රුපියල කඩාවැටීම රෝග ලක්ෂණය පමණයි : පිළියම් සෙවිය යුත්තේ රෝග නිධානයටයි

රුපියල කඩාවැටීම රෝග ලක්ෂණය පමණයි : පිළියම් සෙවිය යුත්තේ රෝග නිධානයටයි

රුපියල කඩාවැටීම රෝග ලක්ෂණය පමණයි. පිළියම් සෙවිය යුත්තේ රෝග නිධානයට බව  ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික කමිටුවේ ප‍්‍රධානී, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු පවසා සිටියි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික කමිටුව විසින් "රුපියල කඩාවැටීම සහ ලංකාවේ ආර්ථික අර්බුදය" මැයෙන් ඊයේ (03) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී ඔහු මෙසේ වැඩිදුර අදහස් දක්වා ඇත.

රුපියල කඩාවැටීම අපේ රටේ ආර්ථිකයට සෘජුව බලපාන දෙයක්. රුපියල කඩාවැටීම කියන්නේ රෝග ලක්ෂණය මිස රෝග නිධානය නොවේ.

අද රෝග නිධානය ගැන කතා කරනවා වෙනුවට රෝග ලක්ෂණය ගැන කතා කරන එකයි සිදුවෙලා තිබෙන්නේ. ආණ්ඩුව මේ පිළිබඳව නිවැරදි තොරතුරු ජනතාවට ලබාදෙනවා වෙනුවට ඉතාමත් වැරදි අර්තකථන ලබාදෙනවා. වත්මන් ආණ්ඩුව කියනවා අර්බුදයට හේතුව පසුගිය ආණ්ඩුව ගත්ත ණය කියලා. පසුගිය ආණ්ඩුවේ අය කියනවා මේක වර්තමාන ආණ්ඩුවේ ණය ගැනීම නිසා ඇතිවුණ අර්බුදයක් කියලා. කෙසේ වෙතත් මහබැංකුවේ අධිපතිවරයා මේක අර්බුදයක් බව පිළිගෙන තිබෙනවා. ඔහු කියනවා මහ බැංකුව සතු සංචිතවලින් ඩොලර් මිලියන 184ක් රුපියල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නිදහස් කළා කියලා. ඩොලර් මිලියන 184කින් මේ කඩා වැටීම නවත්වන්න පුළුවන්කමක් නැහැ. 

රුපියල කඩාවැටීමට සෘජු ලෙස බලපාන්නේ විදේශ විනිමය ගැටලූවයි  අපේ රටේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. රුපියල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 2015 සිට ඩොලර් බිලියන 3.2ක් යොදාගෙන තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා කියන්නේ පසුගිය වසර තුනටම 9%කින් රුපියල කඩා වැටිලා කියලා. නමුත් ඇත්ත කතාව මේ වසරේ පමණක් කඩාවැටීම තමයි 9%ක් ලෙස වාර්තා වෙන්නේ. ඔවුන් මේ විදියට නිවැරදි තොරතුරු වසන් කිරීමට උත්සහ කරනවා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා කියනවා 2011-2012 වසර තුළ පහුගිය ආණ්ඩුව ඩොලර් බිලියන 4.1ක් නිදහස් කරලත් රුපියල 15%කින් කඩා වැටුනා කියලා. ඔවුන් නිතරම පහුගිය කාලයේ දත්ත වාර්තා කරලා වර්තමාන තත්වය වසන් කිරීමට උත්සහ කරනවා. ජනතාව රවට්ටනවා. මේ අර්බුදය ඇතිවෙලා තිබෙන්නේ පැවැති පවතින ආණ්ඩු අනුගමනය කළ වැරදි ආර්ථික කළමනාකරණයේ ප‍්‍රතිවිපාක ලෙසයි. 

රුපියල කඩාවැටීමට සෘජු ලෙස බලපාන්නේ විදේශ විනිමය ගැටලූවයි. 

අපේ රටේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 10ක් පමණ වෙනවා. අපනයන මෙන් ආනයන වියදම දෙගුණයක්. ආසන්න කාලය තුළ සංඛ්‍යා ලේඛන අනුව ආනයන ඩොලර් මිලියන 20980ක් වෙනකොට අපනයන සිදුවෙලා තිබෙන්නේ ඩොලර් මිලියන 11360ක. පරතරය ඩොලර් මිලියන 9620ක්. එවිට මෙම ඩොලර් ප‍්‍රමාණය වෙනත් ආකාරයකින් උපයන්න සිදුවෙනවා. ඉතාම දුක්ඛිත තත්වයෙන් අපේ අම්මලා, අක්කලා මැදපෙරදිග සේවය කරලා ඩොලර් මිලියන 6300කට ආසන්න විදේශ පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් රටට එවනවා. මේ අය ඉතාම දුෂ්කර ජීවිත ගත කරලා එවන මේ මුදල් අපිට අහිමි වුනොත් තත්වය ඉතාම බරපතළයි. ඉතිරි ඩොලර් මිලියන 2300 ගණන හොයා ගන්නේ කොහොමද? විකල්පය වෙලා තිබෙන්නේ විදේශ ණය ලබාගැනීමයි. කළ යුතුව තිබෙන්නේ විදේශ ආයෝජන දිරිමත් කිරීම වුනත් රටේ පවතින තත්වයන් නිසා ආයෝජන රටතුළ රැඳෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඇමරිකාව පවා තමන්ගේ ධනය නිෂ්පාදනය කර ගන්නේ චීනය සහ අනෙකුත් යුරෝපා රටවල ආයෝජන කරලා. එනිසා අපිට ණය ගැනීම අනිවාරයක් වෙලා. අනෙක් රටවල් විදේශ ණය ලබාගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් කරලා ලාභ ලබාගන්නවා. නැවත ණය ගෙවා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් අපි ණය අරගෙන කරන්නේ ඉතාම අනර්ථකාරී, නාස්තිකාරී ව්‍යාපෘති. ඒ වගේම වංචා දූෂණ නිසා මුදල් නාස්ති වෙනවා. මේක තමයි චක‍්‍රීය අර්බුදයක් ලෙස ආර්ථිකයට බලපාන්නේ. 

පර්මිට් වාහන ගෙන්වීම නතර කළ පමණින් වාහන ආනයනය නවතින්නේ නැහැ  

ආණ්ඩුව මෙයට විසඳුමක් ලෙස යෝජනා කරන්නේ ආනයන පාලනය කිරීම. වාහන ගෙන්වීම, විදුලි උපකරණ ගෙන්වීම පාලනය කළ පමණින් අපේ රටින් ආනයන සඳහා ඇදී යන ඩොලර් බිලියන 20 නවත්වන්න පුළුවන්කමක් නැහැ. මොකද වැඩිපුර ගෙන්වන්නේ දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන අමුද්‍රවයයි. මේවා පාලනය කිරීමෙන් නැවත වටකයකින් දේශීය කර්මාන්තවලට බලපානවා. කර්මාන්ත බිඳවැටෙනවා. පර්මිට් නවත්වන බව ආණ්ඩුව කියනවා. ඒක මන්ත‍්‍රීලට බලාපන්නේ නැහැ. රාජ්‍ය සේවකයින්ට පමණයි බලපාන්නේ. කෙසේ නමුත් පර්මිට් වාහන ගෙන්වීම නතර කළ පමණින් වාහන ආනයනය නවතින්නේ නැහැ. මේක ආණ්ඩුව කරන ප්‍රෝඩාවක්. කළ යුතුව තිබෙන්නේ රටතුළ වාහන එකලස් කිරීම වැනි කර්මාන්ත ගැන අවධානය යොමු කිරීමයි. 

අර්බුදය විසඳාගන්න කෙටිකාලීනව විදෙස් සංචිත යොදාගන්න පුළුවන් වුනාට මාස කිහිපයකින් පසුව නැවත විශාල අර්බුදයක් එන්න පුළුවන්කම තිබෙනවා. එවැනි තත්වයක් තුළ සිදුවෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම පමණයි. 1977ට පෙර ඩොලරයක වටිනාකම පැවතුණේ රු.4ක් පමණ. නමුත් 77න් පසු විවෘත ආර්ථිකයත් සමඟ දිගින් දිගටම රුපියල කඩාවැටුණා. හැම පාලනයක්ම ගත් ක‍්‍රියාමාර්ග විනාශකාරී වුණා. නමුත් අපේ කලාපයේ රටවල් වන ඉංදියාව, පකිස්ථානය, බංගලාදේශය, වියට්නාමය තමන්ගේ විදේශ සංචිත ස්වාධීනව පවත්වාගෙන යමින් රටේ යම් ස්ථාවරත්වයක් පවත්වාගෙන යනවා. රජය ඊට මැදිහත් වෙනවා. 

රුපියල කඩාවැටීම කෙලින්ම උද්ධමනයට බලපානවා  රුපියල කඩාවැටීම කෙලින්ම උද්ධමනයට බලපානවා. බඩුමිල වැඩිවෙනවා. පොළී අනුපාත ඉහළ යනවා. රටේ ජංගම ගිණුමේ හිගයක් ඇතිවෙනවා. විදේශ ණය ගැනීමට සිදුවෙනවා. ඩොලර් මිලදී ගැනීම වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවෙනවා. එමගින් නැවතත් උද්ධමනය වැඩිවෙනවා. ඒ නිසා ආණ්ඩුව අනුගමනය කරන පැලැස්තර විසඳුම් වෙනුවට දීර්ඝකාලීන ආර්ථික සැලැස්මක් ගොඩනැගිය යුතුයි. එනිසයි අපි කියන්නේ මේ රුපියල කඩාවැටීම රෝග ලක්ෂයක් මිස රෝග නිධානය නොවේ කියලා. අපි විසඳුම් සෙවිය යුත්තේ රෝග නිධානයටයි. අපිට දැක්මක් සහිත ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා නම් අපේ රටේ සම්පත් කළමනාකරණය කරලා ජනතාව සුඛිත මුදිත කරන්න පුළුවන්කමක් තිබෙනවා. 

අපේ රටේ ආණ්ඩුවල ‘ප‍්‍රතිපත්තියක් නැති’ ප‍්‍රතිපත්තිය නිසා රුපියල කඩාවැටෙනවා- ආර්ථික විශ්ලේෂක, මානව සම්පත් කළමනාකාර  තුෂාර හෙට්ටිතන්ත‍්‍රීගේ 

මේ වසරේදී පමණක් රුපියල කඩා වැටීම 9.7%ක්. මෙය පෞද්ගලික අංශයට විශාල ලෙස බලපානවා. ආනයනය කරන සියලූ අමුද්‍රව්‍යවල රුපියල් වටිනාකම ඉහළ යන නිසා භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය වැඩිවෙනවා. එවිට වැඩිවෙන මුදල පාරිභෝගිකයාට විතැන් වෙනවා. උද්ධමනය වැඩිවෙනවා. ආනයන ආදේශන කර්මාන්තවලට ලබාගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම බරපතල විපාක ගෙනදෙන්නක්. අපේ රටේ ආනයන අපනයන පරතරය 1990 වසරේ වාර්තා වුනේ 133%යි. 2017 වනවිට එය 186% දක්වා වැඩිවී තිබෙනවා. ආනයන වියදම ඉහළ යෑම නිසා එහි පීඩනය රුපියල මත බලපානවා. 1948 සිට ආණ්ඩු අනුගමනය කළ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා අයවැය පරතරය වැඩි වුණා. ඒ වෙනුවෙන් ණය ගත්තා. 

2017 වනවිට නොපියවූ ණය ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 4.7ක් වෙනවා. ඒ වෙනුවෙන් වාරිකත් පොළියත් ගෙවිය යුතුයි. අපිට වැයවෙන ආනයන වියදම වෙන ඩොලර් බිලියන 21න් පාර්භෝගික භාණ්ඩ සඳහා බිලයන 4.7ක් පමණ වැය වෙනවා. අන්තර් භාණ්ඩ (අමුද්‍රව්‍ය) සඳහා ඩොලර් බිලියන 11ක් පමණ වැය වෙනවා. ඉතිරිය ප‍්‍රාග්ධන භාණ්ඩ සඳහා වැයවෙනවා. අපි වැනි පුංචි රටකට එය දරාගත නොහැකි ආනයන වියදමක්. අපේ රටේ ආනයන ඩොලර් බිලියන 6කට 7කට සීමා කරගන්න පුළුවන්. බොහෝ දේ අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තිබියදී පත්තරය අච්චුගහන කඩදාසි පවා ආනයනය කරනවා. ආණ්ඩුව කර්මාන්තවලට යොමු වෙන්නේ නැහැ. දේශීය ව්‍යාපාර කඩා වැටුණා. ආනයන මත යැපෙන ආර්ථිකයක් නිසා අපේ ආනයන වියදම වැඩිවෙලා තිබෙනවා. 

අපේ ආණ්ඩුවලට නිවැරදි ආර්ථික ප‍්‍රතිපත්තියක් නැහැ. සංචාරක ව්‍යාපාරය ගැන කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විදේශවලට යවන්නේ ගෘහනියන්. ඔවුන්ගෙන් ලැබෙන ආදායම අඩුයි. වෘත්තිකයින් විදෙස්ගත කරන්න අපිට සැලසුමක් නැහැ. දුර්දාන්ත, ‘ප‍්‍රතිපත්තියක් නැති’ ප‍්‍රතිපත්තිය නිසා තමයි රුපියල කඩාවැටෙන්නේ. එනිසා සමස්ත ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍යයි. 2005 ජනවාරි ඩොලරය රු.105යි. 2014 දෙසැම්බර් වන විට එය 131 දක්වා රුපියල් 26කින් ඉහළ ගියා. 2015 ජනවාරි සිට අද වනවිට එය 170 දක්වා වර්ධනය වෙලා. ඒනිසා මෙය එක ආණ්ඩුවක ප‍්‍රශ්නයක් නෙවෙයි. සියලූ ආණ්ඩුවල ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵල තමයි අද ලැබිලා තිබෙන්නේ. 

අපේ රටේ ශ‍්‍රම බලකායෙන් නිසි ප‍්‍රයෝජන ගන්නේ නැහැ.. විදේශ පේ‍්‍රෂණවලින් 80%ක් ගෘහ සේවයෙන් වීම ලැජ්ජා විය යුතු කාරණයක්-වරලත් ප‍්‍රමාණ සමීක්ෂක ආචාර්ය චන්දන ජයලත් 

අපේ රටට විදේශීය පේ‍්‍රෂණවලින් 80%ක්ම ලැබෙන්නේ සහෝදරියන් ගෘහසේවයේ යෙදිලා. අපි රටක් ලෙස ඒ ගැන ලැජ්ජා විය යුතු නැද්ද? අපේ රට ශතපහක දෙයක් නිෂ්පාදනය කරගන්න බැරි තරමට කඩාවැටිලා. ඒ නිසා ආර්ථිකය සම්බන්ධයෙන් පුළුල් ජාතික කතිකාවක් අවශ්‍ය වෙලා තිබෙනවා. ජනතාව, මාධ්‍යවේදීන්, විද්වතුන් වෘත්තිකයින් සියලූ දෙනා එකතු වෙන්න  ඕනෑ වෙලාවක් මේක. හවස ප‍්‍රවෘත්ති බලන අපිට අහන්න වෙලා තිබෙන්නේ දේශපාලකයින්ගේ වල්පල් කතා. සරලව කියනවානම් මෝඩ චූන්. ඒ නිසා මාධ්‍යවේදීන් අපේ රටේ විද්වතුන් වෘත්තිකයින් හඹාගෙන යා යුතුයි කියලා අපි යෝජනා කරනවා. 

අපේ රටේ අවුරුදු 20ත් 40ත් අතර ලක්ෂ 10ක පමණ ශ‍්‍රම බලකායක් ඉන්නවා. එතරම් ශ‍්‍රමබලකායක් එක්කෝ රැුකියාවක් නැතිව උඩබලාගෙන ඉන්නවා. නැත්නම් ත‍්‍රීවිල් කර්මාන්තයට කොටුවෙලා. විශාල සම්පතක් අපි නාස්ති කරනවා. ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයට පුහුණු ශ‍්‍රමිකයින් ලක්ෂ 05ක් පමණ අවශ්‍යයි. නමුත් ලක්ෂ 10ක් ත‍්‍රීවිල් එළවනවා. එනිසා එවැනි ශ‍්‍රම සම්පතකින් ප‍්‍රයෝජන ගන්න ජාතික වැඩපිළිවෙළක්  ඕනෑ. ජාතික විද්වත් සංවිධානය ලෙස අපි සෑම ක්‍ෂේත‍්‍රයක් සඳහාම ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කරනවා. අපේ රට ප‍්‍රතිපත්ති සහිත උපක‍්‍රමික දිශාවකට යොමු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව සමඟ සාකච්ජා සම්මන්ත‍්‍රණ පවත්වනවා. ඒ වෙනුවෙන් අපි සියලූ දෙනාට ආරාධනා කරනවා. අපේ රට ජාතික න්‍යාය පත‍්‍රයකට අවතීරණය කළ යුතුයි. පැහැදිළි නිරවුල් වැඩපිළිවෙලක් අවශ්‍යයි. බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි. සියලූ ක්‍ෂේත‍්‍රවල හවුල්කරුවන්ගේ ගැටලූවලට විසඳුම් හොයන, මහජනතාවට සිය අයිතිවාසිකම් සහ සුභසාධනය ලබාදෙන, දැනුමෙන් සන්නද්ධ සමාජයක් සඳහා සෘජු ප‍්‍රතිපත්ති මාලාවක් අද රටට අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සංවාදයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා සියලූ විද්වතුන්ට වෘත්තිකයින්ට මහජනතාවට ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට ආර්ථික කමිටුවේ සාමාජිකයින් පිළිතුරු ලබාදෙමින්...

නිදහස් වෙළඳ ගිවිසුමක් නම් එයින් දෙපාර්ශවයටම වාසියක් අත්පත් විය යුතුයි. නමුත් මේ දිනවල කතාබහ වෙන සිංගප්පූරු ගිවිසුම අපිට වාසි එකක් නෙවෙයි. අපිට වාසි අත්පත් කරගන්න නම් අපි අපනයන වර්ධනය කරගත යුතුයි. නමුත් සිංගප්පූරුව වගේ රටක අපිට වෙළඳ පොළ විවෘත වෙනවද කියලා ගැටලූවක් තිබෙනවා. දැනටත් අපි අපනයන සිදුකරන්නේ වෙනත් යුරෝපා රටවල් කිහිපයකට. එනිසා ඉන් වාසියක් ලැබෙන්නේ නැහැ. බරපතල අවාසිය වෙන්නේ මෙම ගිවිසුම මගින් සිංගප්පූරුවේ ලියාපදිංචිවන වෙනත්  ඕනෑම රටක සමාගමකට අපේ රටට කැලිකසළ ගෙනත් දාන්න පුළුවන්කම ලැබෙනවා. අපේ රට ඩම්පින්ග් යාර්ඞ් එකක් බවට පත්වීමේ අනතුරක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ ශ‍්‍රම වෙළඳපොළට විදේශ ශ‍්‍රමිකයින් එනවා. ඔවුන්ට අපි ගෙවිය යුත්තේ ඩොලර්වලින්. ඒවිට අපේ රටෙන් ඩොලර් පිටවෙනා. අපි කරට කර නැති නිසා මෙවැනි ගිවිසුම්වලින් අවාසියක් තමයි සිදුවෙන්නේ. 

ට‍්‍රම්ප්ලාගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් අද අර්බුදයට ගිහින්. එනිසා ඇමරිකන් ආයෝජන වැඩිපුර චීනයට යුරෝපා රටවලට ඇදී යනවා. අපේ වැනි රටක ඔවුන් ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එනිසා අපිට ආයෝජන අහිමි වෙනවා. එය අපේ රුපියලට බලපානවා. නමුත් එය නොවෙයි සමස්තයට බලපාන්නේ. මොකද ඩොලරයට සපේක්ෂව පමණක් නෙවෙයි අපේ රුපියල කඩාවැටිලා තිබෙන්නේ. අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂවත් රුපියල කඩා වැටිලා. ඇමරිකන් බලපෑම නිසා පමණක් නෙවෙයි රුපියල කඩාවැටෙන්නේ. අපි අනුගමනය කරන ආර්ථික ප‍්‍රතිපත්තියේ දුර්වලතා නිසයි. ලිබරල්කරණයේ පියවරුන් වුණ ඇමරිකාවත් අද අර්බුදයට ගිහිල්ලා. ඔවුන් අද ඔවුන්ගේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න වැඩපිළිවෙළවල් අනුගමනය කරනවා. අපිත් ආදර්ශයට ගත් යුත්තේ එයයි. අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්නයි අපි ක‍්‍රියාමාර්ග ගත යුත්තේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න