Image

නයින්වෙල්ස් රෝහලේ මහල් 14 කින් යුත් නව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අරඹයි

නයින්වෙල්ස් රෝහලේ මහල් 14 කින් යුත් නව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අරඹයි

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මහල් 14 කින් යුත් අතිනවීන පහසුකම්වලින් සමන්විතවන මෙම නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඇඳන් ධාරිතාව 125 කි. නවීන පහසුකම්වලින් සමන්විත ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක, වාට්ටු, ඇතුළු අංශ රැසකින් මෙම සංකීර්ණය සමන්විත ය.

රෝහල් ගමනේ අර්ථවත් පියවරක්

අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත මෙම වාට්ටු සංකීර්ණය සඳහා නයින්වෙල්ස් (Ninewells) රෝහලේ කළමණාකාරීත්වය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 6 කට ආසන්න ය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ එනම් 2029 වර්ෂය අවසන් වීමට පෙර නිම කර ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ නයින්වෙල්ස් රෝහලේ නව්‍ය පරිවර්තනයක් සනිටුහන්කරන මෙම වැදගත් අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි. ඒමෙන් ම ඉදිකිරීම් ආරම්භ කරන නව වාට්ටු සංකීර්ණය රෝහල් ගමනේ අර්ථවත් පියවරක් සනිටුහන් කරන බව ද අවධාරණය කර සිටියේ ය.

සෞඛ්‍ය සේවාවේ නව පිබිදීමක්

2004 වර්ෂයේ දී ආරම්භ කළ නයින්වෙල්ස් රෝහල කාන්තා හා ළමා ප්‍රතිකාර සේවා රැකවරණය තුළ ශක්තිමත් කීර්තියක් ගොඩනඟා ගෙන ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා එය අදියරෙන් අදියර කාලයත් සමග වැඩිදියුණු කිරීම් ද සමගින් අඛණ්ඩව වර්ධනය වී ඇති බවත් පැවසී ය.

මෙවැනි ආයෝජනයන්, නව සංවර්ධනය අවස්ථා මෙරට සෞඛ්‍ය සේවා අංශය කෙරෙහි ඇති විශ්වාසය වඩවඩාත් පිළිබිඹු කරන බව ද අවධාරණය කළ අමාත්‍යවරයා ශල්‍යකර්ම, හදිසි ප්‍රතිකාර සේවා, හෘද සත්කාර සේවා, පුනරුත්ථාපන සේවා ඇතුළු ක්ෂේත්‍රවලට ව්‍යාප්ත වීම ද වැදගත් පියවරක් බව ද පෙන්වා දෙන ලදී. එය රෝගී සත්කාර සඳහා පුළුල් හා වඩාත් ඒකාබද්ධ ප්‍රවේශයක් පෙන්නුම් කරන බවත්, එය සෞඛ්‍ය සේවාවේ පිබිදීමක් බව ද සදහන් කර සිටියේ ය.

කලාපීය සෞඛ්‍ය සේවා සඳහා විශ්වාසදායක ගමනාන්තයක්

මෙරට ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය සේවාව අපගේ සෞඛ්‍ය පද්ධතියේ පදනමවන බවත්, මෙරට සෑම පුරවැසියෙකුටම සමානාත්මතාව සහ ප්‍රවේශය සහතික කිරීම මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිය වී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා වත්මන් රජයේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අප සැමගේ ම වගකීම වනුයේ එම සේවාව අඛණ්ඩව, ගුණාත්මකව,ශක්තිමත්ව වැඩි දියුණු කිරීම සහ නැගී එන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම බව ද සඳහන්කර සිටියේය. පෞද්ගලික අංශයේ ද සහයෝගීතාවයෙන් මෙම උත්සාහයන් සපුරාලීමට, මෙන්ම ධාරිතා පුළුල් කිරීමට ද හැකියාව ලැබෙන බව ද පැවසීය.

මෙරට සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම සදහා අවශ්‍යවන නව සැලසුම්, ක්‍රමවේද පිළිබදවත් අවධාරණය කළ අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව, විධිමත්ව පවත්වා ගන්නේනම් අප රට කලාපීය සෞඛ්‍ය සේවා සඳහා විශ්වාසදායක ගමනාන්තයක් ලෙස ස්ථාන ගත කළ හැකි බව ද සදහන්කර සිටියේ ය. ගුණාත්මකභාවය, නවීන තාක්‍ෂණය ඇතුළු නව්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් පෞද්ගලික අංශයේ රෝහල් තුළින් ද මේ සඳහා දායකත්වය දැක්විය හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවැනි අගනා ව්‍යාපෘති ඒ සඳහා කදිම නිදසුන් ලෙස ගෙනහැර දැක්විය හැකි බවත් මෙහි දී වැඩිදුරටත් පැවසීය.

නයින්වෙල්ස් (Ninewells) රෝහල මෙරට පුද්ගලික අංශයේ මව් සහ ළමා සත්කාර සඳහා විශේෂිත ප්‍රමුඛ රෝහලකි. කොළඹ, නාරාහේන්පිට පිහිටා ඇති මෙම රෝහල මගින් කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පුළුල් පරාසයක වෛද්‍ය සේවා සපයනු ලබයි.

මෙම අවස්ථාවට ඇක්සස් සමූහ ව්‍යාපාරයේ (Access Group) සභාපති සුමාල් පෙරේරා, නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය තියාෂා ප්‍රනාන්දු, රෝහල් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විභාෂ් පී. විජේරත්න, ඇක්සස් සමූහ ව්‍යාපාරය, නයින්වෙල්ස් රෝහල නියෝජනය කරමින් නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

ninewells 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න