දිවයිනේ පවතින දැඩි වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජල සැපයුමට එල්ල වී ඇති බාධා
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසා සිටියේ, දැනට මණ්ඩලය මඟින් නිල වශයෙන් ජල කප්පාදුවක් සිදු නොකළ ද, පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී දින පුරා ජල සැපයුම පවත්වාගෙන යාම අසීරු විය හැකි බවයි. විශේෂයෙන්ම අඹතලේ ඇතුළු ප්‍රධාන ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට මෙතෙක් බලපෑමක් වී නොමැති වුවද, උස්බිම් ප්‍රදේශ සඳහා ජලය ලබාදීමේදී අඩු පීඩන තත්ත්වයක් (Low Pressure) හටගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ජනතාවට කෙරෙන දැනුම්දීම
ඉදිරි දිනවලදී වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බැවින්, පවතින ජල ධාරිතාවය ඉතා අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විකල්ප ජල සැපයුම්
අඩු පීඩනය යටතේ ජලය සැපයෙන ප්‍රදේශ සඳහා පාරිභෝගික අපහසුතා මඟහරවා ගැනීමට මේ වන විටත් බවුසර් රථ යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

