විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ ඇත්ත ම වුවමනාව කුමක් ද...? - දුමින්ද නාගමුව හෙළි කරයි

විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ ඇත්ත ම වුවමනාව කුමක් ද...? - දුමින්ද නාගමුව හෙළි කරයි

විදුලිබල මණ්ඩලය කොටස් කිරීමේ ඇත්ත ම වුවමානාව වන්නේ පෞද්ගලික අංශයට මේ ආයතන විකුණා දැමීම වන බවත්, එය ක්‍රියාත්මක කිරීමට නම් මණ්ඩලේ සේවක ප්‍රමාණය අඩු කර,

එය ලාභ ලබන තැනක් බවට පත් කිරීමට සිදු වන බවත්, එලෙස කිරීමට නම් සේවකයින් විශ්‍රාම යැවිය යුතු වන අතර ආණ්ඩුව එහි සමස්ත බර පටවා ඇත්තේ ජනතාව ගේ කර මත යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ "විදුලිබිල වැඩිකිරීමේ තීරණය සහ ඒ පිටුපස සැඟවුණු ඇත්ත හේතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය අද (31) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව...

කොමිසමේ අනුමැතිය 7 - 8 %ක වැඩි කිරීමකට පමණයි

"විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමි සම තීරණයක් ගත්තා. රජය පාර්ශවය පැත්තෙන් පසුගිය ජනවාරි 5 වෙනිදා තමයි 11.5% ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කළේ. නමුත් ඒ ඉල්ලීම අපේ කරුණු දැක්වීම් එක්ක මහනජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කළා. දැන් නැවත ආණ්ඩුව පැත්තෙන් 13.5%ක බිල වැඩි කිරීමක් ඉල්ලලා තිබුණත් කොමිෂමේ අනුමැතිය ලැබිලා තියෙන්නේ 7 - 8 %ක වගේ විදුලි ගාස්තු වැඩි කිරීමකට විතරයි. ආණ්ඩුව කිව්ව විදිහට ලයිට් බිල වැඩි කළා නම් මීට වඩා අස්ප ගාණකින් බිල වැඩි වෙනවා. මෙතනදි ජනතාව දැනගන්න ඕන කාරණයක් තියනවා. ඒ තමයි ආණ්ඩුව මේ විදුලි බිල වැඩි කිරීම ඉල්ලා සිටියේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශ්‍රාම යැවීමේ දී වන්දි ගෙවන්න. විදුලිබල මණ්ඩල සේවකයන්ව විශ්‍රාම යවන්න කියලා මේ රටේ ජනතාවවත් විදුලිබල මණ්ඩල සේවකයන්වත් ඉල්ලලා තිබුණේ නෑ. IMF එකේ න්‍යාය පත්‍රයට අනුව තමයි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය කොටස් කිරීම කළේ. මේ කොටස් කිරීම පිටිපස්සේ තියෙන ඇත්ත වුවමානාව තමයි පෞදගලික අංශයට මේ ආයතන විකුණා දැමීම. ඒක කරන්න නම් මණ්ඩලේ සේවක ප්‍රමාණය අඩු කරලා එය ලාභ ලබන තැනක් බවට පත් කරන්න වෙනවා. ඒක කරගන්න සේවකයන්ව විශ්‍රාම යවන ආණ්ඩුව එහි සමස්ත බර යවන්නේ ජනතාව ගේ කර පිටින්.

විදුලි ගාස්තු වැඩි කිරීම පිටුපස තව භයානක කතාවක්

අනිත් කාරණය තමයි දිට්වා ආපදාව වෙලාවේ අපි දිගින් දිගටම කිව්වා වහාම IMF න්‍යායපත්‍රය සංශෝධනය කරන්න කියලා. ඒ වගේම තමයි අපි යෝජනා කළා ජාත්‍යන්තර අධාර සමුළුවක් කැඳවන්න කියලා. හැබැයි ආණ්ඩුව ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරලා අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්, අපිට කාගෙවත් උපදෙස් ඕන නැහැ වගේ පම්පෝරි කතා තමයි කිව්වේ. ඉස්සරහට එන්න නියමිත විදුලිබිල වැඩි කිරීම් දිහා බැලුවම ඒ කළමනාකරණය කරපු එකේ රඟේ පේනවා. මොකද දිට්වා ආපදාවෙන් සිදුවුණු හානිය පවා ජනතාව ගේ විදුලිබිල මත තමයි ආණ්ඩුව පටවන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ විදුලි ගාස්තු වැඩි කිරීම පිටුපස තව භයානක කතාවක් තියනවා. ඒ තමයි රාජ්‍ය ආයතන සඳහා 14%ක ගාස්තු වැඩි වීමක් යෝජනා වීම. ඉස්සර පාසල් සඳහා යම් සහන පැකේජයකට තමයි විදුලිය ලබා දුන්නේ. හැබැයි මේ අලුත් යෝජනාවෙන් වෙන්නේ පාසල් යනාදි අධ්‍යාපන ආයතනවලට විශාල වශයෙන් විදුලි බිල වැඩි වෙන එක. ආණ්ඩුව ටිකෙන් ටික අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරමින් යන තත්වයක් ඇතුළෙ මේ බිල ගෙවන්න වෙන්නේ දෙමාපියන්ට. මේක ඉතාම බරපතළ තත්ත්වයක්.

ආණ්ඩුව හිටගන්නේ කාගෙ පැත්තෙ ද...?

අනිත් කාරණය තමයි ගල් අඟුරු වංචාව නිසා සිදුවෙන පාඩුව පියවගන්න ආණ්ඩුව  ඩීසල්වලින් විදුලිය නිපදවනවා. රුපියල් 18ක් පමණ වැය කරලා ගල් අඟුරුවලින් නිපදවගන්න පුළුවන් විදුලි ඒකකයක් නිපදවන්න මේ සෙල්ලමෙන් රුපියල් 100ක් විතර වැය වෙනවා. ලබන ජුනි ජූලි මාස වෙද්දි මේ අලාභයත් පැටවෙන්නේ ජනතාව ගේ විදුලි බිලට. ඒක එහෙම තියෙද්දි තමයි බිමල් රත්නායක ඇවිත් කිසිම ලැජ්ජාවක් නැතුව කියන්නේ බලා අඟුරු ගෙන්නපු සමාගමට දඩ ගැහුවොත් සමාගම පාඩු ලබයි කියලා. මුලින් ආණ්ඩුව මේ සමාගමටම ගල් අඟුරු ටෙන්ඩරේ දෙන්න මුළු ක්‍රියාවලියම කණපිට ගැහුවා. මේ සමාගමට ගල් අඟුරු නියමිත වෙලාවට ගේන්න බැරි වෙද්දි කට පියාගෙන හිටියා. ප්‍රමිතියෙන් බාල අඟුරු නැව් පිටින් එද්දි කට පියාගෙන හිටියා. එහෙම ඉඳලා දැන් කියනවා 'අපෝ සමාගමට නං දඩ ගහන්න බෑ. සමාගමට ඇඬෙයි' කියලා. අපි අහන්නේ මේ ආණ්ඩුවට ආණ්ඩුවේ ඇමතිවරුන්ට මේ සමාගම එක්ක මෙච්චර තියෙන ආදරය සෙනෙහස මොකක්ද ? ඒක වහාම රටට හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ පාඩුවේ වන්දිය සමාගමෙන් අය කරගන්නෙ නැතුව ඒක ජනතාවගේ කරපිටින් යවන්න හදනකොටම අපිට හිතාගන්න පුලුවන් ආණ්ඩුව හිට ගන්නේ කාගෙ පැත්තෙද කියලා.

අපි ජන අරගල සන්ධානය විදිහට මේ කරපු වංචාවට එරෙහිව අනිවාරෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම තමයි අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මේ ජනතාද්‍රෝහී ප්‍රතිපත්ති දිහා නිහඬව බලාගෙන ඉන්න එපා කියලා. මේ ජනතාද්‍රෝහී තීරණ ආපස්සට හැරවීම සඳහා එකතුවෙමු කියන යෝජනාවත් අපි මේ වෙලාවේ ජනතාවට ඉදිරිපත් කරනවා."

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න