මෙරට අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය අවධානය යොමු කරන බවත්, විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ මෙරට තිබෙන විශාල ගොඩනැගිලි නැරඹීමට නොවන බවත් අභියාචනාධිකරණය අවධාරණය කළේය.
වගාබිම් ආරක්ෂා කිරීමේ අරමුණින් ගොවීන්ට ගිනි අවි නිකුත් කිරීමට රජය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වන ජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මේ බව ප්‍රකාශ කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
ගිනි අවි නිකුත් කිරීම නිසා වන සතුන්ට දැඩි අනතුරක්
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අමිල කුමාරගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගොවීන් ඇතුළු පිරිසකට ගිනි අවි නිකුත් කිරීම නිසා අලි ඇතුන් ඇතුළු වන සතුන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවී ඇති බව සඳහන් කළේය.
වගාවන් ආරක්ෂා කිරීම සඳහා මීට පෙර අක්කර පහක වගා බිම් සීමාවකට යටත්ව ගිනි අවි නිකුත් කිරීම සිදු කර තිබු බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එහෙත් පසුගියදා රජය විසින් ගෙන ඇති තීරණයකට අනුව එම වගා ඉඩම් ප්‍රමාණය අක්කර පහේ සිට දෙක දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස නිකුත් විය හැකි ගිනි අවි සංඛ්‍යාව වැඩිවීමේ අවදානමක් මතුවී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
2002 වසර වන විට ගිනි අවි 305 ක් නිකුත් කර තිබූ අතර එම ග සංඛ්‍යාව 2026 වසර වන විට 490 දක්වා ඉහළ ගොස් ඇති බවත් සමස්තයක් ලෙස ගත් කළ මේ වන විට ගිනි අවි 3207ක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අනාවරණය කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා,
“ස්වාමීනි… අලි ඇතුන් කියන්නේ අපේ ජාතික උරුමයක්. අපේ රටේ විශාල කීර්තියක් ලබා දුන් කාවන්තිස්ස ඇතා පසුගියදා වෙඩි වැදී මිය ගියා. වන ජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී තමා එම අවාසනාවන්ත සිදුවීම ඇතිවුණේ. කාවන්තිස්ස හා සමාන ඉන්දියාවේ සිටි හස්තියෙකුට එරට රජය මඟින් විශේෂ ආරක්ෂාවක් සලසා දී තිබුණා. එහෙත් අපේ අලි ඇතුන් ආරක්ෂා කරන්න එවැනි වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපේ අලි ඇතුන් ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි’ යනුවෙන් කියා සිටියේය.
ඒ අවස්ථාවේදී විවෘත අධිකරණයේ සිය අදහස් පළ කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය,
” අලි ඇතුන් ජාතික සම්පතක් ලෙස සලකා රැකබලා ගත යුතුයි. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ විශාල ගොඩනැගිලි නැරඹීමට නෙමෙයි. අභියාචනාධිකරණය වන සතුන් සහ පරිසරය පිළිබඳව වඩාත් සැලකිලිමත් බව සඳහන් කළ යුතුයි” යනුවෙන් ප්‍රකාශ කළේය.
ඒ අනුව අලි ඇතුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමට අධිකරණය කටයුතු කරන බවත් සභාපති විනිසුරු වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 30 වැනිදා දක්වා කල් තැබීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳී ඇතුළු පිරිසක් නම් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
