හෙට පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡාවට භාජනය වෙන බවත්, එම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමතිතුමාට විරුද්ධව යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී මහාචාර්ය ජී. එල්. පීරිස් කළ සම්පූර්ණ ප්‍රකාශය යි.
''හෙට පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සාකච්ඡාවට භාජනය වෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමතිතුමාට විරුද්ධව තමයි ඒ විශ්වාසභංගය ගේන්නෙ. දැන් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අභූත ස්ථාවරයක්. රජය වෙනුවෙන් කෙරෙන ප්‍රකාශවල සඳහන් වන්නේ 'මෙතන කිසිම ගැටලුවක් නැහැ, ලොකු ප්‍රශ්නයක් නැහැ, මේ ගැන කිසිම පියවරක් ගැනීම අවශ්‍ය වන්නේ නැහැ' කියලා.
මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ කුමාර ජයකොඩි මැතිතුමා අමාත්‍යවරයා හැටියට වැඩ භාරගෙන කටයුතු කිරීමට පෙරයි. මෙය ඊට පෙර සිදුවෙච්ච සිද්ධියක්. මේ පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් දැක්වීම අවශ්‍ය නැහැ, මේක බරපතළ කාරණයක් හැටියට සැලකීමට කිසිම පදනමක් නැහැ කියන තර්කය තමයි ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ.
මේ සිද්ධිය සිදුවෙලා තියෙන්නේ කුමාර ජයකොඩි මැතිතුමා පොහොර සංස්ථාවේ විධායක තනතුරක් දරන අවස්ථාවේ. අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව කියනවා ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා ඒ කාලයේ සිදුවෙච්ච සිද්ධියක් පිළිබඳව. ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ කුමාර ජයකොඩි මැතිතුමා ගත් තීරණ නිසා සමාගමකට අයථා ලාභයක් ලැබුණා, රජයට අසාධාරණ අලාභයක් විඳින්නට සිද්ධ වුණා කුමාර ජයකොඩි මැතිතුමා ගේ ඒ ක්‍රියාමාර්ගය නිසා.
දැන් කවුරුහරි ඇමතිවරයෙක් හැටියට පත්වෙන්න පෙර අමාත්‍යංශයක සේවය කරන්න පුළුවන් ලේකම් හැටියට, එහෙමත් නැත්නම් සංස්ථාවක සභාපතිවරයෙක් හෝ විධායක නිලධාරියෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්. නැත්තම් පළාත් පාලන ආයතනයක සාමාජිකයෙක් හෝ සභාපතිවරයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන් ඒ කාලයේ ඇමති ධුරය දරන්න ඉස්සෙල්ලා. මොකක් හරි සිදුවීමක් සිද්ධ වුණා, ඒ සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රජයට අසාධාරණ අලාභයක් සිද්ධ වුණා. ඒ හින්දා නඩු දාන්න, නඩු දැමීමට ප්‍රමාණවත් සාක්ෂි, ශක්තිමත් පදනමක් තියෙනවා කියන මතය අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා නම්, මේ සිද්ධිය සිදුවුණේ ඇමති ධුරය භාරගත්තට පස්සේ ද, ඊට ඉස්සෙල්ලා ද කියන එක කිසිම වැදගත්කමකින් තොර දෙයක්. ඉස්සෙල්ලා වුණත් කමක් නැහැ, පස්සේ වුණත් කමක් නැහැ. ඒ සිද්ධිය පිළිබඳ නඩු දාන්න ඕනේ විදිහට නිර්දේශයක් කරනවා නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, එහෙනම් ඇමති ධුරයේ වැඩකටයුතු ආරම්භ කරාට පස්සෙ ද එහෙමත් නැත්නම් වෙනත් තනතුරක් දරපු කාලෙ ද මේ සිද්ධිය සිදුවුණේ කියන එක කිසිසේත් වැදගත්කමකින් තොර විභේදනයක්.
දැන් හෙට පාර්ලිමේන්තුව මේක විවාදයට භාජනය කරනකොට මොකක්ද මූලික කාරණය? ඒ කියන්නේ මේ ඉතිහාසය, මේ වාර්තාව අනුව මේ පුද්ගලයා ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක් භාරව, ඒ අමාත්‍යාංශයේ නායකත්වය දරමින් වැඩකටයුතු කිරීම තමයි වැදගත්, වෙන කිසිම දෘෂ්ටිකෝණයකින් මේ ගැන බලලා වැඩක් වෙන්නේ නැහැ. ජනතාව ගේ පැත්තෙන් මෙහෙම වගකීමක් එවන් පුද්ගලයෙකුට පැවරීම හා එම අමාත්‍යාංශයේ වැඩකටයුතු කිරීම හිතකරද නැද්ද, යහපත්ද නැද්ද, ජනතාවගේ සුභසිද්ධිය කියන තීරණාත්මක සාධකය සැලකීමට භාජනය කරනවා. එසේනම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ අවස්ථාවේදී කුමාර ජයකොඩි අමාත්‍යවරයා කළ යුත්තේ තාවකාලිකව හෝ තමා දරණ අමාත්‍යංශයෙන් අස් වීමයි. එසේ නැතිනම් ඔහුව ඉවත් කිරීම තමයි මේ අවස්ථාවේ සිදුකළ යුතු ප්‍රධානම කාරණය වන්නේ.
මේකයි ඉතිහාසය, මේකයි වාර්තාව, මේකයි අල්ලස් හා කොමිෂන් සභාවේ නිර්දේශය. මේක තමයි කේන්ද්‍රීය ප්‍රශ්නය. සම්පූර්ණ විවාදය පදනම් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය මත. එතකොට මේ සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන තර්ක අභූත තර්ක. ඒකෙන්ම පේනවා කෙතරම් අසරණ තත්ත්වයකට රජය පත්වෙලා තියෙනවාද කියලා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
