රජය විදුලි බිල වැඩි කළ හේතුව විපක්ෂ නායකවරයා හෙළිදරව් කරයි

රජය විදුලි බිල වැඩි කළ හේතුව විපක්ෂ නායකවරයා හෙළිදරව් කරයි

රජය විදුලි බිල වැඩි කර ඇත්තේ රජයේ අන්ත දූෂිත ගල් අඟුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සපයා ගැනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඊයේ (30) ඔහු මෙම අදහස් පළ කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම ප්‍රකාශයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

රජය, ගල් අඟුරු සපයන ආයතනය රකින්න හදනවා

''දිගින් දිගට ම විදුලිය බිල වැඩි කර අන්ත දූෂීත ගණුදෙනුවල බර ජනතාව ගේ කරපිට පැටවීමට රජය කටයුතු කරන බවට සමගි ජන බලවේගය පැවසුවා. ඒ ආකාරයට ම විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කර තිබෙනවා. රජය මේ විදුලි බිල වැඩි කර ඇත්තේ රජයේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා යි. අන්ත දුෂිත බාල ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව ජනතාව කරපිට පටවලා. ඊයේ සහ පෙරේදා දින ද නියමිත ආකාරයට විදුලි ජනනය ලක්විජය නොරොච්චෝල බලාගාරයෙන් සිදු වෙලා නැහැ. ඊයේ මෙගවොට් 146ක්, පෙරේදා මෙගවොට් 158ක් අඩුවෙන් තමයි ජනනය කර තිබෙන්නෙ. මේවාට යොදගෙන ඇත්තේ අප්‍රිකාවෙන් ගෙන ආ 13වන නැවේ ගල් අඟුරු. මෙතෙක් ගෙන ආ නැව් 12 බාල බවට මේ වන විටත් පැහැදිලි යි. බාල ගල් අඟුරු ගැටලුවක් නොවන බවට දිගින් දිගටම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිව්වත් සමහර මැති ඇමතිවරු කියන ආකාරයට මේ බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව අදාළ ආයතනයෙන් අය කර ගතහොත් අදාළ සැපයුම්කාර ආයතනය බංකොලොත් වෙනවලු. රජය සිටින්නේ ගල් අඟුරු සපයන ආයතනය සුරැකීමට ද විදුලි පාරිභෝගිකයා රැක ගන්නටද කියා ප්‍රශ්න කරනවා.

විදුලි බිල වැඩි කිරීම වහා ම නතර කළ යුතු යි

රජය බලයට පැමිණියේ කම්කරු ජනතාව, පාරිභෝගික ජනතාව ආරක්ෂා කරනවා කියල. කෙසේ හෝ බහුජාතික සමාගම්වල අතකොලු බවට පත් නොවන බවට පැවසූ වත්මන් මාලිමා රජයම අද වන විට බාල ගල් අඟුරු සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙලා. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගල් අඟුරු ප්‍රශ්නයෙන් නිර්මාණය වූ අලාභය මගහරවා ගැනීමට මේ විදුලි බිල වැඩි කිරීම නතර කළ යුතු යි. මේ බාල ගල් අඟුරුවලට වගකිවයුතු වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මිස ජනතාව නෙවෙයි. අප්‍රේල් ජුනි හා ජූලි යන මාසවල සමහර බලාගාර නඩත්තුවට නතර කිරීම තුළ වැඩිම විදුලි ඉල්ලුම ඇති අවස්ථාවේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසම පවා අනතුරු අගවා තිබෙනවා. එයට හේතුව රජයේ බාල ගල් අඟුරු කුමන්ත්‍රණය යි. මේ බාල ගල් අඟුරු නිසා වැඩි කළ විදුලි බිල වහාම අඩු කළ යුතු යි. එසේ නොකරන්නේ නම් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම සමගි ජන බලවේගය ඉටු කරනවා. මේ අනිතික දූෂිත ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බහිනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න