ඉකුත් වසර 35කට අධික කාලයක රාජ්‍ය නායකයන් ලබානොදුන් තරම් නිවාස ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ තම අමාත්‍යාංශය විසින් කොළඹ පැල්පත් වාසීන්ට ලබාදීමට හැකිවූ බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කල අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මෙම ඉදිරි වසර රටට ඉතා තීරණාත්මක වසරක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පක්ෂ අතර එකඟතාවයක් ආවොත් පළාත් සභා මැතිවරණය තියන්න නියමිතයි. ඇතැම් විට පාර්ලිමේන්තුව අවුල් සහගත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්න නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. 2019 වසර රටේ කඩඉම් වසරක්. රටේ පාලන ක්‍රමය අනාගතයට ගමන් කිරීම පිළිබඳව වූ වැදගත් වූ වසරක්. මේ කඩඉම් වසරේ අපේ ඉලක්ක අපි පැහැදිලි කර ගත යුතුයි.
ප්‍රධාන ප්‍රතිපත්ති 3ක් කරලියට !
මේ රටේ ප්‍රධාන ප්‍රතිපත්ති 3 ක් කරලියට ගෙන එන්න දැන් ඉතාමත්ම අවශ්‍ය යුගය කාලය එළැඹිලා තිබෙනවා. පළවෙනි කාරණය තමයි මේ රටේ ඉතාමත් දුක්ඛිත භාවයට, අසරණ භාවයට, මිනිස් දුහුවිලි බවට පත්කර තිබෙන ජන කණ්ඩායම් ජීවත් වෙනවා. ඒ ජන කණ්ඩායම්වලට මනුෂ්‍යත්වය ලබාදීමේ ජනබල ගැන්වීමක් අප විසින් සිදු කළ යුතුයි. අපි ලොකු සද්ද බද්ද නැති උනාට අපේ අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේ කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් අපි ගෙන ගියා. ඒ නිවාස ගැන මම කිව්වොත් පසුගිය අවුරුදු 35 තුළ ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස, ජෙ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ සියළුම දෙනා හදපු නිවාසවලට වඩා දස ගුණයක් අපි කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නිවාස හදලා දීලා තිබෙනවා.
නැති බැරි උදවිය නගා සිටුවීමට අවශ්‍යයි !
ඒ වගේම අපි ආණ්ඩු ණය කාරයෝ කරලා නැහැ. දැන් මේ පැල්පත් කියන ඒවා කොළඹ නගරයේ විතරක් නෙමෙයි, මහනුවර, කුරුණෑගල, මාතර යන නගර හැම තැනකම පැල්පත්වාසී දුගී කණ්ඩායම් ජීවත් වෙනවා. මිනිස් දුහුවිලි බවට මේ මිනිසුන් පත්කර තිබෙනවා. මේ මිනිසුන්ව මිනිස්සු බවට පත් කරන ජනයා බල ගැන්වීමේ වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ඒ වගේම මේ රටේ විශාල පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා තිබෙනවා. මේ ළඟදි දවසක මම කොළඹ නගරයේ ඇවිදින්න ගිය වෙලාවක තාත්තා කෙනෙක් ඇවිත් කියනවා නාගරික සංවර්ධන අධිකාරියේ ගෙවල් කුලිය වන රුපියල් තුන්දාහ ගෙවන්න විදිහයක් නැහැ කියලා. මම ඇහුවා දවසට රුපියල් තුන්දහසකට වඩා හොයන ඔබලාට ඇයි මෙය ගෙවන්න බැරි කියලා. එතකොට කියනවා මගේ පුතා කුඩු වලට ඇබ්බැහි වෙලා කියලා. ඔහුගේ රැකියාව මුට්ට කර ගැහීම. වයස අවුරුදු හැත්තෑවක්. තවත් ඔහුට මුට්ට කර ගහන්න බැහැ. ඔහුගේ ළමයාව බේරගන්නත් බැහැ ඒ නිසා ඔහුත් ඔහුගේ බිරිඳත් ඉතා අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ කියලා. මේ විදිහට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැදගත් තරුණ තරුණියෝ, වැඩිහිටියෝ වගේ අති විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. අපි මේ පිරිස මෙයින් මුදා ගන්නට මෙහෙයුමක් අවශ්‍යයි මිත්‍රවරුණි.
සහන මල්ලේ භූමිකාව සීමිතයි !
අපි හාල් මලු, එළවලු මලු, සහන මලු බෙදුවයි කියලා කවදාවත් ඒ සමාජයේ පිළිකුලට පත් වෙලා බිඳ වැටිලා ඉන්න ඒ ජනතාව උඩට එන්නේ නැහැ. ඒ ජනතාව එයින් මුදා ගන්න මනුෂ්‍යත්වයේ හස්තය අපි ඔවුන්ට දිගු කිරීම ඉතාම අත්‍යාවශ්‍යයි. අද කොළඹ හා අවට මේ හැමතැනකම විශාල යාචක පිරිසක් ඉන්නවා. අපි පසුගියදා එම යාචකයින් එයින් මුදාගෙන ඒ අයගේ ජීවන මට්ටම ඉදිරියට ගෙන එන වැඩපිළිවෙලක් දියත් කරන්න කටයුතු කළා. එයින් අපි ඉගෙන ගත්ත පාඩම මොකද්ද මේ යාචකයෝ බොහොමයක් මානසික, ශාරීරික ආබාධිතයෝ මෙන්ම වෙනත් නොයෙක් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දුන් පිරිස්. මේ සමාජයේ ඉන්නවා විවිධ ජන කණ්ඩායම් කුල ප්‍රශ්න නිසා, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න නිසා මේ අය මිනිස් දුහුවිලි බවට පත් වූ විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මෙන්න මේ පිරිස මිනිස්සු බවට නැවත පත් කරන ජනබල ගැන්වීමක් මේ රටට අවශ්‍යයි.
තවදුරටත් අපි නිවාස, ආහාර එහෙමත් නැත්නම් වෙනත් රැකියා ආදී දේවල් ලබාදීමේදී තමන්ගේ පාක්ෂිකයා පමණක් ඉලක්ක කර ගැනීමක් පමණක් නෙමෙයි මෙන්න මේ ජන කණ්ඩායම්වල ප්‍රශ්නය 100%ක් විසඳන්න ඕනේ. මේ රටේ මෙන්න මේ අසරණ සමාජ බලවේග එයින් මුදවාගෙන ජන බලගැන්වීමක් කළ යුතුයි. මිනිස් දුහුවිල බවට පත් ව ඇති මේ ජනතාව මිනිස්සු බවට පත් කරන ව්‍යාපාරයක් අපි දියත් කරන්න ඕනේ.
ඊ ළඟට මේවා ගැන කතා කරන කොට කාලයක් හිටියා බ්‍රිතාන්‍ය කාලයේ මේ රටට ගෙන ආ වැසිකිලි හෝදන ජනතාවක්.ඒ ජනතාව තවම ඉන්නවා. හැම නගරයකම පුංචි පැල්පත් සාදාගෙන මේ ජනතාව ඉන්නවා. මේ දරුවෝ කවුරුවත් අධ්‍යාපනය ලබන්නේ නැහැ. මෙවැනි සෑම ජන කණ්ඩායමක්ම ඉදිරියට ගෙන ඒමට නම් ජන බල ගැන්වීමක් කරන්න ඕනේ. බුදු රජාණන් වහන්සේ සුනීත සෝපාකට පිහිට වෙලා ඒ අය බලගතු බෞද්ධ නායකයෝ බවට, සංඝ සමාජයේ බලගතු බලවේගයන් බවට පරිවර්ථනය කරලා ආදර්ශයක් දුන්නා වගේ මේ සමාජයේ පහලම මේ ජන කණ්ඩායම්වලට අපේ රාජ්‍ය ශක්තිය යොදවලා මේ රටේ එවැනි මිනිස් දුහුවිලි නැති රටක් බවට අපි පරිවර්තනය කරන්න ඕනේ. එය අපේ ප්‍රධාන අරමුණක් විය යුතුයි මෙම දේශපාලන පරිවර්ථනය තුළ යැයි පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
