2019 යනු දේශයේ හැරවුම් ලක්ෂය සටහන්ව ඇති වසර බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
අලුත් වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
සියලු දෙනාටම සුභ නව වසරක්. 2019 වූ කලී මේ රටේ දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක්. විශේෂයෙන්ම මේ වසර තුළදී තීරණාත්මක වෙනසක් සිදු කිරීමට නියමිත ජනාධිපතිවරණය, ඒ වගේම ජනාධිපතිවරණයට පෙර හෝ පසු, සමහරවිට එක් වරම පැවැත්වෙන මහා මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මේ මගින් ඉදිරි දශකය දක්වා දිව යන දේශපාලනයේ හැරවුම් ලක්‍ෂය 2019 දී උදාවන බව ඉතා පැහැදිලියි.
2019 අපේ රටේ ආර්ථිකය පැත්තෙන් ගතහොත් සුභවාදී තත්වයක් උදා කරන්නේ නැහැ. ලෝකය පැත්තෙන් ගත්තත් එහෙමයි. අපට අති විශාල ණය කන්ද ගෙවීමට තිබෙන්නේ 2019 වසරේ. විශේෂයෙන්ම ඒ වසරේදී ලෝක ආර්ථිකයේත් වර්ධනය අඩු වීමක් අපේක්‍ෂා කරනවා. ඒක ලෝක වෙළඳාමටත්, එමගින් අපගේ අපනයන ආර්ථිකයටත් බලපෑමට නියමිතයි. කෙසේ හෝ වේවා මේ වසරේ අපට තිබෙන ඒ බලගතු දේශපාලන අභියෝගය ජය ගන්න නම් අපි මූලික කරුනු 03 ක් දෙස අපේ අවධානය යොමු කළ යුතුයි. එකක් තමයි මේ රටේ දුගී භාවය හා විරැකියාව ගැන තිබෙන බොල් සටන් පාඨ වෙනුවට ඇත්තටම මේ රටේ අතිශය පීඩාවට පත්ව සිටින, අතිශයින්ම දුක් විඳින මිනිස් දුහුවිලි බවට පත් කොට තිබෙන ජන කණ්ඩායම් එයින් සම්පූර්ණයෙන්ම මුදාගැනීමට අපගේ අරමුණ කර ගත යුතුයි. අපි දන්නවා මේ රටේ සමෘද්ධිය, ජනසවිය, නිවාස මේ සෑම කටයුත්තක්ම බොහෝ දුරට දේශපාලන හිතවතුන් පිනවීම සඳහා සිදු කළ ක්‍රියාදාමයක් මිසක් දුගී කම හෝ විරැකියාව ඉවත් කොට ජනතාව බලාත්මක කරවීමට යෙද වූ ඒවා නෙමෙයි. නාගරික වශයෙන් ජීවත්වන පැල්පත්වාසීන් ඒ වගේම විකලාංග සහිත පුද්ගලයින්, වැඩිහිටියන්, යාචකයින්, දරුවන්, ලිංගික වහලුන් මේ යනාදි වශයෙන් මේ සමාජයෙන් සැලකිය යුතු පිරිසක් සමාජයෙන් පිටමං කොට මිනිස් දුහුවිලි බවට පත් කර තිබෙනවා. අප විසින් දේශපාලන, ජාති - ආගම්, කුල - භේද වලින් තොරව අවධානය යොමු කළ යුතුයි මේ මිනිස් දුහුවිලි ශක්තිමත් කිරීමට, බලාත්මක කිරීමට, ඔවුනට මිනිසත් බව ලබාදීමට.
අපේ අමාත්‍යාංශය මගින් දියත් කරන ලද නාගරික පැල්පත්වාසීන්ගේ ගැටලු විසඳීම සඳහා වූ වැඩපිළිවෙල ඒ වගේම මහා මග දමා ගිය යාචකයින් ගොඩනගා ගැනීම සඳහා ගෙන ගිය වැඩපිලිවෙල. ආදිය අප යොමු කළේ මේ මිනිස් දුහුවිලි දේශපාලන බේදයෙන් තොරව මිනිසුන් බවට පරිවර්ථනය කිරීමේ කටයුත්ත සඳහායි.
ඊ ළඟට මේ රටේ දේශපාලනයේ ඉතාම වැදගත් සහ මූලික ක්‍රියාදාමය විය යුත්තේ මේ රටට කුසලතාවාදය හඳුන්වාදීමයි. මේ රටේ දේශපාලනයේ පියාගෙන් පුතාට, මවගෙන් දියණියට, බෑනට එහෙමත් නැත්නම් ඥාති සමූහයාට, ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ, ජනාධිපතිධූරයේ මේ සෑම ක්‍ෂෙත්‍රයේම දොරගුලු ඉබේම ඇරෙන තත්වයක්, මනාපය ඉහළ ආකාරයෙන් ලැබෙන තත්වයක් අපට පේනවා. මේ පැරණි වැඩවසම් ක්‍රියාදාමයෙන් අප අත්මිදිය යුතුයි. අද මේ රටේ වෘත්තීය ක්‍ෂෙත්‍රය ගත්තත්, කලා ක්‍ෂෙත්‍රය ගත්තත්, මේ රටේ ක්‍රීඩා ක්‍ෂෙත්‍රය ගත්තත්, වෘත්තීය ව්‍යාපාරික ක්‍ෂෙත්‍රය ගත්තත් මේ හැම ක්‍ෂෙත්‍රයකම කුසලතාවයට විශාල ඉඩ කඩක් ලැබිලා තිබෙනවා. රත්තරන් හැන්ද කටේ දාගෙන ඉපදිච්ච පවුල්වල පිරිස්වලට වඩා කුසලතාවයෙන් ඉදිරියට එන අය මේ හැම ක්‍ෂෙත්‍රයකම ජය කෙහෙලි නංවලා ලංකාවට ගෞරවයක් අත්පත් කර දී තිබෙනවා. නමුත් අපේ රටේ දේශපාලනය තවමත් සියවසක් පැරණි බි්‍රතාන්‍යයන් අපට සර්ව ජන ඡන්දය ලබාදීලා 1931 දී යම් කිසි වෙනසක් මේ රටේ ප්‍රජාතාන්ත්‍රික මහජන නියෝජිතත්වය ඇති කළාද ඒ කාලයේ අපට මේ රටේ දේශපාලනයට පැමිණි පවුල්වල පිරිසම තමා අදටත් ලංකාවේ පාලක පන්තිය හැටියට ඉන්නේ. මේ වෙනුවට කුසලතාවයෙන් පිරිච්ච පිරිස් කුසලතාවයට මුල්තැන දෙන සමාජයක් අපට ඇති කර ගන්න පුලුවන්නම් මේ රටේ දේශපාලනය අනෙකුත් ක්‍ෂෙත්‍ර වගේම පැහැදිලි ප්‍රභාමත්, ශක්තිමත් දේශපාලන කරලියක් වනවාට කිසිදු සැකයක් නැහැ.
ඒ වගේම තුන්වන කාරණය පරිසර සංරක්‍ෂණය, පසුගිය වසර 200 ක පමණ කාලය තුළ විශේෂයෙන්ම කාර්මික විප්ලවයෙන් පසු අපේ මහපොළවට මනුෂ්‍යයා විසින් කරන ලද අපරාධවල භයානක ප්‍රතිඵල දැන් අපට ලැබෙමින් තිබෙනවා. පස දූෂණය වෙලා වායුව දූෂණය වෙලා ජලය දූෂණය වෙලා, ඒ වගේම විශේෂයෙන්ම තාප දූෂණය නිසා ගෝලීය උණුසුම ඉහළ යාමෙන්, අයිස් කඳු දියවීමෙන් සාගර ජලය ඉහළට ගමන් කිරීමෙන් ජීවවිශේෂ වඳවී යෑමෙන් භයානක ප්‍රශ්නයකට අපි මුහුණ දී තිබෙනවා. මේ භයානක ප්‍රශ්නය කොතරම් ද කියනවා නම් ඊ ළඟ අවුරුදු 50 ඇතුළත මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තවදුරටත් තිබෙනවා ද නැද්ද කියන ප්‍රශ්නයටම අප අද මුහුණ දී තිබෙනවා. ඒ නිසා මවිසින් දශක 3 කට පෙර අවධාරණය කරන ලද ඒ ධරණීය සංවර්ධනය පිළිබඳ වූ මූලධර්ම අප විසින් නැවත නැවතත් සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. හැබැයි මතක තබා ගත යුතුයි මේවා අපට තනිව මේ රටේ ක්‍රියාත්මක කළ නොහැකියි. ගෝලීය ක්‍රමවේදය මත ගෝලීය සම්මුතීන් ගොඩ නගා ගැනීමට අපේ රට ගමන් කළ යුතුය වෙනවා. ශක්තිමත් තිරසර සංවර්ධන පදනමක සිට.
මෙන්න මේ ඉලක්ක තුන, මිනිස් දුහුවිලි මිනිසුන් බවට පත් කිරීමට, ඒ වගේම රට පුරාම කුසලතාවාදය දේශපාලනය තුළට ගෙන ඒමට, තිරසර සංවර්ධන ඉලක්ක ගොඩනගා ගැනීමට 2019 ඒ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණවලදී අපි එකට එකතු වෙමු. දේශප්‍රේමී ජනතාවක් හැටියට, ජාති මාමකයින් හැටියට, සියලු ආගම් වලින් සෑම කෙනාටම සමානව ලැබී තිබෙන ආගමික අයිතීන් ආරක්‍ෂා කර ගනිමින් විශේෂයෙන්ම බෞද්ධ ධර්මය පදනම් කර ගත් ඒ සමානාත්මතාවාදය සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑර පතුරුවාලීමට අපි මේ අභියෝගාත්මක 2019 වසර යොදා ගනිමු. ඔබට සුභ නව වසරක් යැයි පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
