යාපනය සරසවියේ බුදුපිළිම ප්‍රශ්නය : සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවක් !

යාපනය සරසවියේ බුදුපිළිම ප්‍රශ්නය : සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවක් !

"බුදු පිළිමයෙන් සිසුන් පහකට යාපන සරසවිය තහනම්" යන සිරස්තලයෙන් යුතුව පළවූ පුවතට අදාළ සිදුවීම යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වවුනියා මණ්ඩපයේ භූමිය තුළ සියලු ආගම් ඇදහීමට හැකි ස්ථානයක් විශ්වවිද්‍යාල පරිසරය තුළ සිසුන්ට ලබා දී  තිබියදී සිදුකළ විනය විරෝධී සිසු හැසිරීමක් හේතුවෙන් සිදුවූවක් බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි මේ බව සඳහන් වෙයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.

2018 ඔක්තෝම්බර් මස 3 වන බදාදා ලංකාදීප පුවත්පතේ "බුදු පිළිමයෙන් සිසුන් පහකට යාපන සරසවිය තහනම්" යන මුල් පිටුවෙහි සිරස්තලය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලබයි.

"බුදු පිළිමයෙන් සිසුන් පහකට යාපන සරසවිය තහනම්" මෙම සිරස්තලයට අදාළව පහත සඳහන් කරුණු සමාජය දැනුවත් කිරීම සඳහා ඉදිරිපත් කරමු.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වවුනියා මණ්ඩපයේ භූමිය තුළ සියලු ආගම් ඇදහීමට හැකි ස්ථානයක් විශ්වවිද්‍යාල පරිසරය තුළ සිසුන්ට ලබා දී ඇත. ඒ අනුව සියලුම සිසුන්ට අවශ්‍ය පරිදි සෑම ආගමක්ම ඇඳහීමේ සහ ඒ සඳහා වත්පිළිවෙත් අනුගමනය කිරීමේ පූර්ණ නිදහස විශ්වවිද්‍යාල නීතිරීති වලට අනුකූලව ලබා දී ඇත.

මේ අතර සිසුන් සුළු පිරිසක් මණ්ඩපාධිපතිතුමාගේ සහ පාලනාධිකාරීතුමාගේ අවසරයෙන් තොරව රහසිගතව, බුදුපිළිමයක් තැන්පත් කරන ආසනයක් නේවාසිකාගාරය ඉදිරියේ තැන්පත් කර එහි බුදු මැදුරක් තැනීමට උත්සාහකර ඇත.

මණ්ඩපාධිපතිතුමා සහ පාලනාධිකාරිය මෙයට සුදුසු ස්ථානයක් සියලුම ආගම්වලට ලබාදී තිබියදී එම ස්ථානය පාවිච්චි කරන ලෙස සිසුන් පිරිස දැනුවත් කිරීමේදී ඔවුන් පාලනාධිකාරිය ඉදිරියේ කලහකාරී, තර්ජනාත්මක හා විනය විරෝධී ලෙස කටයුතු කර ඇත.

යාපනය විශ්වවිද්‍යාලය යටතේ පාලනයවන වවුනියා මණ්ඩපය තුළ මේ අයුරින් විනය විරෝධී ක්‍රියාවක් සහ ඊට සමගාමීව තර්ජනයක් සිදුකළ අවස්ථාවේදී විශ්වවිද්‍යාලය හා මණ්ඩපය තුළ විනය නීතිරීති වලට අනුකූලව අවසාන තීරණය ගැනීමේ නෛතික බලතල යාපනය විශ්වවිද්‍යාලයේ පාලක සභාව සතුව ඇත. ඒ අනුව මෙම සිදුවීමට අදාළව වවුනියා මණ්ඩපයේ සිසුන් පස් දෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ විමර්ශන වාර්තාව යාපනය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට දැනට ඉදිරිපත් කර ඇත.

"බුදු පිළිමයෙන් සිසුන් පහකට යාපන සරසවිය තහනම්" යන සිරස්තලය බුදු දහම ඇදහීමේ නිදහසට කිසිදු හානියක් මෙම සිද්ධිය තුළ අන්තර්ගත නැති බවත්, මෙම පන්ති තහනම් කිරීමේ දඩුවම සිසුන් සුළුතරයකගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් මණ්ඩපය තුළ විනය පවත්වා ගැනීම සඳහා සිදු කරන ලද විනිවිද ක්‍රමවේදයක් බවත්, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙයින් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න