇත.

එසේම ලංකා බැංකුව හරහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතියේ අවශ්‍යතාව පරිදි මහජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර නැති බවද කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකර නැති බව මහ බැංකු අධිපති ආචාර්යඉන්ද්‍රජිත් කුමාරස්වාමි පිළිගෙන තිබේ. මෙම රුපියල් කෝටි 4620 මත භාණ්ඩාගාර බැඳුම්කර රජයේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීම මත නිකුත් කළ ඒවා බවත් ඒවා රජයේ මාසික මුදල් අවශ්‍යතාවට වැටෙන ඒවා නොවන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

එසේ නම් අලුතින් ප්‍රාග්ධනය සැපයීම සඳහා ලංකා බැංකුව හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේ කවර නීතියකට අනුකූලව ද යනුවෙන් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව විසින් මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ප්‍රාග්ධනය අලුතින් සැපයීම සඳහා මහ බැංකුව එම බැඳුම්කර නිකුත් කළේ කවර නීතියකට අනුකූලවද යන්න ප්‍රකාශ කිරීමට මහ බැංකු අධිපතිවරයා අපොහොසත් වූ බවද වාර්තා වෙයි.

තවද මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අත්පොතට ද අනුකූල නොවන බවද ජනාධිපති නීතිඥ උනම්බුව අසන ලද ප්‍රශ්නයක් හමුවේ මහ බැංකු අධිපතිවරයා පිළිගෙන ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුව හරහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන කරුණු පැහැදිලි කරමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙසේ ද පවසා ඇත.

"මේවා සාමාන්‍ය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් යටතට වැටෙන්නේ නැහැ. මේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ප්‍රාග්ධනය නැවත සැපයීම සඳහායි. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා. එම අයවැය යෝජනාව ඇතුළත් විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වී තිබෙනවා. එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ මහාභාණ්ඩගාරයටයි.

ඒ නිසා මේ ගැන විමසිය යුතුව ඇත්තේ මහාභාණ්ඩාගාරයෙන් සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ගෙනුයි. මම දින හයක් තිස්සේ මේ කොමිසමට පැමිණියා. මේ සියල්ල ශ්‍රී ලංකන් ගුවන් සමාගමට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැනයි. මගේ දැනුමින් ලබාදිය හැකි දායකත්වය මම කොමිසමට ලබාදී තිබෙනවා. තවදුරටත් මේ ගැන එකම කරුණු ගැන මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම තේරුමක් නැහැ. මේ විෂය ගැන මට වඩා දැනුම තිබෙන නිලධාරීන්ගෙන් කොමිසමට ප්‍රශ්න කළ හැකියි.

තවද මේ කොමිසමේ සාක්ෂි විභාගය අතරතුර මහ බැංකු අධිපතිවරයා කළේ වසර 70 ක් තිස්සේ ලංකාවේ අඩුවැඩි වශයෙන් නිසි රාජ්‍ය මුල්‍ය විනයක් තිබී නැති බවය.ඒ නිසා ඉතිහාසය තුළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන් 16 කට ඇතුළත් වීමට ලංකා රජයන්ට සිදුව ඇති බවද මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න