ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහයදෙන මන්ත්‍රී කණ්ඩායමට එළඹෙන ජනවාරි මාසයේ අමාත්‍යධුර ලබාදෙන බව එක්සත් ජාතික පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විජිත් විජිතමුණි සොයිසා, පියසේන ගමගේ සහ ඒ.එච්.එම්. ෆවුසි සහ තවත් ශ්‍රීලනිප ප්‍රබලයන් කිහිපදෙනෙකුට ඒ අනුව කැබිනට් අමාත්‍යධුර ලබාදීමටත්, තවත් පිරිසකට නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීමට නියමිත බවය.
එම අමාත්‍ය පිරිසට අද (20) දිනයේ අමාත්‍ය ධුර ලබාදීමට කටයුතු නොකළේ අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් මත බවත් ඒ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකුට අමාත්‍යධුර දැරීම වාරණය කරමින් නිකුත්කර ඇති අතුරු තහනම් නියෝගය බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි. ඒ අනුව විජිත් විජිතමුණි සොයිසා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අදාළ අමාත්‍යධුරවල සිටි බැවින් ඔවුන්ට අද අමාත්‍ය ධුර ලබාදුන්නා නම් නීතිමය ගැටළුවක් පැනනගින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැහැදිළි කරයි.
අමාත්‍යධුර 30ක් පමණයි : දැන් සිටින කිහිපදෙනෙක් ඉල්ලා අස්වෙන්න සූදානම් !
එසේම ශ්‍රීලනිප පාර්ශවයෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සඳහා සහයට ගන්නේ කිහිපදෙනෙකුව පමණක් බවත් ඔවුන්ට අමාත්‍යධුර ලබාදුන්නද කැබිනට් අමාත්‍යධුර 30 සහ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර 40 ප්‍රමාණයේ වෙනසක් නොවන බවද එම ආරංචිමාර්ග අවධාරණය කරයි. අදාළ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට අවශ්‍ය අමාත්‍ය තනතුරු ලබාදීම වෙනුවෙන් දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවද එක්සත් ජාතික පෙරමුණ ආරංචිමාර්ග තහවුරුකර සිටියි.
ඇමති මංගලගේ ප්‍රකාශය !
මේ අතර අලුත් ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අද (20) පැවති කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබා නොදුන්නේ අධිකරණයේ තීන්දුවක් නිසා බව අමාත්‍ය මංගල සමරවීර ද පවසයි.
මංගල සමරවීර අමාත්‍යවරයා සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ කරුණු ඉදිරිපත්කල අවස්ථාවේදී, ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසට අද දින අමාත්‍ය ධුර හිමි නොවීම පිළිබඳව මාධ්‍යවේදීයෙක් කරුණු විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, පැවැති කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අමාත්‍ය ධුර ලබා ගත නොහැකි ලෙස අභියාචනාධිකරණ තීන්දුවක් ලබා දී තිබෙන බවයි.
ලබන මස වන විට එම තහනම් නියෝගය ඉවත් කරවාගෙන නව රජයට එක්ව සිටින පිරිසට මෙන් ම ඉදිරියේ දී එක්වීමට නියමිත පිරිසට ද අමාත්‍ය ධුර ලබා දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ඇමතිවරයා එහිදී සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
