Image

ජනතාවට සැබෑ සහන දෙන : සංවර්ධනය අඛණ්ඩ කරන : අයවැය ළඟදීම - මංගල 

ජනතාවට සැබෑ සහන දෙන : සංවර්ධනය අඛණ්ඩ කරන : අයවැය ළඟදීම - මංගල 

2019 වසරේ මුල් මාස හතර සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. 

ජනවාරි මාසය තුළ නව වසර සඳහා වන අයවැය ලේඛනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

අද (20) පෙරවරුවේ නව රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මංගල සමරවීර  මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මේ බව පැවැසීය.

‘‘ඔක්තෝබර් මස 26 කළු සිකුරාදා ආරම්භ වෙලා මාසයක් විතර කාලයක් තුළ සිදු වූ ආර්ථික හානිය යළි සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නෙ. රාජ්‍ය සේවක පඩිනඩි, විශ්‍රාම වැටුප්, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි දීමනාව, පොහොර සහනාධාරය ඇතුළු සියලු දේ සඳහා අපි මුදල් වෙන් කර ගත යුතුයි. ඒ සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අපේ ප්‍රධාන අරමුණයි. 2019 වසරේ පළමු මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ජනවාරි මාසය තුළ 2019 වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ යටතේ ජනතාවට සහන දෙන්න අපි සූදානම්. නමුත් නීත්‍යානුකූල නොවන  ආණ්ඩුව වගේ බොරු සහන නොවන බව ද පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා කෘෂිකාර්මාන්තයේ නියැලි පුද්ගලයන්ට බදු සහන දෙනව කියල ප්‍රචාරයක් අරගෙන ගියා. ඇත්තට ම ආදායම් බදු ගෙවන මට්ටමේ ගොවීන් ඉන්නෙ 0.03%ක පමණ පිරිසක්. ඒ විදියේ බොරු සහන වෙනුවට ජනතාවට ඇත්ත සහන දෙන්න අපි සූදානම් යැයි හෙතෙම පැවැසීය.

අද පවතින ලෝක තෙල් මිල සලකා බලා මිල සූත්‍රය අනුව තෙල් මිල යළි හෙට දින සමාලෝචනය කිරීමට නියමිත ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග කටයුතු කිරිමට කිසිදු බාධාවක් නෑ. ජනාධිපතිතුමාට වෙනම ජන වරමක් තිබෙනවා ආණ්ඩුවට වෙනම ජන වරමක් තිබෙනවා. ඒ ජනවරම්වලට ගරු කරමින් කටයුතු කිරීමට කිසිම බාධාවක් නැතැයි ද මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා  කියා සිටියේ ය.

ඔක්තෝබර් 26 වෙනිද පටන් ගත්ත කළු සිකුරාදාවෙන් පස්සෙ ගෙවුණ මාසෙක කාලය තුළ ජීවන වියදම ඉහළ ගියා, ඔක්තෝබර් මාසෙ 26 වෙනිදා වෙද්දි රුපියල් 173 මට්ටමේ තිබුණ රුපියලේ අගය අද වෙද්දි 180 බවට පත් වෙලා. මේ සියල්ල යථා තත්ත්වයට පත් කිරීම අපේ අරමුණ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

පසුගියා දා ආණ්ඩුවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයියා මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේ ය. එම පිරිසට අද දින අමාත්‍ය ධුර හිමි නොවීම පිළිබඳව මාධ්‍යවේදීයක් මේ අවස්ථාවේ දී මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ පැවැති කැබිනට් මණ්ඩලයේ කිසිවකුටත් අමාත්‍ය ධුර ලබා ගත නොහැකි ලෙස අධිකරණ තීන්දුවක්  ලබා දී තිබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා ලබන මස වන විට එම තහනම් නියෝගය ඉවත් කරවාගෙන නව රජයට එක්ව සිටින පිරිසට මෙන් ම ඉදිරියේ දී එක්වීමට නියමිත  පිරිසට ද අමාත්‍ය ධුර ලබා දී මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේ ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න