පාඨලී සහ ලලිත්ට : රාඩා නඩුවට සිතාසි !

පාඨලී සහ ලලිත්ට : රාඩා නඩුවට සිතාසි !

රාඩා ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධව එහි හිටපු සභාපති ටිරාන් අලස්  ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අයට ලබන 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කළේය.

එම නඩුව අද(04) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි  ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදුකරනු ලැබුවේය.

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන ඇන්තනී එමිල් කාන්තන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂානක රණසිංහ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඉකුත් අගෝස්තු මස දෙවන දා අධිකරණය හමුවේ කියා තිබුණේ තමා කිසිදු අවස්ථාවක කමල් දේශප්‍රිය නමින් පෙනී සිට නොමැති බවයි.

කමල් දේශප්‍රිය නමින් තමා පෙනී සිටි බවට  විත්තිය විසින් කරන යෝජනාව ප්‍රතික්ෂේප කරන බවද එහිදි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණි. එහෙත් අද දින විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශාන්ත  රණසිංහ  මහතා පුවත්පත් වාර්තාවන් කීපයක් සාක්ෂිකරු වෙත පෙන්වමින් ඔබ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තුළ කමල් දේශප්‍රිය යනුවෙන් පෙනී සිට තිබෙනවා නොවේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ජාතික හෙළ උරුමය තුළ පමණක් නොව ඊට පෙරත් විවිධ සංවිධාන සමඟ කටයුතු කිරීමේදී තමන් කමල් දේශප්‍රිය යනුවෙන් පෙනී සිට ඇති බවයි.

මෙම අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කළ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම ප්‍රශ්නය මෙම නඩුවට අදාළ වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රණසිංහ මහතා කියා සිටියේ කමල් දේශප්‍රිය යනුවෙන් පෙනී සිට නොමැති බවට ඉකුත් නඩු දිනයේදී මෙම සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශකර තිබූ බවත් දැන් තමා කමල් දේශප්‍රිය යන නමින් පෙනී සිට ඇති බව ඔහු විසින්ම පිළිගෙන තිබෙන බවයි.

ඒ අනුව ඔහු දිවුරුම් පිට අධිකරණය හමුවේ  අසත්‍ය සාක්ෂි ලබා දෙන පුද්ගලයකු බව අධිකරණය හමුවේ සනාථ කිරීම සඳහා මෙම ප්‍රශ්න මතු කරන බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කෙරුණි.

විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ දිවුරුම් පිට අසත්‍යය සාක්ෂි ලබාදී ඇති නිසා ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව දන්වා තිබේ.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළේය.

කෙසේවෙතත් විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ මේ පිළිබඳව විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් වීමෙන් පසුව ඊට අදාළව සුදුසු නියෝගයක් ලබාදෙන බවයි.

වැඩිදුර විභාගය ලබන 10  වනදාට කල් තැබුණි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලිම පිළිගත් මහාධිකරණය පාඨලී චම්පික රණවක ඇමතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අයට මීලග දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමට නියම කළේය.

පසුගිය රජය සමයේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ පුද්ගලයින්ට නිවාස සාදා දෙන බව පවසා රාඩා ආයතනය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 200 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම ආයතනයේ හිටපු සභාපති ටිරාන් , එහි ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, එල්ටීටීඊ සංවිධානයෙන් මුදල් අංශයේ නායකයෙකු බව කියන ඇන්තනී එමිල් කාන්තන් සහ ජයන්ත ඩයස් සමරසිංහ යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම්කර තිබෙන ඇන්තනී එමිල් කාන්තන් මේ වන විට අධිකරණය මඟහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න